සඳ මඬල වී – සඳ සිසිල වී  – අප හද රැඳෙන – ගී යතිවරයාණෝ !

437

ජුනි 15 දිනට යෙදුන පල්ලේගම හේමරතන නා හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙනි.

 මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, පල්ලේගම නමැති සුන්දර ගම්පියසේ පිහිටි කරඳගොල්ල වලව්වේ කිරිබණ්ඩා නිලමේතුමාට හා කරුණා කුමාරිහාමි මැතිනියට 1954 ජුනි මස 15 වැනි දින තරම් සතුට ගෙන ආ දවසක් තවත් නැති තරම් ය. ඒ, ඔවුන්ගේ එක ම දරුවා මෙලොව ජන්ම ලාභය ලැබීම නිසා ය.

 කරඳගොල්ල වලව්වේ නන්දසේන යන නම් ලද ඒ කුල කුමරුවා මුලින් ම බුලාගල ප්‍රාථමික විදුහලෙන් ද, ඉන්පසු පැල්වෙහෙර වැලිහේන විදුහලෙන් හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ මහ විදුහලෙන් ද මූලික අධ්‍යාපනය ලැබී ය.

 අනතුරුව, වයස අවුරුදු 14 දී එනම්, 1968 වසරේ දී එම මව්පියන් විසින් වැඩිදුර අධ්‍යපනය සඳහා ඒ කුල කුමරුවා රුවන්වැලි සෑ මහා විහාරයට ගෙනවිත් භාරදෙනු ලැබී ය. එවක එහි වැඩවිසූ අටමස්ථානාධිපති අපවත් වී වදාළ උදුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත, රුවන්වැලි චෛත්‍යාරාමාධිපති අපවත් වී වදාළ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සහ අපවත් වී වදාළ පල්ලේගම ඥානරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් ශිල්ප හැදෑරූ ඒ කුල කුමරුවෝ 1968 වසරේ දී පල්ලේගම හේමරතන නමින් පැවිදි බිමට ඇතුළු වූහ.

 අනතුරුව උන්වහන්සේ අනුරාධපුර මහා විහාර පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබූ අතර, පසුව 1971 දී මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් සහ 1975 දී සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනින් උසස් අධ්‍යාපනය හදාරනු ලැබූ හ. ප්‍රාචීණ විභාගය සමත් වීමත් සමඟ පිරිවෙන් අධ්‍යාපනය අවසන් කරන උන්වහන්සේ අ. පො. ස. (සා/පෙළ) සහ අ. පො. ස. (උ/පෙළ) විභාගවලට පෙනී සිට ඒවායින් ද ඉහළින් ම සමත් වී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ හ.

 කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත් උන්වහන්සේ වෙතින් මෙරට වෙහෙර විහාර සංරක්ෂණය සහ සංවර්ධනය වෙනුවෙන් සිදුවූයේ අනුපමේය සේවාවකි.

 කලක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ උන්වහන්සේ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතියේ සියලු කටයුතු නිසි ලෙස අධීක්ෂණය කරමින් ද, සම්බන්ධිකරණය කරමින් ද කටයුතු කළෝ ය. එසේ ම, රුවන්වැලි මහසෑයේ සලපතල මළුව වටා වූ අක්කර හයක පමණ විශාලත්වයකින් යුත් වැලි මළුව පිළිසකර කිරීම ද උන්වහන්සේ විසින් ආරම්භ කරන ලද අතර, එහි කැණීම් ආරම්භ කරන තෙක් ම රුවන්වැලි මහා සෑයට පැමිණි බොහෝ සැදැහැවතුන් චෛත්‍යයේ වැලිමළුවක් තිබෙන බවක් හෝ දැන නොසිටි බව කියැවේ.

 තව ද, රුවන්වැලි මහා චෛත්‍යාරාමය ඉදිරිපිට නටබුන්ව තිබූ කවාකාර පොකුණ සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කිරීම ද අප නාහිමියන් අතින් සිදු වූ තවත් සුවිශේෂ මෙහෙවරකි. මෙම පොකුණ රුවන්වැලි මහ සෑ මළුවට වැටෙන වැසි දිය එකතුවීමට සිව් දිශාවේ කර තිබූ පොකුණුවලින් නැගෙනහිර පොකුණ බව විශ්වාස කෙරේ. එසේ ම, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ අනුග්‍රහයෙන් රුවන්වැලි සෑයට උතුරු දෙසින් ආබාධිතයන් සඳහා මාර්ගයක් සකස් කර දීම ද උන්වහන්සේගේ තවත් මෙහෙවරකි.

 රුවන්වැලි මහා සෑ මළුවේ මහා ප්‍රාකාරය සංරක්ෂණය කිරීම, ලංකා ට්‍රාන්ස්පෝමර්ස් ආයතනයේ සහයෝගයෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට විදුලි ආලෝකය ලබා ගැනීම, රුවන්වැලි මහා සෑය පිහිටි භූමිය වටා ඇති භූමි භාගය වඩාත් අලංකාරවත් ලෙස පවත්වාගෙන යෑම, සෑයට පිවිසෙන මාර්ග නවීකරණය කිරීම ආදී ශාසනික සේවාවන් රැසක් මහත් කැපවීමෙන් යුතුව ඉටුකළෝ උන්වහන්සේ ය.

 පල්ලේගම හේමරතන නා හිමියන් සිදුකළ සමාජ හා ශාසනික සේවාවට අමතරව උන්වහන්සේ මෙරට සාහිත්‍ය කලාවන්ට විශේෂයෙන් ම සිංහල සුබාවිත ගීත සාහිත්‍යයට සිදුකරන ලද සේවය අති මහත් ය. වසර දහස් ගණනක් පැරණි අපේ බෞද්ධ ශාසනික ඉතිහාසය පුරා තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, වීදාගම මෛත්‍රිය හිමි, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි වැනි කාව්‍යක්කාර යතිවරයන් වහන්සේලා අපට හමු වී තිබුණ ද, ගීත රචනා කලාවට පිවිසුණු යතිවරයන් වහන්සේ අපට හමුවන්නේ ඉතාමත් මෑත භාගයේ දී ය. එය ද, අතක ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි.

 ඒ අතරින් සිංහල සුබාවිත ගීත සාහිත්‍යයේ යතිවර ලකුණ ලෙස සම්භාවනාවට පත් රඹුකන සිද්ධාර්ථ නා හිමියෝ සහ පල්ලේගම හේමරතන නා හිමියෝ ඉදිරියෙන් ම වැඩ සිටිති.

 පළමුව කාව්‍යකරණයෙන් සාහිත්‍ය කටයුතුවලට පිවිසුණු පල්ලේගම හේමරතන නා හිමියන්ගේ ගීතය පෝෂණය වන්නේ ‘රජරට’ සේවයේ ඇසුරත් සමඟ ය. ඒ, 1979 වසරේ දී ය. එහි දී ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ප්‍රේමකීර්ති ද අල්විස්, ගුණදාස කපුගේ, විජයානන්ද ජයවීර ඇතුළු ප්‍රවීණයන් රැසකගේ සමීප ඇසුරත්, මාර්ගෝපදේශකත්වයත් නිසා වඩාත් පුළුල් ලෙස නිර්මාණකරණයේ නිරතවන්නට උන්වහන්සේට අවස්ථාව උදා වී ය.

 එහි ප්‍රතිඵලයක් ලෙස 1988 දී ‘පහන නිවී දොළොස් මහේ’ නමින් තම පළමු ගීත සංග්‍රහය එළිදැක්වීමට හේමරතන නාහිමියන්ට හැකි වී ය.

 ඉන් වසර ගණනාවකට පසුව ‘සඳ එළිය’ නම් වන උන්වහන්සේගේ පළමු කැසට්පටය 2004 අගෝස්තු මස 03 වැනි දින එළි දකී. එනමින් ම වන සංයුක්ත තැටියත්, ‘අතීතය සිහිනයක්’ ගී පද සංග්‍රහයත් නිකුත් වන්නේ එදින ම ඊට සමගාමීව ය. 2009 වසරේ දී උන්වහන්සේගේ තෙවන ගී සරණිය ‘සීත ගඟුල’ නමින් නිකුත් වන අතර, එම කෘති සියල්ල ම විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන් සම්භාවනාවට පාත්‍ර වේ.

 උන්වහන්සේගේ සිව්වන ගී පද සංග්‍රහය ‘සඳ මඬල’ නමින් පසුගිය වසරේ එළිදුටු අතර එහි එන 2015 වර්ෂයේ තිරගත වූ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට උන්වහන්සේ ලියූ ‘සඳ මඬල වී’ ගීතය වෙනුවෙන් 2015 වසරේ විශිෂ්ටතම චිත්‍රපට ගී රචනයට හිමි ‘හිරු ගෝල්ඩන්’ සම්මානය ද, ධක්‍ෂක්‍ සම්මානය ද, සරසවි සම්මානය හා ජනාධිපති සම්මානය ද උන්වහන්සේ හිමි කර ගත්තෝ ය.

 උන්වහන්සේ ‘මහින්දාගමනය’ චිත්‍රපටයට ලියූ ‘සංසාරේ බර පොදි’ ගීතයට 2011 වර්ෂයේ හොඳම චිත්‍රපට ගීතයට සම්මානය හිමි කර ගත් හේමරතන නාහිමියෝ එම වසරේ දී ම එම ගීතයට ධක්‍ෂක්‍ රන් සම්මානය ද, දෙරණ රූපවාහිනී ලක්ස් සම්මාන උළෙලේ දී එම ගීතයට ම හොඳම චිත්‍රපට ගී සම්මානය ද හිමිකර ගත්තෝ ය.

 නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවියත්, රුවන්වැලි මහ සෑයේ විහාරාධිකාරි ධුරයත් දරමින් උන් වහන්සේ සාහිත්‍ය කලා කටයුතුවල නිරතව සිටින්නේ එමගින් අපට සහ අප සමාජයට අනුපමේය සේවයක් කළ හැකි බව හොඳින් ම දන්නා හෙයිනි. බෞද්ධ දර්ශනයේ ගැඹුරු දහම් කරුණු ගීත ශ්‍රාවකයාට සැණින් අවබෝධ වන සේ සියුම් ඉසියුම් කර ගී පබඳිමින් අපේ සිත් පහන් කරන්නට උන්වහන්සේට තවත් චිරාත්කාලයක් නිදුක් නිරෝගී චිරජීවනය උදාවේවා! ප්‍රාර්ථනා කරමු.

 අනුර බී. සෙනෙවිරත්න
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment