සපුගස්කන්දේ තෙල් සේවකයෝ කෑම පැයේදී උද්ඝෝෂණයේ  

160

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයෝ ඊයේ (28 වැනිදා) දහවල් සිය කෑම පැයේදී පිරිපහදුවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

තෙල් පිරිපහදුවට අඛණ්ඩව බොරතෙල් සැපයීම තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලමින් හා ඉන්ධන පිරවුම් හල් විදේශීය සමාගම්වලට ලබාදීමට කර තිබෙන යෝජනාවට විරෝධය පළකරමින් මේ උද්ඝෝෂණය පවත්වනු ලැබූහ.

පිරිපහදුව සුරැකීමේ එකමුතුව මගින් උද්ඝෝෂණය සංවිධානය කරන ලදී. මෙහිදී කතා කළ තෙල් පිරිපහදුවේ විධායක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ශාන්ත වැටකැටිය මහතා මෙසේ කීවේය.

“ඉන්ධන පිරවුම් හල් රැසක් පුද්ගලික අංශයට දෙන්නට යන බවට අපට ආරංචි ලැබුණා. එහි අන්තර්ගතය මොකක්ද කියලා තවම අපි දන්නේ නැහැ. මේ ගැන අපි අධ්‍යයනය කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.”

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති චමින්ද පතිරණ මහතා පැවසුවේ තෙල් පිරිපහදුවට බොරතෙල් සැපයුවහොත් අද උග්‍ර වී තිබෙන ඉන්ධන හිඟය මගහරවා ගැනීමට හැකි බවය. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවලට අවශ්‍ය ඉන්ධන ලබා දීමටත් තෙල් පිරිපහදුවට හැකි බව හෙතෙම කීවේය.

තෙල් පිරිපහදුවේ ඉංජිනේරු සංගමයේ සාමාජික ජනක උදාන මහතා ද මෙහිදී කතා කෙළේය.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment