සපුගස්කන්දෙන් බලාගාරවලට ඩීසල් – නැප්තා නෑ

113

මෙටි්‍රක් ටොන් ලක්‍ෂ තුනකට ආසන්න බොරතෙල් නෞකා තුනක්ම මෙරටට පැමිණ තිබුණත් සපුගස්කන්ද පිරිපහදුව මගින් විදුලි බලාගාරවලට අවශ්‍ය ඩීසල් හා නැප්තා නිකුත් නොකරන නිසා මේ දිනවල පැය දෙකයි විනාඩි විස්සක දෛනික විදුලි කැපිල්ල සිදුවන බව ලංවිම ඉංජිනේරුවෝ පැවැසූහ.

අතිවිශාල මුදලක් වැයකර අවස්ථා කිහිපයක දීම අලුත්වැඩියා කළ කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරය (මෙගාවොට් 165) නැප්තා නොමැති නිසා නතර කර දැමීමට සිදුවී ඇත.

මේ අතර මෙරටට ගෙන්වා ගෙන තිබෙන මෙටි්‍රක් ටොන් අනූපන්දහසක් අඩංගු බොරතෙල් නෞකාවක් දින 30ක කාලයකට පසු ගොඩබා තිබෙන බවත් තවත් බොරතෙල් මෙටි්‍රක්ටොන් අනූනවදහසක බොරතෙල් නෞකාව ද දින 80කට පසු ඔරුගොඩවත්ත ගබඩාවලට ගොඩබා තිබෙන බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කීය. අනෙක් නෞකාවේ බොරතෙල් මෙටි්‍රක් ටොන් අනූපන්දහසක් අඩංගු බවත් එය ද දින 30 ක කාලයක් තිස්සේ තාමත් වරායේ නැංගුරම්ලා ඇති බවත් ඒ මහතා පැවැසීය.

මෙම නෞකා තුනට පිළිවෙළින් ප්‍රමාද ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 45ක්, දෙවන නෞකාවට ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 82ක් සහ තුන්වන නෞකාවට ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 45ක් ගෙවීමට සිදුවන බවද ආනන්ද පාලිත මහතා කීය.

මේ වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව කාර්මික දෝෂ රැසකට ලක්ව තිබෙන අතර එනිසා ඉන් තාමත් නිපදවෙන්නේ දැවිතෙල් පමණක් යැයිද ඒ මහතා පැවැසීය.

පිරිපහදුව කඩිනමින් යථාතත්ත්වයට පත් නොකළහොත් රට අඳුරට යන්නේ ගල්අඟුරු නොමැති නිසා නෙව, බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නොමැතිවීමෙන් යැයිද ආනන්ද පාලිත මහතා කීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment