සඳගල රැගෙන ගියේ දේශපාලන්ඥකුගේ පුතෙක්?

697

මහනුවර දැන් දැන් අමුතු ආරයේ කටයුතු සිදුවන්නේය. හොරුත් හාමුදුරුවන්ගේය බඩුත් හාමුදුරුවන්ගේය වැනිය. සිංහල රාජවංශයේ අවසන් රජු වශයෙන් ප්‍රකට ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රජ මාලිගය පිහිටියේ යැයි කියන කිලෝ ග්‍රෑම් දහසකට අධික බරකින් යුත් පුරාවිද්‍යා ස්මාරකයක් පසුගිය දෙසැම්බර් මස 14 දින අලුයම් කාලයේ බලවත් සොරුන් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබිණි.

නරේන්ද්‍රසිංහ රජ සමයට අයත් බව කියන කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල සොරා ගෙන ගිය සොරුන් බලවත් බව කීවේ එය රැගෙන ගොස් ඇති ආකාරය නිසාය. කිලෝ දහසක පමණ බරින් යුත් මෙම සඳගල එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇත්තේ බූම් යන්ත්‍රයක් උපයෝගි කරගෙන ය. ඒ සඳහා ඩිෆෙන්ඩර් රථයක පැමිණි පිරිසක් ආරක්ෂාව ද ලබා දී ඇත. එම ආරක්ෂාව යටතේ රැගෙන ගොස් තිබෙන සඳගල සඟවා තබා ඇත්තේද බලවත්ම පුද්ගලයකු ළඟම විය යුතුය. මන්ද මෙයට අදාළ සීසීටීවී දර්ශන සොයා ගත හැකි වූ නමුත් ඒ කිසිවක් හෝ කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම නිසාය. ඒ නිසාම සඳගල සොරාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා තිබේ.

දෙනෝදාහක් ජනතාවගේ දෑස් අභිමුව ටොන් ගණනක් බර පුරාවස්තුව ගලවා රැගෙන යන්නට තරම් ජගතෙකු මේ මිහිපිට වේ නම්, ඒ මේ රටේ නීතියට එපිට සියල්ල කණපිට හැරවිය හැකි අයෙකුය. බයක් සැකක් නීතියක් ඇති අයෙකු වේ නම් ඒ ද මේ දේශපාලන මඩ ගොහොරුවේ පිණුම් ගසන්නෙකුම විය යුතුය. එසේ නොවන සාමාන්‍ය සාධාරණ පොළොවේ පය ගසා සිටින සාමාන්‍ය වැසියෙකු නම් අන්සතු දෙයකට අත තබන්නට බිය වනවා නියතය.

සඳගල රැගෙන ගියේ දේශපාලන්ඥකුගේ පුතෙක්?

ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන වසර තිස්දෙකක් පමණ මෙරට රජකළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බව පැවසෙන කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ මෙම සඳගල අඩි හතරක් පමණ දිගින් හා අඩි තුනක් පමණ උසකින් යුක්තය. මේ තුළ මැණික් හෝ රන් රිදී ඔබ්බවා එයින් පුරවා ඇතැයි මෙය සොරා ගිය පිරිස සිතන්නට ඇත. මේ වන විටත් ඒ සඳගල කඩා කුඩු කොට දමා තිබෙන්නට පුළුවන. දේශපාලනඥයන්ගේ නාටකයේ රඟ දක්වන නළු නිළි පිරිසට පුරාවිද්‍යා ස්මාරකයක අගයක් නොදැනෙන හෙයිනි.

සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතීව හා වඩා පුළුල් ලෙස සිදු කිරීමේ අරමුණින් පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා කීය. සැබැවින්ම මෙය මහ පුදුම රටකි. පුරාවිද්‍යා ආඥා පනත ප්‍රකාරව පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් කිසියම් වස්තුවක් සොරා ගත් අයකු සාක්ෂි සහිතව සැකකරුවකු වූ විට ඔහු හෝ ඇය අධිකරණය ඉදිරියේ වරදකරුවකු වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිය යුතුය. එහෙත් මේ සොරකම පිළිබඳව සැකකරුවන් පිළිබඳව චිත්‍රයක් ඇතත් ඔවුහු තවමත් නිදැල්ලේ සිටිති.

දැනගන්නට ඇති පරිදි සඳගල ඇත්තේ කොළඹට ආසන්න ප්‍රදේශයකය. රැගෙන ගිය අවස්ථාවේ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් තවත් ට්‍රක් රථයක් යතුරු පැදි දෙකක් භාවිත කර ඇති බවද දැනගන්නට ඇත. මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන්නේ දුරකථන ජාල පරීක්ෂාවෙන් සහ සීසීටීවී දර්ශන නිරීක්ෂණයෙනි. ප්‍රධාන සැකකරුවන් සියල්ලෝම මහනුවර ට තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද තොරතුරු තිබේ. දේශපාලනඥයකුගේ පුතෙකු, සහ දේශපාලනඥයාගේ ආධාර කරුවන් මෙම සිද්ධියට සම්බන්ධ බවටද තොරතුරු අනාවරණය වෙමින් තිබේ. ඒ පිරිස අතර වන ප්‍රබල ආධාරකරුවෙකු පොලිස් නිලධාරියෙකුගේ ස්ථාන මාරුවක් සඳහා ඍජු මැදිහත් වීමක් කර ඇති බවටද කරුණු අනාවරණය වී ඇත. මේ සියල්ල හමුවේ සඳගල පිළිබඳව නුවර පරීක්ෂණ අවරට යෑම අරුමයක්ද නොවේ. දැන් පරීක්ෂණ සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහාය. සැකකරුවන් පැමිණි වාහන වල අංක හඳුනාගෙන ඇතත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර නොගන්නා බවට එල්ල වූ චෝදනා සැලකිල්ලට ගනිමින් අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යටතට පැවරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. නීතියේ ආධිපත්‍ය නොමැති රටකට කන්‍යාභාවයක් නැත. අශිෂ්ට දුස්සීල පාලකයන් හමුවේ රටේ ඉතිහාසය වළපල්ලටම යමින් තිබේ. තාත්තලාගේ බලය අයුතු ලෙස පාවිච්චි කරන පුත්තු ඇති තැනක වටවී සිටින්නේ බඩපිණුම් ගසන රිළා රැලකි. දැන් සාමාන්‍ය ජනයා වන අපට සිදුවන්නේ බලා සිටීමට පමණි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment