සඳකඩපහණ විරාමයකින් පසුව යළි රට වටා

172

බොහෝ සංස්කෘතික ඉසව්වන් සඳහා විවිධ පරිසර හේතු මඟින් සීමා පැනවූ යුගය නිම වෙමින් පවතිනු දැකීම සතුටකි. පසුගිය සමයෙහි ලැබුණු රසික සංවිධායක ඉල්ලීම් මත සඳකඩපහණ ප්‍රසංගය නෙත්රූ කලා සංසදයේ ඉදිරිපත් කිරීමක් ලෙස 2023 ජනවාරි 14 වැනිදා මාදම්පේ සමුපකාර ශාලාවෙහි ද, කඩවත ව්‍යාපාරික සංගමයේ ඉදිරිපත් කිරීමක් ලෙස පබරවාරි 04 වැනිදා ගම්පහදී ද පැවැත්වෙනු ඇත. මෙහි සංගීත මෙහෙයුම සුසිල් අමරසිංහ විසින් ද පිටපත රචනය සහ ප්‍රසංග කළමනාකරණය පුෂ්කර වන්නිආරච්චි විසින් ද සිදු කෙරෙයි.

දිගු කාලයක් පුරා මෙරට සංගීත රසකාමීන්ගේ අපමණ ඇගයීමට සහ වින්දනයට හේතු වූ සුනිල් එදිරිසිංහයන්ගේ ‘සඳකඩපහණ’ ප්‍රසංගය නැවත රට වටා ගමන් අරඹන්නට සැරැසෙන බව අසන්නට ලැබීම රසිකයන්ට මෙන් ම දර්ශන සංවිධායකයන්ගේ ද අමන්දානන්දයට හේතුවනු ඇත. මේ පිළිබඳව ‘දිවයින’ සිනමා කලා සංග්‍රහයට අදහස් දැක්වූ ප්‍රවීණ ග’තඥ සුනිල් එදිරිසිංහ පළ කළේ මෙවන් අදහසකි.

“ නිර්මාණවේදීන් මෙන් ම, සරල සුභාවිත ගීත රස විඳින්නට කැමැති වර්ධනය කරගත් වින්දන ධාරිතාවක් සහිත රසික සහෘදයා රටක සංස්කෘතික පෝෂණයට ඉටු කරන්නේ මහත් මෙහෙවරක්. සුභාවිත කලා මාධ්‍යයක පැවැත්මට එය ඉතා වැදගත් වෙයි. මේ ප්‍රසංගය වටා 90 දසකයේ දී පොදි බැඳගත් තරුණ රසික රසිකාවන් අද වන විට දෙමාපියන්, වැඩිහිටියන් බවට පත්වී සිටිනවා. උසස් රස වින්දනය සහ රසිකත්වය යනු කුමක්දැයි සිය දූ පුතුන්ට හඳුන්වාදීමට ද ඔවුන්ට මෙය කදිම අවස්ථාවක් වනු නිසැකයි.”

● පුෂ්කර වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment