සඳහිරු සෑ පරිශ‍්‍රයේ අටවිසි බුද්ධ ප‍්‍රතිමා නිරාවරණය කෙරේ

210

අනුරාධපුර සඳහිරු සෑ පරිශ‍්‍රයේ අටවිසි බුද්ධ ප‍්‍රතිමා තැන්පත් කිරීම මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මධ්‍යයේ ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (5 දා) සවස පැවති උත්සවයකදී සිදුකෙරිණි.

සඳහිරු සෑ පරිශ‍්‍රයේ අටවිසි බුද්ධ ප‍්‍රතිමා නිරාවරණය කෙරේ

නා උයන ආරණ්‍ය සේනාසනයේ සිට ආගමික පෙරහැරකින් සඳහිරුසෑය පරිශ‍්‍රය වෙත අටවිසි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ඉකුත් 05 දා වැඩම කරවීම සිදු වූ අතර, පෙරේදා පැවති උත්සවය සඳහා ත‍්‍රිවිධ හමුදාපතිවරු ද, ආරක්‍ෂක ලේකම්වරයා සමඟ එක්වූහ.

 බුද්ධ ප‍්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමෙන් පසු අටවිසි බුද්ධ පූජා සහ බෝධි වන්දනා කටයුතු සිදුකළ අතර, මහා සංඝරත්නය ආගමික වතාවත් සිදුකළහ. මහා සංඝරත්නය ඇතුළු සියලූම ආරාධිතයන් පිළිගනිමින් උත්සවයේ පිළිගැනීමේ කතාව ආරක්‍ෂක ලේකම්වරයා විසින් සිදුකරන ලදී. සඳහිරු සෑයට යාබදව ඉදිකරන ලද බුද්ධ මන්දිරයේ තැන්පත් කර ඇති බුද්ධ ප‍්‍රතිමා සුබ මොහොතින් නිරාවරණය කර ලෝකවාසී බැතිමතුන් වෙත පූජා කිරීම ද මෙදින සිදුවිය.

 අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනාවාස මහා නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදුකෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා භික්‍ෂුන් වහන්සේ 300 නමක් ආරාධිතයන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

 නාඋයන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද හිමියන් විසින් අනුශාසනාව සිදුකරන ලදි.

 මෙහිදී ජෙනරාල් ගුණරත්න මහතා පැවසුවේ සඳහිරුසෑ බුද්ධ මන්දිරයේ තැන්පත් කර ඇති බුද්ධ ප‍්‍රතිමා සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර නිර්මාණය කර ඇති බවයි.

 පස්වැනි විධායක ජනාධිපති සහ වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව සඳහිරු සෑ රදුන් ඉදිකිරීම සිදුකළ බව වැඩිදුරටත් සඳහන් කළ ජෙනරාල් ගුණරත්න රටට සාමය උදාකිරීම පිණිස රණවිරුවන් විසින් කරන ලද මහත් කැපකිරීම් සිහිපත් කළේය.

 මෙහිදී අනුශාසනාවක් කළ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් රටට සාමය උදාකිරීම සඳහා අසීමිත දායකත්වයක් දැක්වූ සියලූ පාර්ශ්වයන් සම්බන්ධයෙන් මෙන්ම සඳහිරු මහා සෑ පුදබිමේ තැන්පත් කර ඇති බුද්ධ ප‍්‍රතිමාවන්හි වැදගත්කම පිළිබඳව සැදැහැවතුන් දැනුවත් කළහ.

 රටට සාමය උදාකරලීමට මහඟු සේවයක් ඉටුකරන ලද රණවිරුවන් හට කරන ලද ඉහළම උපහාරය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මීට මාස කිහිපයකට පෙර ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ ආරාධනයෙන් අනුරාධපුරයේදී සංවිධානය කර තිබූ ආගමික උත්සවයකදී සඳහිරු සෑය මහා සංඝරත්නය වෙත පූජා කරන ලදි.

 උත්සවයෙන් අනතුරුව එම පරිශ‍්‍රයේ ප‍්‍රගතිය දැක බලා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද එම ස්ථානයට පැමිණියේය. ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපති රාජපක්‍ෂ මහතා සමඟ පැමිණ පුදබිමේ ඉදිරි කටයුතු පිළිබඳව දැනුවත් කළේය.

 උත්වයට ගරුතර මහා සංඝරත්නය, රජයේ මැති ඇමැතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රාජ්‍ය නිලධාරීන් සහ සැදැහැවත්හු එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment