සපත්තු අඩියේ දමාගෙන ගිය රහස් ලියවිල්ල

449

සිය මව් බිමට එරෙහිව නැෙඟන තර්ජනයන් වෙනුවෙන් දිවි නොතකා ඉදිරිපත් වූවෝ වීරත්වයේ සම්මාන ලබති. නිජ බිම වෙනුවෙන් ඉටුවිය යුතු ජාතික සේවය අවංකව සලසාලන ඔවුහු ඒ වෙනුවෙන් තාන්න මාන්න බලාපොරොත්තු නොවෙති. අවංක ප‍්‍රතිපත්තියක් මත පිහිටා ජාතික සේවයට බසින ඔවුහු ලාභ ප‍්‍රයෝජන අපේක්‍ෂා නොකරති. ජාතික ආපදාවකින් ජාතිය ගලවා ගැනීමේ පරමාර්ථයෙන් සටන් බිමට එන ඔවුහු බොහෝ විට සිය ජීවිත කාලය තුළදී අපවාදයනට පවා මුහුණ දෙති. එහෙත් ඔවුන්ගේ අවංක කි‍්‍රයා පිළිවෙත කිසියම් දිනෙක කැපී පෙනෙන්නට වෙයි. වීරත්වයේ පිළිබිඹුව ඔප් වැටී ජනතා ඇස් හමුවේ මැවී පෙනෙන්නේ ඉන් පසුවය.

සිංහල රටේ සිංහල වර්ගයාගේ සාමකාමී පැවැත්මට විරුද්ධව නැගී තිබුණු විශාල තර්ජනයක් 1915 දී ඇති විය. අභාග්‍ය සම්පන්න සිද්ධියක් මත පදනම් වූ අරගලයක් 1915 මැයි මස 28 වැනි දා මහනුවරදී ආරම්භ විය. මේ සිද්ධිය මැයි 30 වැනිදා වන විට ලංකාව පුරා පැතිරී ගියේය. 1915 ජුනි 1 වැනිදා බස්නාහිර පළාත යුද්ධ නීතිය යටතට පත් විය. ලංකාවේ ආණ්ඩුකාරයා වූ රොබට් චාමර්ස් සිය පොලිස්පති වූ හර්බට් ඩවුබිගින් ගේත් යුද හමුදාවේත් සියලූ බලතල යොදවා සිංහලයන්ට විරුද්ධව ඝාතන ව්‍යාපාරයක් ආරම්භ කළේය.

‘දුටු තැන වෙඩි තියන්’ යනුවෙන් කියැවෙන නියෝගයක් පොලිස්පති ඩවුබිගින් විසින් නිකුත් කරන ලදී. පොලිසියට සහාය පිණිස ගෙන්වන ලද පන්ජාබ් බලඇණියක් රටපුරා යමින් දුටු තැන වෙඩි තැබීම් ආරම්භ කළේය. ඩවුබිගින්ගේ පොලිස් බලඇණියත් පන්ජාබ් හමුදාවත් ආරම්භ කළ මේ ඝාතනය ඉවක් බවක් නොමැතිව රට පුරා පැතිරෙද්දී සිංහලයෝ දුර්මුඛ වූහ. සිංහල ගැමියෝ නොයෙකුත් තාඩන පීඩනවලට ලක් වූහ. 1915 ජුනි 2දා පටන් අගෝස්තු 30 වැනිදා දක්වා වූ දින 90 මුළු රටටම පොදුවේ අභාග්‍යමත් කාලයක් විය. ජීවිත විනාශයෙන් හා දේපළ විනාශයෙනුත් පීඩනයට පත් වූ ගම් නියම්ගම් එකම මළගෙයක් මෙන් විය.

සපත්තු අඩියේ දමාගෙන ගිය රහස් ලියවිල්ල

විශේෂ නියෝගයක්

ආණ්ඩුකාරයාගේ විශේෂ නියෝගයක් පරිදි හදිසි සේවය සඳහා කැඳවනු ලැබූ යුරෝපියයන්ගේ නායකත්වයෙන් ගම්වලට කඩාවැදුණු පන්ජාබ් යුද භටයෝ ගැමියන්ට නොයෙකුත් වධ හිංසා පැමිණවූහ. මහා මාර්ගයේ දහවල් කාලයේ වුවද ගමන් කිරීම අන්තරායකාරී විය. පොල් කරත්තයක් දක්කාගෙන පොළට පැමිණි හේවාගම් කෝරළ වැසියකුට පන්ජාබ් භටයෝ වෙඩි තැබූ හ. මේ වෙඩි පහර නිසා බිය වූ ගම්මු ඒ මේ අත දුවන්නට වූහ. ඔවුන් හැම දෙනාටම පන්ජාබ් භටයන්ගේ හිරිහැර විඳින්නට සිදු විය. වෙල්යායක ඉහත්තේ පළා නෙළමින් සිටි ගැමි ලියක් දුටු පන්ජාබ් භටයෝ සිය තුවක්කුවල ඉලක්කය බැලීමට ඈට වෙඩි පහර නිකුත් කරන්නට වූහ. වෙඩි කා වෙල මත්තේ ඇදවැටුණු ගැමි ලිය දෙස බලා ඔවුහු කොක් හඬලා සිනාසුනහ. රටපුරාම පැවැත්තේ මෙබඳු තත්ත්වයකි. ඉර බැස යත්ම ගෙවල් තුළට වදින ගැමියෝ, ගමේ කෙනකු මිය ගියද හිරු උදා වන තුරු දොර නෑරියෝය. රට පුරා විසිර සිටි සොල්දාදුවෝ ගැමියන්ගේ දේපළ කොල්ල කා ගත්හ.

1915 ජුනි 2 වැනිදා ආරම්භ වූ මේ අපරාධය අගෝස්තු 30 වැනිදා තෙක් පැවතුනි. කලබලකාරී තත්ත්වය ජුනි මස 7 වැනිදා අවසන් වුවද, යුද්ධ නීති පාලනය කෙළවරකට පත් කිරීමට ආණ්ඩුකාරයා ඉඩ නොතැබීය. ප‍්‍රසිද්ධියේ හෝ අප‍්‍රසිද්ධියේ හෝ දෙදෙනකු මුණගැසී කතා බහ කිරීමට පවා එක් නොවූහ.

කොළඹත් මහනුවරත් දිනපතාම යුද්ධාධිකරණය රැස් විය. යුද්ධාධිකරණයේදී මරණීය දණ්ඩනය නියම වූවනට වෙඩි තබා මරා දමන ලදි. යුද්ධාධිකරණය ඉදිරියේ පෙනී සිටි සිංහල සිරකරුවාට දඬුවම් නියම වෙත්ම, අධිකරණය පේන තෙක්මානයේම වූ පෝරක භූමියේදී ඝාතක හමුදාවේ වෙඩි උණ්ඩවලට මුහුණ පෑමට සිදුවිය. එක් සිරකරුවකුට මරණ දඬුවම් නියම වෙත්ම කළින් දඬුවමට නියම වූ තැනැත්තාට වෙඩි තබා මරා දමනු යුද්ධාධිකරණයට ද ඇසුනි.

යුද්ධ නීති පාලනය අවසන් වන තුරු සිංහලයෝ සැඟවී පණ රැක ගත්හ. අගෝස්තු 30 වැනිදා රාති‍්‍රයේ නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් අනුව රට පුරා පැවති අඳුරු පාලනය කෙළවර විය. සිංහලයන්ට විඳින්නට වූ දුක් ගැහැට ගැන තොරතුරු සැලවෙන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. සිංහල ජන නායකයන් බොහෝ දෙනකු ඒ වන විටත් සිර භාරයේ තබා තිබුණි. ඒ ඒ පළාත්වල බෞද්ධ සිංහල ජනනායකයන්ට ද සිරමැදිරිවල දුක් විඳින්නට සිදුවිය. ආතර් ද සිල්වා, ඞී. බී. ජයතිලක, ඇෆ්. ආර්. සේනානායක, ඞී. ඇස්. සේනානායක, ඩබ්ලිව්. ඒ. ද සොයිසා, දොස්තර එච්. ඇම්. ප‍්‍රනාන්දු, පියදාස සිරිසේන ආදී වූ නොයෙකුත් තරාතිරමේ නායකයෝ විශාල ගණනක් මෙසේ සිරභාරයේ පසු වූහ. මේ හැම දෙනාම සිරභාරයට ගන්නා ලද්දේ චෝදනාවක් නොමැතිවය. මේ එකදු සිරකරුවකුටවත් විරුද්ධව නඩු පැවරීමක් ද නොවීය.

කුමන්ත‍්‍රණයක්

සිංහල බෞද්ධයෝ ආණ්ඩුව පෙරළීමට කුමන්ත‍්‍රණයක් කළැයි ආණ්ඩුකාර තැන සැකයක් ඇතිකර ගත්තේය. එම සැකය තහවුරු කිරීමක් වශයෙන් සිංහල බෞද්ධ ජනනායකයන් සිර මැදිරි තුළට එක්කර තබන ලදි.

ආණ්ඩුකාර රොබට් චාමර්ස් ගේත් පොලිස්පති

ඩව්බිගින්ගේත් හිතුවක්කාරකම් නිසා රට වැසියනට විඳින්නට සිදු වූ හිරිහැර ඉවසා දරා සිටීමට රටේ ජන නායකයෝ සූදානම් නොවූහ. අපරාධ වන්දි වශයෙන් සිංහලයන්ගෙන් වන්දි අය කිරීමේ ව්‍යාපාරයක් ද මේ සමග ආරම්භ කරන ලදි. පීඩනයෙන් පෙළෙමින් සිටි සිංහලයන්ට එය තවත් පහරක් වූයේය.

රටේ නොමනා පාලනයට විරුද්ධව කරුණු කියා සිටීමට ජන නායකයෝ එක් වූහ. ඒ අනුව 1915 සැප්තැම්බර් 25 වැනිදා කොළඹ මහා සභා රැස්වීමක් පවත්වන ලදී. එතෙක් කොළඹට එක් නොවූ තරමේ සෙනගක් එම රැස්වීමට සහභාගි වූවේය. එම රැස්වීමේ සභාපතිත්වය දරන ලද්දේ ජේම්ස් පීරිස් මහතා විසිනි.

අත්තනෝමතික කි‍්‍රයා

ලංකාවේ සිදුවූ අත්තනෝමතික පාලන කටයුතු පිළිබඳව විභාග කර බැලීම පිණිස සියලූ බලතළ සහිත රාජකීය කොමිෂන් සභාවක් පත් කරන මෙන් ඉල්ලා සිටීමට මෙහිදී යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. යෝජනාව පිළිබඳව කරුණු පැහැදිලි කර දීමට නැඟී සිටියේ දොස්තර සොලමන් ප‍්‍රනාන්දු මහතාය. ඒ මහතා විසින් කරන ලද කතාවෙන් වශී වූ සිංහලයෝ විටින් විට අත්පොළසන් දෙන්නටත්, ජය හඬ නැඟීමටත් පටන් ගත්හ. කතාව අවසන් කළ සොලමන් ප‍්‍රනාන්දු මහතා වේදිකාවේ අසුන් ගත්තේය. ඊළඟ කතාව කිරීමට ෆ‍්‍රැන්සිස් ද සොයිසා මහතා නැඟී සිටියේය. එහෙත් ඒ මහතාගේ කථාවේ ආරම්භයෙන් මඳකට පසුව කලින් කතා කළ සොලමන් ප‍්‍රනාන්දු දොස්තර මහතා මැරී වැටුණේය. ඒ මහතාගේ මරණය නිසා සභාවේ තරමක නොසන්සුන්කමක් ඇති විය. එහෙත් එය නිවී ගියේය.

ඞී. බී. ජයතිලක

සභාවේ ඒකමතික තීරණය පරිදි රටේ පැවති පාලනයට විරුද්ධව එංගලන්ත පාර්ලිමේන්තුවටත්, යටත්විජිත භාර මහ ලේකම්වරයාටත් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරන ලදී. ලංකාව පුරා සිදු වූ අපරාධ ගැනත් ආණ්ඩුකාර තැනගේ අදූරදර්ශී කි‍්‍රයා පිළිවෙළ ගැනත් සාධක සහිතව කරුණු පිළියෙල කරගත් සිංහල නායකයෝ, එංගලන්ත දූත ගමනට සුදුස්සෙකු සෙවීමට පටන් ගත්හ.

ටෝපිඩෝ

එංගලන්තයේදී නීතිය හදාරා අධිනීතිඥයකු සේ දිවුරුම් දී ලංකාවට පැමිණ සිංහලයන්ගේ විමුක්ති සටනට උපදෙස් දෙමින් සිටි අධිනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා මේ භාරදූර කාර්යය කැමැත්තෙන්ම භාර ගත්තේය. පළමුවැනි ලෝක මහා යුද්ධයේ පැටලී සිටි බලවත් ජාතීන්ගේ මෙහෙයීමෙන් හැම සාගරයකම නාවික ගමන් බිමන් ඉතා අන්තරායකාරී තත්ත්වයක තිබිණි. මුහුදේ යාත‍්‍රා කරන නැව්වලින් වැඩි හරියක් ජර්මන් යුද නැව්වලින් නිකුත් වූ වෙඩි පහරිනුත් ටෝර්පිඩෝ යාත‍්‍රාවන්ගෙන් නිකුත් වන ටෝර්පිඩෝවලිනුත් දියබත් විය.

එංගලන්තයට යෑම ජීවිත ආශාවක් ඇත්තෙකුට නම් කළ නොහැක්කකි. එහෙත් ඊ. ඩබ්ලිව්. එබඳු තර්ජනයකින් පසුබට නොවූයේය. සිංහලයන්ගේ දුක් පීඩාවන් ගැන මෙනෙහි කළ ඊ. ඩබ්ලිව්. මෙම ගමනේදී එල්ල වන ජර්මන් ටෝර්පිඩෝ ගැන තැකීමක් නොකළේය.

යටත්විජිත භාර ලේකම්වරයාට ඉදිරිපත් කිරීම පිණිස සකස් කර ගන්නා ලද පෙත්සමක් පොලිස්පති ඩව්බිගින්ගේ ‘‘දුටු තැන වෙඩි තැබීම’’ පිළිබඳ නියෝගයේ පිටපතත්, එංගලන්තයට ගෙන යෑම අත්‍යවශ්‍ය විය. මේ ලියවිලි නැතිව වුවද එම වකවානුවේ කිසිවකුටත් රටින් පිට වී යාමේ අවසරයක් නොලැබුණි. ප‍්‍රශ්න ගණනකට මුහුණ දී සිටි ඊ. ඩබ්ලිව්. පළමුවෙන්ම එංගලන්තයට යෑමේ අවසරය ලබා ගැනීමට ඉටා ගත්තේය. ඒ අනුව ලංකා නීතිපතිවරයා හමු වූ ඊ. ඩබ්ලිව්. සිය පෞද්ගලික කාර්යයක් සඳහා යන ගමනක නියායෙන් රටින් පිට වී යෑමේ අවසර පත‍්‍රයක් ලබා ගත්තේය. නැව් නැගීමේ අවසරය ලැබුවද අවශ්‍ය ලියකියවිලි ගෙන යෑමේ ඉඩක් නොවීය. ඊ. ඩබ්ලිව්. ඒ සඳහා ද ක‍්‍රමයක් පිළියෙල කර ගත්තේය. සිය පාවහනක ඇතුල් අඩිය ගලවා ඒ තුළට අවශ්‍ය රහස් ලිපි ඇතුළු කොට පාවහන යළි සකස් කරගන්නා ලදී.

රහස් ගමන

රහස් ගමන සඳහා අවශ්‍ය වූ සියලූ විධිවිධාන යොදන ලදී. මුහුදු වෙඩිවලින් වැළකී සිය නෞකාව එංගලන්තයට ළඟා වුවහොත් ඉන් පසුව යොදාගන්නා වැඩපිළිවෙළ අනුව තවත් දෙදෙනකු එංගලන්තයට පැමිණිය යුතු බවත් ඊ. ඩබ්ලිව්. මෙහිදී කියා සිටියේය.

සිංහලයන්ට එක එල්ලේත් ද්‍රවිඩයන් ඇතුළු අනිකුත් රටවැසියනට පොදුවේත් එල්ල වූ අදූරදර්ශී පාලනයට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීමේ කාර්යයට සිය කැමැත්තෙන්ම තමා සහභාගි වන බව මෙහිදී සර් පොන්නම්බලම් රාමනාදන් ප‍්‍රකාශ කළේය. යටත් විජිතවාදයේ කෲරතර පාලනයෙන් රට මුදාගැනීමට සිංහලයන් ගත් මාර්ගය එක එල්ලේම අනුමත කළ සර් පොන්නම්බලම් රාමනාදන් සිය ජීවිතය ද පරදුවට තබා එංගලන්තය බලා පිටත්වීමට තීරණය කළේය.

පරාජයක්

ඊ. ඩබ්ලිව්. පිටත් වන දිනය උදාවිය. වරායට ගිය ඊ. ඩබ්ලිව්. ගේ ඇදුම් පැළදුම් අඩංගු පෙට්ටිත් කෑම බීම ආදිය දැමූ භාජනයත් පරීක්‍ෂා කරන ලදී. පොලිස්පති ඩව්බිගින්ගේ විශේෂ නියෝගයක් පිට ඊ. ඩබ්ලිව්. ගේ ඇ`දුම් ද ගලවා පරීක්‍ෂා කරන ලදී. ඩව්බිගින්ගේ ගෝලයනට එහිදී අත්වූයේ පරාජයකි. ඩව්බිගින්ගේ වෙඩි තැබීමේ නියෝගය අඩංගු ලියවිල්ලත් සිංහලයන්ගේ පෙත්සමත් සුරක්‍ෂිතව සිය පාවහනේ සඟවා ගෙන සිටි ඊ. ඩබ්ලිව්. වරායේ මුර භටයන්ගේ ඇස්වසා නැව් නැංගේය.

ජර්මන් යුද නැව්වලින් වැළකෙමින් යාත‍්‍රා කළ නැව ලිවර්පුල් නැව්තොටට ළඟා වූවාය. ඊ. ඩබ්ලිව්. එංගන්තයට ගොඩබටුයේය. එහෙත් මේ මාරක ගමනේ එතෙක් සුවසේ යාත‍්‍රා කළ එම නැව ඊට පෑ දෙකකට පසු ජර්මන් ටොර්පිඩෝ පහරින් කි`දා බැස්සේය. එංගලන්තයට ගොඩබට ඊ. ඩබ්ලිව්. සිය කෑම බීම ආදිය ඉතා ප‍්‍රවේශමෙන් පිළියෙල කරවා ගත්තේය. කොයි මොහොතේ හෝ සතුරු විපතක් යෙදිය හැකි බව ඔහු විශ්වාස කළේය. ඩවුනිං වීදියේ යටත් විජිත භාර ලේකම් කාර්යාලයේ දොර විවෘත කරවා ගැනීමට ඊ. ඩබ්ලිව්. අපොහොසත් විය. එහෙත් ඔහු පසුබට නොවූයේය. එංගලන්තයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හමුවී කරුණු ඉදිරිපත් කිරීමට හේ ඉටා ගත්තේය. එම මන්ත‍්‍රීවරුන්ට කරුණු පැහැදිලි කරදීමෙන් පසුව එංගලන්ත පාර්ලිමේන්තුවේදී ලංකා යටත් විජිත පාලනය ගැන විවාදයක් ආරම්භ කරවීමේ පරමාර්ථයෙන් ඔහු කටයුතු කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ භාර්යාවන් ඇතුළු සම්භාවනීය පිරිසකට තේ පැන් සංග‍්‍රහයක් පිළිවෙළ කරවූ ඊ. ඩබ්ලිව්. එම සාදයේදී ලංකාවෙන් පැමිණි ‘අමුත්තා’ පිළිබඳව සෑහෙන අවබෝධයක් ලබාදීමට සමත් විය. ඊ. ඩබ්ලිව්ගේ චතුර කථාවෙන් පැහැදිලි අවබෝධයක් ලැබූ මන්ත‍්‍රීවරු ලංකාවේ නියම තතු විමසීමට පටන් ගත්හ.

ඊ. ඩබ්ලිව් ගේ වෑයම සාර්ථක විය. මේ වනවිට සර් පොන්නම්බලම් රාමනාදන් මහතාත් ඊට අනතුරුව ඞී. බී. ජයතිලක මහතාත් එංගලන්තයට පැමිණ සිටියහ. ලංකා වැසියන්ගේ පීඩාකාරි ජීවිත ගැන ඉංග‍්‍රීසින්ට සෑහෙන අවබෝධයක් ලබාදීමට ඔවුහු සමත් වූහ. ඊ. ඩබ්ලිව්. විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිගත් ඉංග‍්‍රීසි මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුව තුළදී යටත්විජිත භාර ලේකම්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරවූහ.

ඊ. ඩබ්ලිව්. විසින් පෞද්ගලිකව ඉදිරිපත් කරන ලද කරුණු පිළිගැනීමට මැළිවූ යටත් විජිත භාර ලේකම්වරයා පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් වූ කරුණු පිළිගත්තේය. ඊ. ඩබ්ලිව්.ගේ දක්‍ෂතාවය ගැන ඉංග‍්‍රීසි මන්ත‍්‍රීවරු ප‍්‍රශංසාත්මකව කථා කළහ. දිවි නොතකා සිංහලයා වෙනුවෙන් පොදුවේ රට වෙනුවෙනුත් සටන් වැදුණු මේ ලාංකික වීරයන් තිදෙනාගේ පරිශ‍්‍රමයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ලංකා පාලනය ගැන කරුණු සොයා බැලීමට රාජකීය කොමිෂන් සභාවක් පත්කරන ලදී.

සටන් වැදී…

ඊ. ඩබ්ලිව්. සිංහලයන් වෙනුවෙන් එංගලන්තයේ සටන් වදිද්දී ලංකාවේ දූෂිත පාලනයේ යෙදී සිටි ආණ්ඩුකාරයාටත් පොලිස්පතිවරයාටත් සිය බලතල හකුලා ගෙන ආපසු ගම රට බලා පිටත්වීමට සිදුවිය. දූෂිත පාලනයේ කෙළවර එයින් ආරම්භ විය.

රාජකීය කොමිෂන් සභාවේ හෙළිවූ කරුණු අනුව, වඩාත් සුදුසු පාලන ක‍්‍රමයක් ලංකාවට ලබාදීමටත් විධායක මන්ත‍්‍රණ සභාවේද වෙනසක් ඇතිවිය. ලාංකික නියෝජිතවරුන්ගේ ගණන ද පසුව වැඩිවිය. කි‍්‍රස්තු භක්තිකයකු ලෙස ඉපිද සිංහල බෞද්ධයා වෙනුවෙන් අන්තිම මොහොත දක්වාම අවංකව කි‍්‍රයාකළ ඊ. ඩබ්ලිව්. 1942 දී දේශපාලන භූමියෙන් ඉවත් විය. ප‍්‍රතිපත්ති වෙනස් කොට බලයට පත්වීම තම අභිමතාර්ථය නොවන බව ඊ. ඩබ්ලිව්. ප‍්‍රසිද්ධියේම කියා සිටියේය. සර් පොන්නම්බලම් රාමනාදන් මහතාද කිසි විටෙකත් පටු දේශපාලන වාසිය නොතකා සිය රට වෙනුවෙන් හැම විටෙකම පෙරමුණ ගත්තේය. ජාතික වීර නාමාවලියේ විශේෂ තැනක් මේ තිදෙනාට ද හිමිවිය යුතුය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි කිර්ති ගුණවර්ධන 1967 ලියන ලද්දකි.
අප වෙත එවන ලද්දේ කල්‍යාණි පී. නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment