සඳහිරුසෑයේ චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ මහජන වන්දනාව සදහා රටපුරා පෙරහරකින් වැඩම කරවයි

922

සඳහිරුසෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මහජනයාට වැඳ පුදා ගැනීම උදෙසා පෙරහැරක් මගින් රට පුරා ප‍්‍රදර්ශනය කිරීම මෙම මස 8 වැනිදා ආරම්භ කරන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික) පැවසීය.

 ඒ අනුව, කොළඹ ගංගාරාමය විහාරස්ථානයෙන් ආරම්භ වී දින 47 ක් පුරා සංචාරය කරමින් දිවයිනේ දිස්ත‍්‍රික්ක 18 ක් ආවරණය වන පරිදි විහාරස්ථාන 48 ක් වෙත මෙම පෙරහර පැමිණෙනු ඇති බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා මෙම පෙරහර සඳහා අදාළ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් සෞඛ්‍ය ආරක්ෂණ පියවර ගනු ලබන බවත් ඒ අනුව අනවශ්‍ය ජනරාශීන් සිදු නොවන ලෙස පෙරහර පවත්වන බවත් සඳහන් කළේය.

 මෙම පෙරහර දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා ගමන් කිරීම සිදුකරන අතර, සෑම රාත‍්‍රී කාලයකම සවස 6.30 සිට රාත‍්‍රි 9.30 දක්වා සෑම ගමනාන්තයකදීම ජනතාවට වන්දනා කිරීම සඳහා විවෘතව තැබීමටද පියවරගෙන ඇත.

 සඳහිරුසෑය, උසින් රුවන්මැලි මහා සෑයට පමණක් දෙවැනි වන අතර මෙම වසරේ නොවැම්බර් මාසයේදී ස්තූපය බැතිමතුන් හට වන්දනා කිරීම සඳහා භාරදීමට බලාපොරොත්තුවන අතර චූඩා මාණික්‍ය එළිදැක්වීමේ පුන්‍යෝත්සවය නොවැම්බර්  18 වැනිදා පැවැත්වීමට නියමිතය.

 මෙම තොරතුරු අනාවරණය වූයේ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික)මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත්දා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡුාවකදීය.

 ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සීඞී වික‍්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ, සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක්ද මෙම මාධ්‍ය හමුවට එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment