සඳුදා ඇරඹෙන ජිනීවා මානව හිමිකම් සමුළුව

265

50 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ජුනි 13 වැනිදා සඳුදා ආරම්භ වේ.මෙතෙක් දවස් ශ්‍රී ලංකාවට සහාය වූ රුසියාව මෙවර ශ්‍රී ලංකාවට සහාය දක්වන්නේ ද යන්න මෙතෙක් තහවුරු වී නැත. වාණිජ අධිකරණයේ පිස්කල්වරයකු සහ නීති නිලධාරියකු කළ අඥාන ක්‍රියාවක් නිසා රුසියාව දැඩි කෝපයට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ රුසියානු සංචාරකයන් විශාල පිරිසක් ආපසු එරටට කැඳවීමයි. මෙරටින් පිටව නොගිය රුසියානු සංචාරකයන් 2000ක් මාලදිවයින හරහා රුසියාවට ගෙන්වීමට රුසියානු රජය ක්‍රියා කරන බව වාර්තා වී ඇත.ඉන්දියාව කඩිනමින් රුසියාවෙන් තෙල් මිලට ගනිද්දී අපේ රට රුසියානු තෙල් ලබාගැනීමට ක්‍රියා කළේ නැත. මෙයට හේතුවී ඇත්තේ ඇමරිකාව බව අගමැතිවරයා ප්‍රකාශකර තිබුණි. එහෙත් බංග්ලාදේශය තෙල් සහ තිරිඟු ලබාගනිද්දී අප බලා සිටියේය. එසේම යුරෝපා රටවල් ඩොලර් බිලියන 368ක තෙල් සහ ගෑස් ලබා ගත්තේය.

මෙහිදී ජනපති සහ රජය රුසියාව අපේ මිතුරකු නිසා කඩිනමින් ගුවන් යානාවේ ප්‍රශ්නය විසඳා රුසියාටව් සහාය ලබා ගත යුතුව තිබුණි. එහෙත් මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කැඳවා විරෝධය දක්වන තුරු රජය බලා සිටියේය. විදේශ කටයුතු බලධාරීන් මෙය දෙපාර්ශ්වයක් අතර අර්බුදයක් යැයි පවසා ඇඟබේරා ගත්තේය.එහෙත් මෙය සිදුවූයේ 50 වැනි ජිනීවා සමුළුව ආරම්භ වීමට නුදුරුව තිබියදීය. යානාව නතර කිරීමට උත්සුක වූවෝ ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන බව නොදන්නේද?මෙවර ජිනීවා සමුළුවට ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් ද ඉදිරිපත් වී තිබේ. ඒ එක්සත් ජාතීන්ගේ විශේෂ දූතයකු ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන වාර්තාවයි. ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබියදී ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට එරෙහි ඒකපාක්ෂික මෙහෙයුම නතර කර නැත. ජුනි මාසයෙන් පසු සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට එරෙහි තවත් යෝජනාවක් ඉදිරිපත් වේ. බි්‍රතාන්‍යය, කැනඩාව ඇතුළු රටවල් කීපයක් එම යෝජනාවට අනුග්‍රහය දක්වයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටී තිබියදී ජනතාව තෙල් සහ ගෑස් පෝලිම්වල රැඳී සිටියදී මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාදාමයට එරෙහි වීමට කිසිදු රටක් ඉදිරිපත් වූයේ නැත.එහෙත් රුසියාව සහ චීනය මෙතෙක් දැක්වූ ශ්‍රී ලාංකික සහයෝගයට අප පිටු පෑ යුතුද? මේ පසුබිම මැද රුසියාව තරහ කරගැනීම නිසා ශ්‍රී ලංකාව මිතුරන් අහිමි විය. බටහිර රටවල් සහ කොටි ඩයස්පෝරාව ශ්‍රී ලංකාව සමග උග්‍ර වෛරයෙන් පසු වන බව අප අමතක කළයුතු නැත. එසේම ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව 120000 ක සාක්ෂි ඇති බව මානව හිමිකම් කොමසාරිස්වරිය පවසද්දී ජනපති ගෝඨාභය රාජපක්ෂ රජය ඊට අභියෝග කළේ නැත. යුද අපරාධ චෝදනාවලට අභියෝග කළහොත් එම චෝදනා පිළිගැනීම සිදුවන බව දේශපාලකයකු ඉදිරිපත් කළ මෝඩ තර්කයක් නිසා එම අභියෝග කිරීමේ අවස්ථාව මඟ හැරුණි.

මැදගොඩ අභයතිස්ස, රාජා ගුණරත්න, කල්‍යානන්ද තිරාණගම, වසන්ත බණ්ඩාර යන දේශප්‍රේමීහු ගෝඨාභය හමුවී යුද අපරාධවලට අභියෝග කරන ලෙස කළ ඉල්ලීම කෙරේ ද තැකීමක් නොකෙරිණි.එහෙත් ස්විට්සර්ලන්තය, බි්‍රතාන්‍යය යන රටවල ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් පමණක් තවදුරටත් කොටි ඩයස්පෝරාව හමුවේ සටන් වදී.ඊට හොඳම නිදසුන රුපියල් කෝටි 57ක් වැය කරමින් කැනඩාවේ දේශප්‍රේමීන් දමිළ සංහාර යෝජනාවට එරෙහිව එරට නීතිපතිට එරෙහිව නඩුවක් ගොනු කිරීමයි.එහෙත් මෙරට ජනතාව මේ බව දන්නේ නැත. මෙම නඩුවට මෙරට දේශප්‍රේමී ව්‍යාපාරිකයෙක් කැනඩාවේ ශ්‍රී ලාංකිකයන්ට සහාය දැක්වීම ඇගයීමට ලක්විය යුතුයි.එසේ වුවත් ශ්‍රී ලංකා රජය එම නඩුවට දායක වී නොමැත. මේ තත්ත්වය මත යුද අපරාධ චෝදනා මෙරට ජනතාවට දැන් සදහටම අමතක වී තිබේ.

මෙලෙස ජිනීවා මානව හිමිකම් සමුළුවේ 50 වැනි සැසිවාරය ලබන සඳුදා ආරම්භ වන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීහු 58ක් යුද අපරාධ චෝදනාවලට නම් වී ඇත. ඒ සාක්කි ඉදිරිපත් කිරීමෙන් තොරවය. එහෙත් යුද අපරාධ සිදු කළ කොටි 200කට අධික පිරිසක් යුරෝපා රටවල සිටිති. එම හිටපු කොටි ත්‍රස්තයන් කිසිවකුට අද වනතුරු යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මානව හිමිකම් කොමසාරිස්වරිය ක්‍රියා කර නැත. එසේ වුවත් මෙරට ත්‍රස්තවාදය පරදවා ජය ලැබූ ජයග්‍රාහකයන් යුද අපරාධකරුවන් බවට පත් වී සිටිති.මෙහිදී ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන රටවල් සියල්ලම යුද අපරාධ සිදු කර ඇත. බි්‍රතාන්‍යය, කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්රෝ යන රටවල්වලට යුද අපරාධ චෝදනා එල්ල වී ඇතත් ශ්‍රී ලංකාවේ රජය ඒ ගැන අභියෝග කර නොමැත.එවන් පසුබිමක් මැද සෑම ජිනීවා සමුළුවකදීම ශ්‍රී ලංකාවට එරෙහිව විමර්ශන වාර්තා ඉදිරිපත් වීම අවාසනාවන්ත තත්ත්වයකි. මේ වාර්තා ඉදිරිපත් කරන්නේ මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ විශේෂ නියෝජිතයන් සහ මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ය. මේ රාජ්‍ය නොවන සංවිධානවලට විදේශ රටවලින් ඩොලර් මිලියන ගණනක් හිමි වේ.එවැනි සංවිධාන 33ක ජාලයක් මෙරට ක්‍රියාත්මක වේ.මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් ශ්‍රී ලංකාවට ගැලවිය නොහැකිය. එහෙත් ජිනීවාහිදි ශ්‍රී ලංකාවට විදේශිකයන් හමුවේ අභියෝග කළ හැකි තානාපති නිලධාරියකු සිටියේ නැත.එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව පරාජය වීමයි.

එසේම එක් දේශපාලනඥයෙක් ජිනීවා ගොස් නතර වී සිටියේ අධික ගාස්තුවක් අය කරන ජිනීවා හි සුපිරි හෝටලයේය. එසේ වුවත් ජනතාව මේ බව දන්නේ නැත.මෙලෙස ජිනීවා ගිය ශ්‍රී ලංකා දූත පිරිසගේ ගමන් වියදම් ඩොලර් මිලියන ගණනක් ඉක්ම විය. මේ අතර ජිනීවා මානව හිමිකම් 50 වැනි සමුළුවේදී ශ්‍රී ලංකාව තනි වී ඇත. 2009 දී කොටි පරාජය කිරීමෙන් පසු රජය කොටින්ගේ යුද අපරාධ හෙළි කරන සිදුවීම් ලොව හමුවේ ඉදිරිපත් කළේ නැත. එහෙත් කොටි තොග පිටින් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළහ. එහෙත් ඒ සාක්කි රහිතවය. මෙහි දී හමුදාවේ බලධාරියකු නිහඬ තාවය රකිනු ලැබීය.

146000ක ද්‍රවිඩයන් සමූල ඝාතනය කළ බවට චෝදනාවක් ඉදිරිපත් කළේ හිටපු බී.බී. සී වාර්තාකාරියකි. ඉදිරිපත් කළ මේ සංඛ්‍යා ලේඛනවලට සාක්කි ඉදිරිපත් නොවුණි. එසේ නම් සාක්කි රහිතව යුද අපරාධ චෝදනා එල්ල කරන්නේ කෙසේද? මේ තත්ත්වය මත 50 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ජනතාවට සහ දේශපාලනඥයන්ට ද අමතක වී ඇත.එම සමුළුව ගැන දැන් කිසිවෙක් කතා කරන්නේවත් නැත.මෙය අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. එදා සිටම ජිනීවා මානව හිමිකම් සමුළුවට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට රජය නිසි ලෙස ක්‍රියා කළේ නැත. වසරක් පාසා කොටි ඩයස්පෝරාව බලවත් වෙද්දී රජය ජිනීවා යැව්වේ මානව හිමිකම් ගැන නොදන්නා පාර්ශ්වයි. ජිනිවා ගිය දේශපාලකයන්ට ඩොලර් දීමනාවක් ගෙවීමක් ද රජය ක්‍රියා කළේය. ඇතැම් රජයේ නිලධාරීන් ජිනීවා විල බැලීමට ද ගියහ.එහෙත් එක ද කොටි ක්‍රියාකාරිකයකුවත් ජිනීවා විල අසලදී අපට දක්නට ලැබුණේ නැත. මේ අතර කොටි මිනීමරුවකුගේ බිරිඳකගේ නමින් ගරිල්ලා චිත්‍රපටයකට තොරතුරු හෙළි කරමින් හමුදාව ද්‍රවිඩයන් අතුරුදහන් කළ බවට චෝදනා කර ඇත. එහෙත් ඇයගේ සැමියාට ළමුන් පැහැරගෙන යෑම සහ ඝාතනය කිරීම ගැන චෝදනා රැසක් එල්ලවී තිබේ. ආනන්දී යාපනේ සැඟවී සිටි අතර පුනරුත්තාපණය වීම සඳහා හමුදාවට භාරවූයේ ද නැත. මෙලෙස ජිනීවා මානවහිමිකම් සමුළු පැවැත්වෙන අවස්ථාවල ශ්‍රී ලංකා විරෝධී චිත්‍රපට විකාශනය වේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment