සපුගස්කන්ද තෙවැනිවරටත් වසයි පාඩුව කෝටි 10 යි

196

බොරතෙල් නොමැතිවීමෙන් මාස පහකදී තුන්වන වරටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (20 වැනිදා) යළි වසා දැමීමත් සමග වසාදැමු වාර තුනේ පාඩුව පමණක් රුපියල් කෝටි දහයකට අධිකවී තිබේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන් නතර කර යළි ආරම්භ කරන අවස්ථාවේදී පමණක් එක් වරකට වැය වන මුදල රුපියල් මිලියන තිස්පහක් යැයි පිරිපහදුව ප‍්‍රධානීහු හෙළිකර සිටිති.

බොරතෙල් ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීම නිසා ඉකුත් වසරේ නොවැම්බර් මස 15 වැනිදා පිරිපහදුව පළමු වතාවට දින පනහක කාලයකට සම්පූර්ණයෙන්ම නවතා දැමීය. කෙසේ වෙතත් යළිත් බොරතෙල් ආනයනය කර පිරිපහදුවේ කටයුතු ආරම්භ කළත් ජනවාරි 03 වැනිදා දෙවන වතාවටද නවතා දමනු් ලැබීය.

සපුගස්කන්ද පිරිපහදුව නතරකර දැමීමෙන් ඩොලර් කළමනාකරණය කරගත හැකි බවටත් පිරිපහදු කළ පෙට‍්‍රල්, ඞීසල් ආනයනය කිරීම වඩාත් ලාබදායි බවටත් එවකට බලශක්ති ඇමැති උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 51 ක් පැරැණි මෙරට පිහිටි එකම පිරිපහදුවය.

මෙමගින් දැවිතෙල් සියයට 37 ක්ද ගුවන්යානා තෙල් සියයට 19 ක්ද නිපදවාගත හැකි අතර පෙට‍්‍රල් හා ඞීසල් සියයට 43 ක්ද නිපදවාගත හැකිය. මෙරටට අවශ්‍ය පෙට‍්‍රල් අවශ්‍යතාවෙන් සියයට 14 ක්ද ඞීසල් අවශ්‍යතාවෙන් සියයට 29 ක්ද මෙමගින් නිපදවාගනු ලැබීය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුවත් එහි සේවය කරන 1200 ක් පමණ වන සේවකයින්ට වැටුප්, අතිකාල, වාහන, ඉන්ධන ඇතුළු අනෙකුත් දීමනා සාමාන්‍ය පරිදි ගෙවීමට සිදුවන බවද එහි ප‍්‍රධානීහු කියා සිටිති.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment