සපුගස්කන්ද කොට උඩ යයිද…. බොරතෙල්වල ප්‍රමිතිය ගැන සැකයක්!

219

ප්‍රමිතියෙන් තොර බොරතෙල් යොදා දිගින් දිගටම සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක කළහොත් එය කැඩී විනාශ වී යාහැකි බව පිරිපහදු නිලධාරීන් උසස් නිලධාරීන්ට කරුණු දන්වා තිබේ.

මෙම පිරිපහදුව සඳහා සරිලන්නේ ඕමාන්, ඉරාන් හෝ යුරෝ ලයිට් වර්ගයේ බොරතෙල් වුවත් මෙවර බෙලරුසියාවෙන් ආනයනය කර ඇති බොරතෙල් ඝනත්වය මධ්‍යම ප්‍රමාණයේ බොරතෙල් දැයි සැකයක් මතුව ඇතැයි පිරිපහදුවේ හිටපු ජ්‍යෙෂ්ඨ රසායනාගාර විශේෂඥයෙක් ‘දිවයින’ ට පැවැසීය. මේ වනවිට පිරිපහදුව නිතර නිතර කාර්මික දෝෂවලට ලක්වන බවද හෙතෙම කීය.

බොරතෙල් නොමැතිව දින හැත්තෑවක කාලයක් වසාදමා තිබී යළි එහි පිරිපහදු කටයුතු ආරම්භ කළේ ඉකුත් අගෝස්තු මස 15 වැනිදාය.

මේ වනවිට පිරිපහදුව යළි ක්‍රියාත්මක කර තිබුණත් එමගින් පෙට්‍රල් ඩීසල් හා භූමිතෙල් නිෂ්පාදනය සිදුවන්නේ ඉතා සුළු වශයෙන් යැයිද එහි නිලධාරීහු පවසති.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට විශාල මුදලක් වැයවන අතර මේ වනවිට එය ක්‍රියාත්මක කර තිබීමෙන් අපේක්‍ෂිත ඉලක්කය ඉටුනොවන බවද පිරිපහදු නිලධාරීහු පවසති.

මේ වනවිට පිරිපහදුවෙන් වැඩිපුරම නිපදවන්නේ දැවි තෙල්ය. ඉතා අපහසුවෙන් ඩොලර් සොයා ලබාගත් බොරතෙල් ප්‍රමිතියෙන් තොරවීම නිසා සිදුවන පාඩුව ගණනය කරමින් තිබෙන බවද එහි නිලධාරියෙක් කීය. රට තුළ භූමිතෙල් නැත්තේ පිරිපහදුවෙන් භූමිතෙල්වත් නිපදවාගත නොහැකි නිසා යැයිද හෙළිවී ඇත.

මෙරටට බොරතෙල් ආනයන කිරීමේදී ඒ සම්බන්ධව කටයුතු කරන තාක්‍ෂණ කමිටුවට රසායනාගාර ප්‍රධානියෙක් හෝ ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත නියෝජිතයකු පත් නොකිරීම නිසා මෙවැනි ගැටලු ඇතිවන බවද පිරිපහදු නිලධාරීහු කියා සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා කියාසිටියේ වසර 50 ක් පමණ පැරණි සපුගස්කන්ද පිරිපහදුවට දැනට ගෙන්වා ඇති ඌරල් වර්ගයේ බොරතෙල් භාවිතයට ගැනීම නිසා දෝෂ ඇතිවීමේ හැකියාව පවතින බවය.

මෙම බොරතෙල් ඝණකම අතින් වැඩි බවත් මෙම බොරතෙල් දිගින් දිගටම පිරිපහදුවට යොදා ගැනීම එතරම් යෝග්‍ය නොවන බවත් ඔහු කීය.

ශිරාන් රණසිංහ, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment