සඳහිරු සෑය සසුනට පූජා කිරීම අද

381

මෙරට බෞද්ධ ඉතිහාසයේ මෙන්ම අනුරාධපුර පුණ්‍යභූමියේ නව පරිච්ෙඡ්දයක් පෙරළමින් සඳහිරු සෑය අද දින ජාතියට දායාද කෙරේ.

තිස් වසරක කුරිරු යුද්ධයේදී ශ‍්‍රී ලංකා මාතෘ භූමිය මුදා ගැනීමේ සටනේදී දිවි පිදු හා ආබාධිත වූ රණවිරුවන්ට උපහාර වශයෙන් රණවිරු ශ‍්‍රමයෙන් ඉදි කළ සඳහිරු සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ බැතිමතුන්ගේ වන්දනාව පිණිස සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (18දා) ඉල් මස පුන් පෝදා සවස සිදු කෙරේ. සවස 4.40 ට ජනපති සහ අගමැති ආරාධනයෙන් මහා සංඝරත්නය විසින් සඳහිරු සෑරදුන්ගේ කොත්වහන්සේ නිරාවරණය කිරීමට නියමිතය. මහා සංඝරත්නය ප‍්‍රමුඛ ප‍්‍රභුවරුන් විසින් විහාර මන්දිරයේ පිළිම වහන්සේට මල් පූජා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා විසින් සඳහිරු සෑ විහාර මන්දිරයේ ධාතු කරඬුවට ආභරණ පැළඳවීමට නියමිතය.

සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් නිමාවට පත්වූ බව ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එම සෑරදුන් ශ‍්‍රී සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ සන්නස් පත‍්‍රය කියවීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සම්බුද්ධ ශාසනය වෙත පූජා කිරීම සිදු කිරීමට නියමිතය.

මේ දාගැබට මුල්ගල තැබුණේ 2010 නොවැම්බර් 11 වැනිදායි. ‘සඳහිරුසෑය’ යන්නෙහි තේරුම සඳ මෙන් සෞම්‍යය ද හිරු මෙන් තේජස් බවින් යුක්ත ද රජුන් යන්නයි. එසේම ඉර හඳ තිබෙනතාක් රටේ සාමය පවතීවායි යන්න එනමින් සංකේතවත් කෙරේ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ යුද්ධයේදී මියගිය 27,000ක් වූ රණවිරුවන් අතුරුදන් වූ 45,000ක්, ආබාධිත වූ 37,000ක් එම යුගයේ ජන නායකයන් හා ඊට කැපවූ සියලූ ජනතාව සිහි කිරීම උදෙසා සාමයේ සංකේතයක් ලෙස සඳහිරු සෑය ඉදිකරනු ලැබීය. ශ‍්‍රී ලාංකේය ඉතිහාසයේ ථූපවංශයට අනුව මෙතරම් විශාල චෛත්‍යයක් පාදමේ සිට සම්පූර්ණයෙන් ඉදිකිරීම් කිරීමේ කර්මාන්තයක් අනුරාධපුර හා පොලොන්නරු යුගවලින් පසු සිදු කෙරී නැත. සඳහිරු සෑයේ ඉදිකිරීම් 2016 දී නිම කිරීමට සූදානම් කර තිබුණත් 2015 ආණ්ඩු වෙනස නිසා මෙහි කටයුතු මන්දගාමී විය. ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපති ලෙස පත්වීමත්, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්වීමත් සමඟ ඔවුන්ගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් (විශ‍්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ අධීක්ෂණයෙන් යළි මෙහි ඉදිකිරීම් වේගවත් විය. සඳහිරුසෑය ව්‍යාපෘති සම්බන්ධීකාරක 9 වැනි ඉංජිනේරු රෙජිමේන්තුවේ ලූතිනන් කර්නල් මොහාන් කුමාර මහතායි.

සඳහිරු සෑයේ 3 වැනි පේසා වළල්ලේ සිට අඩි 17ක් උඩින් ගර්භයේ මැද කොටසේ නිධන් වස්තු තැන්පත් කරන ගර්භය ඉදිකර ඇත. එය අඩි 11ක් උස අඩි 30ක් පළලය. අඩි 30ක් දිගය. මෙම කුටියේ මැද තවත් විශේෂ කුටියක් තිබිණි. ඒ සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කරන කුටියයි. ඒ කුටිය අවට රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ හා තවත් නිධන් වස්තු සඳහා කුටි සකස් කෙරිණි. රත්රන්වලින් නිම කළ බුදු පිළිමයක්, රත්රන්වලින් සැකසූ බෝධින් වහන්සේ නමක්, රන්පත් ඉරුවල ලියන ලද ත‍්‍රිපිටකයක් ද මෙහි තැන්පත් කෙරිණි. ඊට අමතරව බාහිර අය ලබා දුන් රිදී, මුතු, මැණික් ද මෙහි තැන්පත් කෙරිණි.

මෙම සියලූ කුටිවල සුවිශේෂ නිධන් වස්තු තැන්පත් කිරීම 2014 නොවැම්බර් 23 වැනිදා මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය පන්දහසකගේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා වත්මන් ජනපති හා එවක ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

චතුර පමුණුව, අනුරාධපුර පර්සි කුරුනේරු, නොච්චියාගම එන්. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment