සන්ධාන – ජාතික ආණ්ඩු අවුල් අතරේ ගෝඨාභය අගමැති වෙයිද…

378

හිටපු රුසියානු තානාපතිවරයකු මෙන්ම රාජපක්ෂ පවුලේ සමීප ම ඥාතිවරයකු වන උදයංග වීරතුංග මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන මීට දින කීපයකට පෙර කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය අපේ රටේ දේශපාලන කරළියේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. එක් පැත්තකින් ඔහු ජනාධිපති ගෝඨාභයගේ පාලන සමය ගැන මනා තක්සේරුවක් කරමින් විවේචනයක් එල්ල කළේය. අනෙක් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂගේ අයිතිවාසිකම් ගැන කතා කරමින් ඔහුගේ පැමිණීම ගැන තොරතුරක් ඉදිරිපත් කළේය.

ඔහුට අනුව හිටපු ජනාධිපතිවරයා පසුගිය 24 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි.

ඒ වන විට සැබැවින්ම ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයේ නතර ව සිටීම ප්‍රශ්නයක් ව තිබිණි. තායිලන්තයේ ආරක්ෂක උපදෙස්වලට අනුව හිටපු ජනාධිපති ගෝඨාභයට හා ඔහුගේ පවුලේ අයට එරට කිසිම නිදහසක් නොවීය. නතරව සිටින හෝටලයේ තොරතුරු කිසිවෙකුටත් දැනගත නොහැකි වන සේ රහසිගතව තබා ගත් මෙරට ආරක්ෂක අංශ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට හෝටල් කාමරයෙන් එළියට පැමිණීම අතිශයින්ම තහනම් කටයුත්තක් කර තිබිණි.

තත්ත්වය එසේ තිබියදී තායිලන්තයේ ද අභ්‍යන්තර දේශපාලන අවුල් වියවුල් උත්සන්නව පැවැතිණි. ආණ්ඩුව ඇතුළේ එරට අගමැතිවරයාට එරෙහිව නැගුණු කැරැල්ල රට පුරා පොදු උද්ඝෝෂණයක්ව පැවතියෙන් ලංකාවේ හිටපු ජනාධිපතිවරයාට මෙසේ ආරක්ෂාව සැපයීම ද තායිලන්ත රජයට අනවශ්‍ය බරක් විය.

තත්ත්වය එසේ තිබියදී හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ගත හැකි හොඳම, පහසුම හා ලොකුම විකල්පය වූයේ පෙරළා ලංකාවට ම පැමිණීමය.

මීට සතියකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවන්නට ගිය බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් හිටපු ජනාධිපතිවරයාට යළි ලංකාවට පැමිණ ආරක්ෂිතව ජීවත්වීමට අවශ්‍ය පරිසරය ආරක්ෂාව සහ වරප්‍රසාද ලබා දෙන්නැයි කියා ඉල්ලා සිටියේද එකී වාතාවරණය අනුව ය.

උදයංග වීරතුංග හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමය විවේචනය කරමින් වුව ද ඔහුගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් ගැන පෙනී සිටිමින් ගෝඨාභය ලබන 24 වැනිදා යළි මව්බිමට එනු ඇතැයි විශ්වාසය පළ කළේ එම පසුබිම තුළය.

එහෙත් පහුගිය දින කීපය තුළ තත්ත්වය වෙනස් විය. තතුදත් ආරංචි මාර්ග පවසන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ගෝඨාභය රාජපක්ෂ අතර පසුගියදා කෙරුණු සාකච්ඡාවකදී ගෝඨාභයගේ නැවත පැමිණීම කල් දමන්නට තීන්දුවක් ගැනුණි. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුදුරු දිනකදී යෑමට නියමිත ජපන් සංචාරය නිමවා ආපසු පැමිණි පසු ගෝඨාභයගේ නැවත පැමිණීම සිදු වනු ඇතැයි ජනාධිපති කාර්යාලයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

● රනිල්ටත් තියෙන්නේ
අලි ‘අලි’ ප්‍රශ්නයක්ලු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුරය භාර ගත්තාට පසු ආගමික නායකයින් සමග ඇති කරගත් සංහිඳියාව පසුගිය දිනවල අපේ රටේ බොහෝ සමාජ ස්ථරවල පැසසුමට පාත්‍ර විය. මීට පෙර සතියක ඔහු මහනුවරට ගොස් මහා නායක හිමිවරු මුණගැසී ආශිර්වාද ලබාගත්තේය. ඒ අනුව පසුගිය සතිඅන්තයේ ජනාධිපතිවරයා අනුරාධපුරය බලා පිටත්ව ගියේ ද බෞද්ධ ආගමික නායකයින් මුණ ගැසීමටයි.

විසිවැනි සෙනසුරාදා ජනාධිපතිවරයා අනුරාධපුරයට ගිය විට එහි දී පිළිගත්තේ ආණ්ඩුව සමග සිටින පක්ෂ තුනේ දිස්ත්‍රික් නායකයින් තුන්දෙනා විසිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එස්. එම්. චන්ද්‍රසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දුමින්ද දිසානායකත් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නීතිඥ කස්තුරි අනුරාධනායකත් පැමිණ සිටියහ. ඊට අමතරව ෂෙහාන් සේමසිංහ ඇතුළු අනුරාධපුරේ තරුණ නායකයින් කිහිප දෙනෙක් ද වූහ. ජනාධිපති රනිල් සමඟ රුවන් විජේවර්ධන හා සාගල රත්නායක ද පැමිණ සිටියහ.

ඉන් පසු සියල්ලෝ ම පැමිණියේ උඩමළුවටය. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියෝ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගත් අතර එතන උන්වහන්සේ සමග ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ප්‍රභූන් හා දූත පිරිසක් ද වූ බැවින් පුළුල් සාකච්ඡාවකට ද මඟ පෑදී තිබිණි. සිරිනිවාස හිමියන්ගේ අනුශාසනාවෙන් පසුව සාකච්ඡාව ආරම්භ විය. වෙනදා අටමස්ථානය වඳින්නට එන විදේශීය සංචාරකයන් ගැන කතාබහක් ඇති විය. මියන්මාරයෙන් හා වියට්නාමයෙන් එන සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් ගැන කතා කරද්දී ජනාධිපතිවරයා කිව්වේ ඉදිරියේ දී ඔවුන්ට ලබාදෙන සංචාරක පහසුකම් සමග එම ප්‍රශ්නය විසඳෙණු ඇති බවයි. සංචාරකයන්ට පැමිණීම සඳහා ප්‍රදේශයේ මාර්ග පද්ධතියෙහි ඇති දුර්වලතා සිරිනිවාස හිමියෝ පෙන්වා දෙද්දී ජනාධිපතිවරයා ඊට ප්‍රායෝගික විසඳුමක් දීමේ කටයුත්ත ව්‍යාපෘතිය භාර නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

“ගොවියන්ට මොනවද දැන් ප්‍රශ්න තියෙන්නේ… ගොවියන්ගේ ඉන්ධන ප්‍රශ්නය ඉවරයි. ඒ වගේම පොහොර ප්‍රශ්නයටත් හොඳ උත්තරයක් ලැබිලා තියෙනවා. දැන් මොනවද තියෙන ප්‍රශ්න..?”

“තවමත් අපට මේ පළාතේ බීජ ප්‍රශ්නය තියෙනවා. ගොවියන්ට වගාවට හොඳ බීජ ලැබෙන්නේ නෑ…”

ස්වාමීන් වහන්සේලා එම ප්‍රශ්න යොමු කරද්දී ජනාධිපතිවරයා බැලුවේ දිසාපතිවරයා දෙසය… “ඔබතුමා වහාම මේ ගැන උනන්දු වෙලා හොයල බලන්න…” ජනාධිපති කීවේය. උතුරුමැද පළාතේ ගොවීන්ට, මෙන්ම නිලධාරීන්ට ද තිබූ ප්‍රශ්න රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ඉන්පසුව සියල්ලෝම උඩමළුව වැඳපුදා ගන්නට ගියත් ජනාධිපතිවරයා පසුපසින් මහා සෙනඟක් ඇදී ආ බැවින් දෙවැනි මළුවේ නතර විය. ඉන් පසුව ජනාධිපති උඩමළුවට ගොස් සිරිමා බෝධිය වැඳපුදා ගත්තේ එස්. එම්. චන්ද්‍රසේන, රුවන් විජේවර්ධන, කස්තුරි අනුරාධනායක යන කීපදෙනෙකු සමග ය. ඉන්පසුව රුවන්වැලිසෑය, ලංකාරාමය හා මිරිසවැටිය වැඳපුදා ගන්නට ගියේය. ඉන්පසුව ජනාධිපතිවරයාට දිවා ආහාරය සඳහා සහභාගී වීමට සිදුවිය. දිවා ආහාරයෙන් පසුව මිරිසවැටිය විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ ජනාධිපතිවරයාට අපූරු කතාවක් කීවේය.

“අතීතයේ අපේ රටේ හිටපු මනුස්සයෙකුට ලොකු ලී පෙට්ටියක් හමුවුණා. ඒ මනුස්සයා කළේ ඒ පෙට්ටිය වාඩිවෙන්න යොදාගත් එක පමණයි. හැබැයි ඔතනින් ගිය එක්තරා පඬිවරයෙක් ඒක දැකලා අර මනුස්සයට අවවාදයක් දුන්නා ‘මනුස්සයෝ…. ඔය නිධානයක් උඩ නොවැ වාඩිවෙලා ඉන්නේ. ඕක බංකුවකට පාවිච්චි නොකර ඇරලා බලනවා මොනවද තියෙන්නෙ කියලා…”

ඔන්න ඊට පස්සේ තමයි අර මනුස්සයා පෙට්ටිය ඇරලා බලලා ඒක ඇතුළේ තිබුණු රන්, රිදී, මුතු මැණික් ටික ගත්තේ.

ඔබතුමාට කලින් හිටපු අයත් මේ පෙට්ටිය ඇතුලේ තියෙන දේවල්වල වටිනාකම අඳුන ගත්තෙ නැහැ. අපිට දැන් ඔබතුමා පේන්නේ අර පෙට්ටිය ඇතුලේ තියන දේවල් ගැන හඳුන්වලා දුන්න පඬිවරයා වගේ. ඔබතුමා තමයි මේ නිධානේ නියම ඵල ප්‍රයෝජන මේ රටේ ජනතාවට අරන් දෙන්නේ…”

ඔබතුමාට දැන් දෙවැනි පරපුරකුත් ඕනෑ. මේ ඉන්නේ හොඳ දෙවන පෙළ නායකයෝ…(රුවන් විජේවර්ධන දෙස බලමින්) මුන්නැහේ නොවැ විජේවර්ධන පවුලේයි සේනානායක පවුලේයි උරුමය භාරගන්න ඉන්න එකම කෙනා… දැන් ඉතින් ඉස්සරහට එන්න ඕන.” හිමියෝ කීහ.

දිවා ආහාරයෙන් පසු ජනාධිපතිවරයා ථූපාරාමය ඇතුළු විහාරස්ථාන ගණනාවකටම ගියේය.

“ඔබතුමා බලයට ඇවිල්ලා මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න ගත්ත පියවර ගැන අපි බොහොම සතුටුයි. ඒ කලබලකාරී පරිසරය තවදුරටත් තිබුණ නම් මේ රටේ හාමුදුරුවෝ කෙනෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි වෙනවා…” ජේතවන විහාරාධිකාරී රතනපාල හිමියෝ කීහ.

ඉසුරුමුණිය විහාරයට ගොස් ආපසු එන අතර ජනාධිපතිවරයාට මුහුණට මුහුණ තරුණ තරුණියන් පිරිසක් මුණ ගැසුණි.

“ආ… ඕගොල්ල මඟුල් ගෙදරක ගිහිල්ලද…?”

“නෑ සර් පන්සල් මයි ආවේ…”

“එහෙනම් ඉතින් මං වගේ ඇඳපැලඳගෙන ඉන්න එපාය…”

“අපි කෑගල්ලේ ඉඳලා ආවෙ ක්‍රීඩා තරඟ වගයකට. පන්සල් ආවම ඔබතුමා ඉන්නවා කියලා දැනගෙන බලාන හිටියා..”

“අයියෝ ගොඩක් වෙලා බලන් හිටියද… දන්නවනං කලින් එනවා…” කියමින් විහිළු තහළුවෙන් ඔවුන්ගෙන් සමු ගනිද්දී ජනාධිපතිවරයා ඉදිරියට පැමිණියේ පෘතුගාලයේ සිට පැමිණි විදේශීය සංචාරක පවුලකි. එහි සිටි එක් කුඩා දරුවෙක් ‘මිස්ටර් ප්‍රසිඩන්ට්’ කියා ජනාධිපතිවරයා අමතා ඔහු සමඟ ඡායාරූපයක් ගත හැකිදැයි විමසා සිටියේය. ජනාධිපතිවරයා ඊට බොහෝම සතුටෙන් එකඟ විය. ටික වේලාවක් ඔවුන් සමග රට තොට තොරතුරු ගැන කතා කරන්නට ද අමතක කළේ නැත. තවත් සංචාරක පිරිස් කිහිපයක්ම පැමිණ ජනාධිපතිවරයාට කතා කරන්නට විය.

රාජපක්ෂ පවුලේ අය හා පොහොට්ටුවේ නායකයෝ පැමිණි පසු අනුරාධපුරයේදී අනිවාර්යෙන්ම යන විහාරයක් ද විය. ඒ ජයන්ති විහාරයයි.

“අනුරාධධනායකගේත් චන්ද්‍රසේනගේත් එකඟතාවය මත ජනාධිපතිවරයා ජයන්ති විහාරය වෙත ද රැගෙන ගියහ. වෙනදා එම විහාරස්ථානය පිරෙන්නට ම තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ පින්තූර වුවත් වර්තමානය වන විට බොහෝ පිංතූර ඉවත් කර තිබෙනු දක්නට ලැබුණි. ජනාධිපතිවරයාට එහිදී ලොකු ප්‍රතිචාරයක් ලැබිණි.

“ඔබතුමා මේ අනුරාධනායක මහත්තයා එක්ක ඉන්න එක ගැන අපිට සතුටුයි. එතුමා හැර නොයන කෙනෙක්. එතුමා මගේ ඥාති නැගණියක් එක්කයි විවාහ වෙලා ඉන්නේ…”

“ඔබ වහන්සේලාත් හැම පැත්තක්ම අල්ලනවා එහෙනම්…”

“අපි ඥාතියෝනෙ ජනාධිපතිතුමා…” නුගේතැන්නේ පඤ්ඤාලෝක හිමියෝ කීහ.

ඒ එන අතරමගදී තවත් ගැමියන් පිරිසක් හමුවී ජනාධිපති හා කතා කළේය….

“ඔබතුමා අපට තියෙන ප්‍රශ්න එකින් එක විසඳලා දෙනවා. දැන් අපට තියෙන්නෙ ලොකුවට අලි ප්‍රශ්නය තමයි…”

“මටත් ලොකුවට තියෙන්නේ අලි ප්‍රශ්නයක්… මට අලි නැහැලු… කමක් නැහැ ඉතින්. මම කොහොමත් තනි අලියනේ…” ජනාධිපතිවරයා කීවේය.

එදා උදේ පටන් පන්සල් දහයකට පමණ ගොස් වෙහෙස මහන්සි වී සිටි බැවින් ජනාධිපතිවරයාට ටිකක් තනි වී විවේක ගන්නට අවශ්‍ය විය. ජනාධිපතිවරයා ඒ අනුව අනුරාධපුර ජනාධිපති මන්දිරයට ගියේය.

● වැඩි රාජ්‍ය සේවකයන්ට
රනිල් අනතුරු අඟවලා…

පසුවදා උදෙන්ම වැඩ පටන් ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුලින්ම ගියේ මිහින්තලය විහාරයට ය. විහාරාධිපති හිමියෝ ජනාධිපතිවරයා සමග කතාබහ කරමින් මිහින්තලය පරිසරයේ ඇති අඩුපාඩු පෙන්වා දුන්නේය.

එම කතාබහින් පසුව ජනාධිපතිවරයා කෙලින්ම අනුරාධපුරය ගෝල්ඩන් මැන්ගෝ හෝටලයට පැමිණියේය. විශේෂ දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමක් එහි පැවැත්විණි. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ නිලධාරීන් හා දේශපාලනඥයින් ඊට සහභාගී වී සිටියහ. රැස්වීම අමතා කතා කරන්නට ජනාධිපතිවරයාට ආරාධනා කළේ අනුරාධනායකය.

“නිදහසින් පසුව බිහි වෙච්ච අපේ රටේ බොහෝ දේශපාලනඥයෝ හිටියා. ඒ හුඟක් අයට විවිධ බෙර පද විවිධ තාල විවිධ වන්නම් තව බොහෝ අය හදල දුන්නා. ඒ නායකයන් බොහෝ දෙනෙක් නැටුවේ අනුන්ගේ පදවලට.

හැබැයි මම දැන් ආරාධනා කරන්නේ තමන්ටය කියලා වෙනමම තාලයක් වෙනම බෙර පදයක් නිර්මාණය කර ගත්තු අපේම නායකයෙකුට…. ගරු ජනාධිපතිතුමාට මම ආරාධනා කරනවා සභාව අමතන්න…”

ජනාධිපතිවරයා කළ කතාවේ සමහර කොටස් පසුගිය සතියේ අපේ රටේ දේශපාලන කතිකාවේ උණුසුමින් කතාබහට ලක් වූ මාතෘකාව වූහ.

රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ගැන ජනාධිපතිවරයා මෙහිදී මෙසේ කීවේය.

“එක ගමකට ඉන්නවා අපේ රජයේ නිලධාරීන් හත්දෙනෙක්. ග්‍රාම නිලධාරී කියලා ඉන්නවා, සමෘද්ධි නිලධාරී කියලා ඉන්නවා… මේ ආකාරයේ හත්දෙනෙක් ගමට ඉඳලත් මොනවද කරන්නේ කියලා හිතාගන්න බෑ. වැඩිදෙනෙක් නිකන් ඉන්නේ. දැන් ඉස්සරහට නිකන් ඉඳලා ආණ්ඩුවෙන් කන්න බලාපොරොත්තු වෙන්න එපා. වැඩ කරන අය ඉන්න වැඩ කරන්න බැරි අය ගෙදර යන්න…”

ජනාධිපතිගේ මේ කතාව එක් අතකින් රාජ්‍ය සේවයේ සිටින අතිරික්ත සේවකයන්ට අනතුරු ඇඟවීමක් බඳු විය.

ජනාධිපති රනිල් එදාම කොළඹ පැමිණියේය. එහෙත් ජනාධිපතිවරයා අනුරාධපුරයේදී රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව ගැන කී කතාව බෙහෙවින් සමාජගත විය.

පසුගිය සතියේ එක්තරා රූපවාහිනී වැඩසටහනකට පැමිණි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් මායාදුන්නේ මහතා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ගැන කියමින් කදිම කතාවක් කීවේය.

“දැනට රාජ්‍ය සේවයේ ලක්ෂ 15ක් විතර සේවකයෝ ඉන්නවා. නමුත් මෙයින් සේවකයොත් තුනෙන් එකක් විතර අඩු කළත් රාජ්‍ය සේවයේ අද පවතින මේ වැඩ කොටස ඒ විදිහටම කරගන්න පුළුවන්…”

මෙම මාතෘකාව දිගින් දිගටම නිලධාරීන් අතර පමණක් නොව සේවක සේවිකාවන් අතර හා වෘත්තීය සමිති අතරත් බරපතළ ලෙස සාකච්ඡාවට ගැනුණු උණුසුම් මාතෘකාවක් විය.

● යථාර්ථයක් නොවූ
සර්ව පාක්ෂික රජය…

පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ එකට එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ කටයුත්ත පසුගිය සතියෙත් යථාර්ථයක් වූයේ නැත.

එක් පැත්තකින් විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජන බලවේගය පක්ෂයක් හැටියට ඊට එකහෙළාම විරෝධය පළ කළේ යෝජිත එම සර්ව පාක්ෂික ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්දැයි ප්‍රශ්න කරමිනි. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩුවේ සර්වපාක්ෂික ආණ්ඩු යෝජනාවට බරපතළ විවේචන ගෙන ආවේය.

● ත්‍රස්ත පනතට
අලුත් මුහුණක්…

පසුගිය සතියේ සිදු වූ එවන් කැපීපෙනෙන අත්අඩංගුවට ගැනීම වූයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමය. වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් රඳවා තබාගැනීමේ නියෝගයක් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. එහෙත් මෙබඳු ශිෂ්‍ය ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රටේ සිවිල් සමාජයේ ද විවිධ ප්‍රශ්න මතු විය. සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ විවිධ තානාපති කාර්යාල දැනුවත් කරමින් අන්තර්ජාතික විරෝධයක් ලංකා ආණ්ඩුව කෙරෙහි යොමු කරවන්නට සමත් වූහ. කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය විරෝධතා හා වෘත්තීය සමිති විරෝධතා මැඬ පැවැත්වීම ගැන රටේ නීතිය හා සාමය පිළිබඳ මධ්‍යස්ථ මතධාරීන් අතර ද යම් අකැමැත්තක් තිබිණි.

තත්ත්වය මැනවින් තේරුම් ගත් ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයා හා සාකච්ඡා කොට ඊට ප්‍රඥාගෝචර විසඳුමක් සොයන්නට වූහ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂක පනත යනුවෙන් වෙනත් නමක් හා වැඩපිළිවෙළක් යෝජනා වන්නේ ඒ අනුවය.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නිහඬ වූයේ නැත. ඔවුන් මහා පරිමාණයෙන් ජනතාව අතරට ආණ්ඩුවට එරෙහි විරෝධතාව රැගෙන යන්නට උත්සාහ කළහ. රජයේ විවිධ අණපනත් යොදාගනිමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් හා තරුණ දේශපාලන ක්‍රියාකාරීන් මර්දනය කරන්නේ රාජපක්ෂවරුන් සතුටු කිරීමට යයි කියා තර්කයක් ඔවුන් සමාජගත කර තිබිණි.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් මේ කරමින් සිටින්නේ රාජපක්ෂවරුන් සතුටු කිරීමට ඔවුන්ගේ විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීමක් නොව, රටේ නීතිය හා සාමය ගොඩනැගීමට උත්සාහ කිරීම බව පොදු සිවිල් සමාජය තේරුම් ගනිමින් සිටියහ.

මේ කවර තර්ක, කවර විසඳුම් සමාජය තුළ තිබුණත් ඒ දැවෙන ආර්ථික ප්‍රශ්නවලට ඒ කිසිවකින් උත්තරයක් නොලැබෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ගේ මතය වූහ. රටේ ආර්ථික ක්ෂේත්‍රයේ උගතුන් වියතුන්ගේ කල්පනාව ද එයම වූහ. ඔවුන් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ සහයෝගය අවශ්‍ය වේලාවේ ඒ සඳහා විශ්වාසය ගොඩනැගෙන අන්දමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකර දේශපාලන කෝන්තර හා ප්‍රශ්න විසඳා ගන්නට ක්‍රියාකිරීම කිසිම ලෙසකත් අනුමත කළ නොහැකි කටයුත්තක් බව ය. කවුරු කෙසේ කීවත් රටේ සිදු වූයේ එයම විය.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සාදා ගත නොහැකි කල වැඩිදෙනාගේ එකඟතාවයෙන් යුතු බහු පාක්ෂික ආණ්ඩුවක් සාදා ගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ හා රජයේ අවධානය යොමුවිය. වහාම කැබිනට් මණ්ඩලයක් හා රාජ්‍ය ඇමැති මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා වට කිහිපයක් පසුගිය සතියේ පවත්වනු ලැබීය.

ජනාධිපති පසුගිය ඉරිදා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ දී මේ සඳහා ආණ්ඩුවේ හිටපු රාජ්‍ය ඇමැතිවරු පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

“අපි ඉතාමත්ම කඩිනමින් ලබන මාසය ආරම්භ වන විට කැබිනට් මණ්ඩලයක් හා ඒවාට අදාළ රාජ්‍ය ඇමැතිවරු පිරිසක් පත් කරනවා. රජයේ සමග එකතු වෙන අය පිළිබඳ නිශ්චිත ගණන් මිනුම් නැතුව මේ කටයුත්ත කරන්න තරමක් අසීරුයි. ඒත් මේක කළ යුතුයි…” ජනාධිපතිවරයා එහිදී එසේ කීවේය.

“ඔබතුමා රාජ්‍ය ඇමැතිවරු පත් කරනවා නම් රාජ්‍ය ඇමැතිවරුන්ට හිමිවන විෂය ක්ෂේත්‍රය හා බලතල පිළිබඳ ගැසට් එකෙන්ම දැනුම් දීමක් කරන්න. ගෝඨාභය ජනාධිපතිතුමා දෙවැනි වතාවේ ඒක කළා…

“එහෙම කරන්න බැහැ… එතකොට ව්‍යවස්ථාවේ ප්‍රශ්න රාශියක් පැන නගිනවා. අදාළ විෂය භාර කැබිනට් ඇමැතිවරයා තමයි තමන්ගේ අමාත්‍යාංශය යටතේ ඉන්න රාජ්‍ය ඇමැතිවරුන්ට හිමිවන බලතල හා විෂය ක්‍ෂේත්‍ර මොනවද කියලා තීරණය කරන්නේ…”

“ඒ ක්‍රමය අසාර්ථකයි ජනාධිපතිතුමනි…”

“මං හිතන්නේ නෑ… ඔයාලා කියන විදිහට වැඩ කරන්න ගියොත් තමයි ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරු අතර ඝට්ටන හා නොගැලපීම් ඇති වන්නේ….” සාකච්ඡාව නිමාව රාජ්‍ය ඇමැතිවරු වන්නට බලා සිටින බොහෝ දෙනෙක් ගෙදර ගියේ සිත සතුටින් නම් නොවේ.

සඳුදා හවස කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද මෙම ප්‍රශ්නය සාකච්ඡාවට ලක්විය. රාජ්‍ය ඇමැතිවරු වන්නට බලා සිටින තරුණ මන්ත්‍රීවරු පිරිසක් තමන් සමග මෙවන් යෝජනාවක් කළේ යැයි ජනාධිපතිවරයා කීය…

“කීයටවත් රාජ්‍ය ඇමැතිවරුන්ගේ විෂයන් මොනවද කියලා ගැසට් කරලා දක්වන්න එපා. ගෝඨාභය ජනාධිපතිතුමා වරද්ද ගත්ත එක තැනක් තමයි ඒ…” ඇමැතිවරු එක හඬින් කීහ.

● විමල්ලාගේ සමුළුව හා
ගෝඨාභයගේ අගමැතිකම…

පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ඩලස්ලාගේ ස්වාධීන කණ්ඩායමේ හා විමල් වීරවංශලාගේ සමගි කණ්ඩායමේ ද ක්‍රියාකාරකම් රැසක් දක්නට ලැබිණි.

විමල් වීරවංශලාගේ ස්වාධීන පක්ෂ එකමුතුව විසින් පිහිටුවනු ලබන නව සභාගය ලබන ඉරිදා එනම් සැප්තැම්බර් 4 වැනිදා හවස තුනට මංගල සමුළුවක් මගින් ජනගත කිරීමට යෝජනා විය. විමල් විරවංශලාගේ කණ්ඩායම ඒ සඳහා සාකච්ඡා කිරීමට පසුගිය අඟහරුවාදා බොරැල්ලේ පිහිටි ශ්‍රී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී එක් රැස්වූහ.

නව සභාගයක් ලෙස එකතු වන මෙම පක්ෂ එකමුතුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළ සාදා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව අපට වාර්තා විය.

“අපිත් එක්ක එකතු වෙච්ච සියලු පක්ෂවලින් ලැබී ඇති යෝජනා දැන් සැලකිල්ලට අරන් ඉවරයි. ඒ සියල්ලෙහි සම්පිණ්ඩනයක් වශයෙන් අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළ සකස් කරල අවසන්. නිශ්චිත උපාය මාර්ගික දැක්මකට අනුකූලව සැකසෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් හා එම ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම් වූ වැඩපිළිවෙළක් මත මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අපට වේදිකාවල්වල ගිරිය යටින් කෑ ගහන සටන්පාඨ වැඩක් නෑ. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයන සංවාදයක් ගොඩනැගීම තමයි වැදගත්. ”විමල් මෙහි දී කීවේය.

අපි ඉදිරියට යෑමට බලාපොරොත්තු වන ගමන පිළිබඳ සම්පූර්ණ අදහසක් රට හමුවේ තැබීමට අපි අපේ මංගල රැලිය යොදාගන්නවා…” රතන හිමියෝ කීහ.

මේ අතර පසුගිය සතියේ තවත් ප්‍රස්තුතයක් කරළියට ආවේය. ඒ වූ කලී අලුත් අගමැතිවරයෙක් පත් කිරීම පිළිබඳ ප්‍රස්තුතයයි.

ලබන සතියේ දී නිර්මාණය වන බහුපාක්ෂික ආණ්ඩුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව නිසැකය. එහෙත් එහි අග්‍රාමාත්‍යවරයා විය යුත්තේ ආණ්ඩුවේ බහුතර බලය හිමි පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයකු බව දැඩි ලෙස තර්ක කරන අය ද සිටියහ. නුදුරේදීම නැවතත් ලංකාවට එන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඒ සඳහා ඉදිරිපත්වීමට නොහැකි මන්දැයි කියා තර්ක කළහ.

“එක ආසනයක් තියෙන රනිල්ට ජනාධිපති වෙන්න පුළුවන් නම් ආසන එකසිය තිස් ගණනක බලය හිමි ගෝඨාභයට ඇයි අගමැති වෙන්න බැරි…” එය අමුතු තර්කයක් විය. සමහර අයට නම් එය හාස්‍යජනක කතාවක් ද විය. එහෙත් එය විහිළුවක් නොවන බව අපි දුටුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යම් යම් නියෝජිතයින් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශයන් නිසා ය.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන මධුර විතානගේ සහ ප්‍රදීප් උඳුගොඩ බ්‍රහස්පතින්දා රාත්‍රියේ ප්‍රසිද්ධ රූපවාහිනියක පැවැති විවාදයකදී මෙම අදහස දැඩිව පළ කර සිටියහ…

ගෝඨාභය තමයි අගමැති විය යුත්තේ.

● ඔර්ජිනල් විපක්ෂය
හා නිකන් විපක්ෂය

කථානායක මහින්ද යාපා අබේවර්ධන විදේශගතව සිටි බැවින් මෙවර පක්ෂ නායක රැස්වීම පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

එහිදී සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පිළිබඳව පක්ෂ නායකයන් දැනුවත් කළහ.

පාර්ලිමේන්තුව හෙට (29) රැස්වීමට නියමිත අතර එදින දවස පුරාම විදුලි බිල වැඩි කිරීම පිළිබඳ විවාදය පැවැත්වීමට ද පක්ෂ නායකයෝ තීන්දු කළහ. එමෙන්ම අනිද්දා (30) පාර්ලිමේන්තුව පස්වරු 1.00ට රැස්වීමට නියමිත අතර එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට ද නියමිතය.

අනතුරුව අන්තර් කාලීන අයවැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට ද ඔව්හු තීන්දු කළහ.

එමෙන්ම මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව මෙන්ම රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා විසින් එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ද නියමිතය. ඒ සඳහා සියලුම මන්ත්‍රීවරුන් සහභාගී කරවීමට ද පක්ෂ නායකයෝ එකඟතාව පළ කළහ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර් කාලීන අයවැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම සිකුරාදා පැවැත්වීමට පක්ෂනායක රැස්වීමේදී එකඟතාවය පළවිය. පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම්වලට අදාළව මන්ත්‍රීවරුන්ට කාලය වෙන්කිරීමේදී තමන් මුහුණදී සිටින උභතෝකෝටික ප්‍රශ්නයක් ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී අනාවරණය කළේය.

“අපේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විපක්ෂයේ වාඩි වෙලා තමන් ස්වාධීන මන්ත්‍රීවරුන් විදියට අඳුන්වා ගන්නවා. මේ අය විපක්ෂයේද නැත්නම් ආණ්ඩුවේද කියල හොයා ගන්න බෑ.” ඇමැති ප්‍රසන්න කීවේය.

“අපොයි ඇමැතිතුමා, අපි නම් ඔරිජිනල් විපක්ෂයේ” විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“මෙතන ඔරිජිනල් විපක්ෂයක් කියල එකක් නෑ. අපි ආණ්ඩුවේ හොඳ දේට හොඳයි කියනවා. නරක දේ නරකයි කියනවා”

කිරිඇල්ලගේ එම කතාවට ශ්‍රී.ල.නි.ප මහලේකම්, දයාසිරි ජයසේකර තරමක කේන්තියෙන් කීවේය.

“ඇත්තටම මන්ත්‍රීතුමා, මන්ත්‍රීවරුන්ට විවාදවලදී කාලය වෙන්කරන්න ගියාම මගේ ඔළුව කකියනවා. ඔබතුමන්ලා දෙපැත්තෙ කකුල තියාගෙන ඉන්නැතුව එක්කො ආණ්ඩුවෙ ඉන්න, නැත්නම් විපක්ෂයේ ඉන්න” ඇමැති ප්‍රසන්න රණතුංග දයාසිරිට කීවේය.

කථානායකවරයා දිවයිනට පැමිණි පසු මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීමට පක්ෂ නායකයෝ එහිදී එකඟතාවය පළ කළහ.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment