සබ්‍රි විතරක් නෙවෙයි තවත් අය හොරෙන් රත්තරං පන්නන හැටි…

132

පුත්තලම මන්ත්‍රී මේ පාර නෝන්ඩී…

අධිතාක්ෂණික උපකරණ සවි නොකිරීමේ ප්‍රතිඵලය මේකද?

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ස්ටීව් හැන්කි මහතාගේ 2022 වසරේ දකුණු ආසියාවේ දුක්ඛිතම රටවල් පිළිබඳ ශ්‍රේණිගත කිරීමට අනුව දකුණු ආසියාවේ දුක්ඛිතම රට ශ්‍රී ලංකාවය. අලි සබ්රි රහිම් යනු එහෙව් රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ය. මුස්ලිම් ජාතික සන්ධානය නියෝජනය කරන මහජන නියෝජිතයකු වන අලි සබ්රි රහිම් පිළිබඳ ඉකුත් දින කීපය පුරා රටේම අවධානය යොමු විය. ඔහු රටේම අවධානය දිනාගත් පුද්ගලයකු බවට පත්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කරන ලද මහජන සේවාවක් නිසා නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කිසිසේත්ම නොකළ යුතු කැත හිරිකිත ක්‍රියාවක් සිදු කොට හත්පොලේ උලාගත් නිසාය.

නිතර නිතර විදේශගතවීමේ අමුතු උණකින් පෙළෙන අලි සබ්රි මන්ත්‍රීවරයා දින කීපයක් විදේශගතව සිට පෙරලා සිය රට පැමිණෙන්නේ ඉකුත් 23 වැනි දිනය. ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් FI 537 දරන ගුවන් යානයේ සුව පහසු අසුනකට බර දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව පෙ. ව. 9.33ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන අතර රටට පා තැබූ සැණින් අලි සබ්රි පොරක් බවට පත්වන්නේ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම හේතුවෙනි.

මහා අනුහස් සහිත පුද්ගලයකු ලෙස එඩිතර ගමනින් ප්‍රභූ පර්යන්තය හරහා ගුවන්තොටුපළෙන් පිටතට පැමිණිමට මහලොකු ‘කජ්ජක්’ නොවන බව අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගත් අප මන්ත්‍රීවරයා සුපුරුදු පරිදි තම විදේශ සංචාරයේ අවසන් ‘පිම්ම’ පැනීමට උත්සාහ කිරීමත් සමග ඔහුගේ ගමන් මග හරස් කර සිටින රේගු ආදායම් අධීක්ෂණ අංශ නිලධාරීන් පිරිසක් ඔහුව සැකපිට රඳවා ගන්නා අතර, කැත හිරිකිත රහිම් අලි සබ්රි නාටකයේ ඇත්ත කතාව කරලියට පැමිණෙන්නේ එතැන් සිටය. ඉන් අනතුරුව රේගු ආදායම් අධීක්ෂණ අංශය විසින් වැඩිදුරටත් කරන ලද සොයා බැලීම්වල ප්‍රතිඵලයක් ලෙස අලි සබ්රි නාටකයේ අතීත කතා කීපයක් ද සොයාගැනීමට සමත්ව ඇත. ඒ සෑම කතාවකින්ම කියවෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුහසින් රහිම් අලි සබ්රි හොඳට වැඩගත් පුද්ගලයකු බවය.

රට දුප්පත් වුවද හැට හැවිරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රහිම් අලි සබ්රි ඉකුත් 23 දා රේගුවට කොටුවන්නේ රුපියල් මිලියන 74 ක වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සහ තවත් ස්වර්ණාභරණ රැසක් තම ගමන් මල්ල තුළ සූක්ෂම ලෙස අතුරා නීති විරෝධී ආකාරයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටතට රැගෙන ඒමට ගත් උත්සාහය හේතුවෙන්ය. රන් පමණක් නොව නවීන පන්නයේ ස්මාර්ට් දුරකථන 91ක්ද ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනීමට රේගුව සමත් වී ඇත. ඒ අනුව ඔහු සන්තකයේ තිබී රේගුව විසින් සොයාගත් රන් තොගය සහ ජංගම දුරකථනවල මුළු වටිනාකම රුපියල් කෝටි අටකට ආසන්න බව ගණන් බලා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මාසික දීමනාව (වැටුප) ලෙස රුපියල් 54,285 ක මුදලක් සහ වෙනත් දීමනා ආදිය ද ගත් විට අනුමාන වශයෙන් මාසිකව රුපියල් ලක්ෂයක පමණ ආදායමක් හිමි අප මන්ත්‍රීවරයා නොකා නොබී ඉතිරි කළ ද ඒසා මුදලක් වැය කර (කෝටි 08ක්) රන් සහ ස්මාර්ට් දුරකථන නීති විරෝධී ආකාරයෙන් මෙරටට රැගෙන එන්නේ පිස්සුවෙන්ද එසේත් නැත්නම් මෙම සිදුවීම පසුපස මහා පරිමාණ රන් ජාවාරමක් පවතී ද යන පැනය තවමත් රට හමුවේ පවතින අතර එම පැනයට කෙදිනකවත් පිළිතුරක් නොමැති වන්නේ අදාළ මන්ත්‍රීවරයා පොඩි දඩයක් ගෙවා මේ වනවිට ගෙදර ගොස් ඇති බැවින්ය.

ඇඟ මහන්සි නොකර ආදායම් ඉපයීම පිණිස බොහෝ දෙනකු තෝරා ගනු ලබන්නේ ජාවාරම්ය. එම ජාවාරම් අතරින් ද රන් ජාවාරම යනු පහසුවෙන් කළ හැකි මුත් හොඳ ආදායමක් උපයාගත හැකි වූත් කදිම ජාවාරමක් බව එම ක්ෂේත්‍රය පිළිබඳ යම් හෝ අවබෝධයක් සහිත ඕනෑම කෙනෙක් දන්නා කරුණක්ය. මී කඩන්නේ අත ලෙවකෑම පිණිස නොව පැණි පිණිසය. ඒ බව අප මන්ත්‍රීවරයා දැන සිටින්නට ඇත. මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව අල්ලේ නටවන බව එම මන්ත්‍රීවරුන් හැර රටම දන්නා කරුණක්ය. අප මන්ත්‍රීවරයා ද එවැනි රූකඩයක් බවට පත්ව වෙනත් අයෙකුට හිමි රන් තොගය හා දුරකථන මෙරට රැගෙන ආවේ නම් ප්‍රවාහන වියදම් ලෙස ඔහුට මුදල් කුට්ටියක් ලැබෙන අතර එය කොපමණ අගයකින් යුක්ත මුදලක් ද යන්න තීරණය වන්නේ හොර බඩුවල වෙළඳපොළ වටිනාකම අනූවය. මීට ටික කලකට ඉහත මෙරට සිට ඉන්දියාව දක්වා නීති විරෝධී ආකාරයට ගුවනින් රන් රැගෙන යන්නන්ට ගුවන් වියදමට අමතරව රුපියල් පන්දහසක සන්තෝසමක් ප්‍රදානය කළ අතර කොළඹ සහ ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් එම ජාවාරම මේ වනවිට ද ක්‍රියාත්මක බව අප සඳහන් කර සිටින්නේ වගකීමෙන්ය. නැවතත් අලි සබ්රි නාටකය දෙසට හැරුණු කල පෙනී යන තවත් කරුණක් නම් ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය (වී. අයි. පී.) පැමිණෙන ප්‍රභූ දොරටු පාවිච්චි කරමින් මන්ත්‍රීවරයා මෙම නීති විරෝධී කටයුත්තේ නිරතව ඇති ආකාරයක්ය. එම දොරටුව පාවිච්චි කරමින් මීට පෙර මෙරටට නීති විරෝධී ආකාරයෙන් රන් රැගෙන ආ තවත් මන්ත්‍රීවරයෙක් පිළිබඳ රේගු ඉතිහාසයේ සඳහන්ව ඇත. එය පැරණි සිදුවීමක් බැවින් ඒ පිළිබඳ වැඩි විස්තර මෙහි සඳහන් කිරීමේ පලක් නැත.

ගැටලුව බවට පත්වන්නේ ඒ පරණ සිදුවීමට අදාළ මන්ත්‍රීවරයාත් 23 දා සිදුවීමේ ප්‍රධාන චරිතය බවට පත් අලි සබ්රි මන්ත්‍රීවරයාත් හැර තවත් මන්ත්‍රීවරුන් මෙම සුවිශේෂි පර්යන්තය පාවිච්චි කරමින් “ජාත්‍යන්තර ගේම් කරුවන්” ලෙස කටයුතු කර ඇති ද යන්න පිළිබඳවය. රට්ටු තුළ එවැනි සාධාරණ සැකයක් ඇති වීමට හේතුවක් ද ඇත. සැකකාර මන්ත්‍රීවරයාව රේගු අත්අඩංගුවට ගනු ලබන්නේ කොළඹින් පිටත්ව ගිය රේගු නිලධාරීන් පිරිසක් විසින්ය. ලැබුණු තොරතුරක් අනුව කටුනායක බලා පිටත්ව යන එම නිලධාරීන් පිරිස නොවන්නට ඇතැම් විට පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයාට යහතින් කටුනායකින් පිටත්ව යෑමට යම් ඉඩකඩක් තිබෙන්නට ද ඇත. වැඩේ ගොඩදා ගැනීමේ අදහසින් ප්‍රභූ පර්යන්තය ඔස්සේ පැමිණි මන්ත්‍රීවරයා බඩු සමග කොටුවන්නේ අවසන් අදියරයටද පැමිණි පසුය. ජාවාරම්කරුවන්ට තම තමන්ගේ ජාවාරම් ආදියේ නිරතවීම පිණිස කුඩා ඉඩකඩක් වුවද ප්‍රමාණවත්ය. මන්ත්‍රීවරයා පාවිච්චි කර ඇත්තේ ප්‍රභූ පර්යන්තයේ මෙතෙක් කලක් පැවති කුඩා හිලක්ය. මෙම සටහන තබන අවස්ථාව වනවිට ලැබෙමින් පවතින ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් පිට ප්‍රභූ පර්යන්තය හරහා පැමිණෙන ප්‍රභූවරුන්ගේ ගමන් මලු පරීක්ෂාව පිණිස අධි තාක්ෂණික උපකරණ සවිකිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවත්, ඒ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කොට ඇති බවත්ය. කල්ගත වුවද මෙවැනි අනීතික ක්‍රියාවන් නතර කිරීම පිණිස ගත් වැදගත් පියවරක් ලෙස එය බොහෝ දෙනකුගේ පැසසුමට ලක්වන තීරණයක් බවට ද පත්ව ඇත.

අවසන් වශයෙන් ද සඳහන් කළ යුතුව ඇත්තේ ගරු කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස එම වරප්‍රසාදවලට මුවා වී අලි සබි්‍ර රහිම් විසින් කරන ලද අනීතික ක්‍රියාව කැතයි ලැජ්ජයි යනුවෙන්ය. රට හදන තැන හරි කෙළින් සිටගත යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම වෙනුවට අලි සබි්‍ර රහිම් විසින් සිදුකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට නොතරම් ක්‍රියාවක් බව කවුරු කවුරුත් අවබෝධ කර ගන්නේ නම් එය තම තමන්ගේ කීර්ති නාමයට අමතර වටිනාකමක් එක් කර ගැනීමක් වන්නේය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment