සපත්තු හදන අපේ හිතට සාත්තුවක්

222

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මගී පාලමෙන් බැස ටික දුරක් යන විට සිවකුමාරන්ගේ සපත්තු කම්හල හමුවේ. “කම්හලක්” යැයි කීවට එය පදික වේදිකාවල දකින්නට ඇති සාමාන්‍ය සපතේරු “බංකුවකි”. එහෙත් දැන් එතැන කම්හලක් තරමට සෙනඟ ගැවසෙන තැනකි. වසර තුනකට පමණ කලින් අපට සිවකුමාරන්ගේ පරපුරේ උදවිය එහෙමට ඇහැගැටුණේ නැත. ඇස ගැටුණද, අපට ඒ උදවිය ගැන උනන්දුවක් තිබුණේද නැත. ඒ කලකට ඉහතදී අපිදු “පොහොසතුන්ව” සිටි නිසාය. ඒ දිනවල සපත්තුවක්, බෑගයක් කැඩුණු විට එය නැවත සාදාගන්නවා වෙනුවට අලුත් එකක් මිලට ගැනීමට බොහෝ දෙනකුගේ පුරුද්ද විය. කැඩුණු සපත්තුවක්, බෑගයක් සාදාගත්තේ එහෙමත් කෙනෙකි. එදවස තමා ඉදිරියෙන් එහා මෙහා යන දෙපා දෙස බලා සිටි කාටත් නොදැනෙන්නට දුක ඉහිලූ සිවකුමාරන් දැන් අප දෙස බලන්නට ඉස්පාසුවක් නැත.

කල් යල් බලා මම සිවකුමාරන්ට කතා කළෙමි. කැඩුණු සපත්තුවක් සීරුවට, පිළිවෙළට මසමින් සිටි සිවකුමාරන් හිස ඔසවා බැලුවේ නැත. ‘නෝනා, අද නම් දෙන්න වෙන්නේ නෑ’ පිළිතුර එබඳුය.

අවශ්‍යතාව කෙබඳු දැයි පැහැදිලි කර දෙන්නටම ටික වෙලාවක් ගත විය.

ඊට පසු සිවකුමාරන්ගේ කතාවට තිරිංග නැත.

‘ඇත්තටම දැන් අපිට හොඳයි …… එත් ඉස්සර මෙතැනින් ගිය නෝනා මහත්තුරුන්ගේ හිනාව දැන් නෑ. ඒ ඇයි කියන්න අපිට තේරෙන්නේ නෑ. මොකක් හරි දෙයක් වෙලා කියලා තේරෙනවා. ඒත් මොකක්ද කියලා දන්නේ නැහැ.. ‘ඒ තිරිංග නැති කතාවට සමාජ කියැවීමක් තිබේ.’ සමහර නෝනලා මහත්තුරු හදාගන්න ගේන සපත්තු සෙරෙප්පු හදන්නත් බෑ .. කාලේ ඉවරයි. ඒත් මට පුළුවන් විදිහට මම හදලා දෙනවා. හුඟක් අයට දැන් අමාරුයි කියලා මට මහත්තයෙක් කීවා..’ ඔබට අමතකව තිබූ, දැන් ඕනෑවටත් වඩා මතක තබාගත යුතු පිරිසකට කියන්නට ඇති සම්පූර්ණ කතාවම, සිවකුමාරන්ගේ කතාවේ ගැබ්ව තිබේ.

මේ මොහොත වනවිට ප්‍රධාන පෙළේ පාවහන්, බෑග් වෙළෙඳසල්වල සෙනඟ දකින්නටම නැති තරම්ය. ප්‍රධාන පෙළේ වෙළෙඳසල් දැන් සෙරෙප්පු බෑග් සේල් දමා ඇත. සේල් දැමුවත් එවැන්නක් මිලදී ගැනීමට මිනිසුන් තම මුදල් යට නොකරති. මිනිසුන්ගේ එකම අභිප්‍රාය පවුල් පාලනය කෙසේ හෝ ඉදිරියට කරගෙන යෑමයි. නමුත් නත්තලටත් කලින් නත්තල උදාවී ඇති. සිවකුමාරන්ගේ පරපුරේ අය මුණගැහෙන්නට අප ගියේ ඒ නිසාය.

කොළඹ පිටකොටුවේ සපත්තු සෙරප්පු සහ කුඩ කිහිපියක් වට කරගෙන ඉන්න ජූඩ් සමරවික්‍රම් අපට කීවේ මෙවැනි කතාවකි.

මම මේ රස්සාව කරන්න අරගෙන අවුරුදු 35කටත් වැඩියි. දැන් කාලේ නම් ඉතින් ටිකක් සරුයි. හුස්ම ඩිංගක් ගනන්වත් වෙලාවක් නෑ නොවැ. එක පාරටම මෙහෙම මිනිස්සු අපි වගේ මිනිස්සු හොයාගෙන එන්නෙ නම් ඇයි කියලා දන්නේ නෑ. ගොඩක්ම අරගෙන එන්නෙ ඉස්කෝලෙ දාන සපත්තු. සමහර ඒවා හදන්නත් බෑ නෝනේ. අනේ කොහොමහරි හදලා දෙන්න කියනවා. ඉතින් මං කොහොමහරි හදලා දෙනවා. ජූඩ්ගේ දෑතේ ඉඳහිට ඇනෙන තියුණු ඉඳිකටු පහරවල් ඔහුට වගක් නැත. ඔහුට අවශ්‍ය කෙසේ හෝ තමන්ගේ කාර්යය හොඳින් නිමා කරදීම පමණි.

මේක පරම්පරාවෙන් ආපු රස්සාව ද ? අපි විමසුවෙමු.

ඔව්.. මගේ තාත්තා, සීයා, මාමා අපේ පවුලේ හැමෝම මේ රස්සාව තමයි කළේ දැන් ඉතින් මම කරනවා. ඒත් දැන් මගෙන් පස්සේ මේක කරන්න කවුරුත් නෑ. දැන් මේ රස්සාව ගොඩක් කරන්නෙ සිංහලය අය.

ජූඩ් කියන පරිදි මේ වන විට ජූඩ්ලගේ පරපුරේ රස්සාව වෙනත් අය පටන්ගෙන තිබේ.

කාගේ කොහොම අතට ගියත් අපි කවුරුත් කරන්නෙ එකම දේනෙ නෝනා. අපි අපේ අත්වලින් කෙළ, කුණු ජරාව ඔක්කොම පාගන සෙරෙප්පු අතේ දාගෙන මහනවා. සිංහල, දෙමළ කවුරු කළත් කරන්න ඕනේ තමන් විශ්වාස කර එන මිනිස්සුන්ට හොඳට වැඩේ කරලා දෙන එක තමයි.

පවුලේ අයට ජීවත් වෙන්න මේ ලැබෙන ආදායම ඇතිද?

ජූඩ්ගේ සෙවනට ඇත්තේ ලොතරැයි කූඩුවේ වාහලය පමණි. යනතම් අව්වෙන් වැස්සෙන් බෙරගන්න ඒ වහලය ප්‍රමාණවත්ය. වෙහෙසට පත්ව හෙම්බත්ව සිටින වගක් පෙනෙන මුත් ඔහු ඒ සියල්ල අකාමකා යන අන්දමේ සිනහවක් පෑවේය.

‘මට පවුලක් නෑ නෝනේ’ මගේ ගෙදර මෙතන මම නිදා ගන්නේ මෙතන. වැහි දවසට බස් ගහන තැන බංකුවට ගිහිල්ලා නිදාගන්නවා. මගේ ගම මේක. කවදාහරි දවසක මම මෙතනම මැරිලා ඉඳී.’

සපත්තු හදන අපේ හිතට සාත්තුවක්

ඔහු යටතේ ඇත්තේ පුංචි පහේ සාර්ථක ව්‍යාපාරයකි. ඔහු සපත්තු, සෙරෙප්පු, කුඩ පමණක් නොව බෑග්ද මසයි. පුංචි බංකුවක් හා පුංචි ආම්පන්න කිහිපයක් ඔහු සතුය. නූල් පන්දුවක්, ගම් බෝතලයක්, ලොකු ඉඳිකටුවක්, පිහියක්, කුඩා කතුරක්, මිටියක් ඒ අතර වෙයි.

ජූඩ්ට සමුදී අපි දුම්රියෙන් ගම්පහ නගරයට පැමිණියෙමු. ඒ අප නිතර දෙවේල දකින ඔහුව සොයාගෙනය. දුම්රිය ස්ථානයෙන් එළියට බහිනවිටම ඔහුගේ පාවහන් ව්‍යාපාරය ඈතින් පෙනෙන්නට තිබේ. නමුත් ඔහුගේ රුව දැකීමට නැත. මිනිසුන් කිහිපදෙනකු ඔහු වටා රොක්වී ඇත. මේ කුඩා ව්‍යාපාරිකයා රාජා නම් වේ. රාජා සමග කතා කිරීමට හෝරාවක් පමණ බලා සිටීමට අපට සිදුවිය. එතෙක් අපි රාජාගේ සේවාව පතා ආ කාන්තාවකගෙන් තොරතුරු විමසුවෙමු.

“සමහර අය කොලිටි එකට වැඩේ කරන්නේ නෑ. උඩින් පල්ලෙන් මැහුම් පාරක් දාලා දෙනවා. යක්කල නිට්ටඹුව පාරේ තැනක් තියෙනවා එතැනට ගියානම් කොලිටි එකට වැඩේ කරනවා. ඒත් ඒවාත් දැන් ලොකු ගාණක් ගන්නවා.” අපි එදාවේල පිරිමහ ගන්නේ කොහොමද කියලයි බලන්නේ. ලොකු ලොකු කඩවලට යට කරන්න අපිට දැන් සල්ලි නෑනේ. කොහොම හරි දෙසැම්බර් බෝනස් එකෙන්වත් සෙරෙප්පු ජෝඩුවක් ගන්නකන් තමයි මේ දෙක මහගන්න ආවේ. දැන් කාලේ සෙරෙප්පු ජෝඩුවක් ගන්න 3000ක් වත් ඕනේ.

පසුව රාජා සමග කතාබහේ යෙදුන අපිට රාජා පැවසුවේ මෙවැන්නකි.

දැන්නම් බිස්නස් ටිකක් සරුයි. දවසේ වියදම කවර් කරගන්න පුළුවන් මට්ටමේ ආදයමක් දැන් ලැබෙනවා. කාලයක් තිබුණා අපිට වැලේ වැල් නැති. එත් දැන්නම් හොඳයි. උදේ 10.00ට විතර තමයි මම වැඩ පටන් ගන්නේ එතන ඉඳලා නන්ස්ටොප් 7, 8 වෙනකන් වැඩ. කොහොමහරි මං ගාවට එන අයට හොඳ ටිප් ටොප් එකට වැඩේ කරලා දෙන්න තමයි මට ඕනේ. සල්ලි හම්බු කරන්න පුළුවන් ඒත් මිනිස්සු හම්බු කරන්න අපි මනුස්සකමින් ඉන්න ඕනේ.

පාවහන්, බෑග් ව්‍යාපාරයක් අරඹන්නට තරම් ඔහු වටා සපත්තු සෙරෙප්පු බෑග් පිරී ඇත. ඒ තරමට ඔහුගේ සේවාව පතා ආ සේවාදායකයන් එමටය. එහෙත් සමහර සපත්තු සෙරෙප්පු බෑග් හදනවා තබා සිතන්නටවත් බැරි ඒවාය. පෙර තිබූ ‘කොලිටියටම’ ඒවා හදන්නට කොම්පැනියටවත් පුළුවන්කමක් නැත. ඔය තරමින්වත් ‘ජාමේ’ බේරාගෙන කන්තෝරුවට, මඟුලට තුලාවට යන්නට වැඩේ ගොඩ දැමීමම විශ්වකර්ම වැඩකි. එය කළ හැක්කේ සිවකුමාරන්, රාජා, ජූඩ් වැනි ‘සිතින් පොහොසත් මිනිසුන්ට’ පමණි. මහා පරිමාණයෙන් සපත්තු සෙරෙප්පු බෑග් අලුත්වැඩියාකරන ආයතන කිහිපයක්ම රට පුරා පිහිටා තිබේ. ඒ අතර බෙහෙවින් ප්‍රකට ආයතනයක් ද තිබේ. සුපිරි වෙළෙඳසල් කිහිපයකම පිහිටා තිබෙන එක්තරා ආයතනයක ‘හදන්න බැරිනම් භාර නොගන්නා’ බඩුද තිබේ. සිවකුමාරන්, රාජා, ජූඩ් වැන්නවුන් මේ ‘භාර නොගන්නා බඩු ‘භාරගන්නට පැකිලෙන්නේ නැත. ඒ මනුසත්කම හොඳින් හඳුනන මිනිසුන්ගේ බැරි අමාරුකම් තේරෙන නිසාය.

දවස පුරාම වැස්සට තෙමෙන, අව්වට කරවෙන මේ මිනිසුන් හවස්වරුවේ හීන් අඩියක් ගසා ජීවිතය විඳින්නට රුසියෝය. කොළඹ කොටුවේ රාම්පාල් හීන් අඩියක් රසවිඳීමෙන් නොනැවතී, මිතුරකුගේ නිවසට ගොස් දෙමළ, මලයාලම්, කන්නඩ චිත්‍රපට බැලීම පුරුද්දක් කරගෙන සිටියි. ජීවිතය විඳින්නට ලැබෙන මුදල ප්‍රමාණවත් බව ඔහු කල්පනා කරන්නේය.

“මට ජීවිතය විඳින්න ඕනේ නෑ, එත් මගේ දරුවෝ කවදාහරි ජීවිතේ විඳින්න ඕනේ” සෙරෙප්පුවක් මහන්න දැන් 500ක් 600ක් ගන්නවා, කුඩයක් හදන්න 200ක් වගේ ගන්නවා. බෑග් එකක් මහන්නත් 450ක් වගේ ගන්නවා නෝනා. අසරණ මිනිස්සු ආවානම් අතේ තියෙන ගාණටත් මහලා දෙනවා. අපේම පංතියේ මිනිස්සුන්ට ගණන් කියන්න බෑනේ. මේ දවස්වලනම් දවසට දෙදාහක් හාමාරක් හම්බෙනවා. එකෙන් ගෙදරට උයන්න පිහන්න බඩු ටිකයි දරුවෝ දෙන්නට කීයක් හරි දුන්නාම මට ඉතුරු වෙන්නේ හරි සොච්චම් ගාණක් නෝනේ. මම මේ හැම දේම කරන්නේ මගේ දරු පවුල වෙනුවෙන්. තාත්තා සෙරෙප්පු මැහුවා කියලා මගේ උනුත් සෙරෙප්පු මහන්න ඕනෙ නෑනේ. උන් ඉහළට යනවා බලන්නයි මට ඕනේ. උදේ ඉඳලා වැඩ කරලා ඇඟට හරි තෙහෙට්ටුයි. රෑට මේ අත් ඇදුම්කනවා ඉඳිකටු ඇනිලා. ඒක නිසා රෑට පොඩ්ඩක් සප්පායම් වෙලා කමලහසන්ගේ, විජයගේ පික්චර් එකක් බලලා කික් එකේ නිදාගන්නවා. ජීවිතේ විඳින මගේ ක්‍රමේ තමයි ඒක.

ඔබ කකුලේ දමන පාවහන් ජූඩ්, සිවකුමාරන් රාජා වැන්නවුන් අතට දමා ගනී. ඔවුන්ගේ සේවාව ලබාගත් පසු ඔවුන් ඉල්ලන මුදල ඔබ කේවල් කරන්නේ මන්ද?

කවදාවත් අපි ඉල්ලන ගාන දෙන්නේ නැහැ. නෝනලා මහත්තුරු තුන්දාහක් විතර දීලා ගන්න සෙරෙප්පුවට අපි රුපියල් පන්සියයක් හයසීයක් ඉල්ලුවාම ගණන් වැඩියි කියනවා. අපි කොච්චර අපේ උපරිමයෙන් කළත් වැඩක් නැහැ. නෝනල මහත්තුරුන්ට හිතෙන ගාන තමයි දෙන්නෙ. පන්සීයක් ඉල්ලුවාම අපෝ වැඩියි වැඩියි තුන් සියයක් දෙන්නම් කියනවා. ඒකත් අපේ කකුල් දෙක ළඟට දාලා යන්නේ. එත් සමහර නෝනලා මහත්වරු නම් ඉන්නවා කන්න බොන්න බීම, කෑම ජාති එහෙමත් ගෙනත් දීලා යනවා.

පාවහන් හැදුව ද ඇතැම්හු පාවහන් නොපළඳිති. පළඳින ඇතැමුන්ගේ පාවහන් දෙක පාට දෙකකි. නැතිනම් සෙරෙප්පුවල සිදුරුය. අනුන්ට මිරිවැඩි තනන්නට වෙහෙසෙන ඔවුන් තමන්ගේ පාවහන් ගැන නොතකන සෙයකි. කෙසේ වුවද සපතේරුවා අපට අත්‍යවශ්‍යම කාර්මිකයෙකි. අවසානයේ කියන්නට ඇත්තේ සෙරෙප්පු මෙන්ම ඔවුන්ගේ ජීවිතත් මහමගට සින්න වී හමාර බවයි.

මල්මී රාජපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment