සභ්‍යත්වය-සංස්කෘතිය සහ අනේ අපේ රට!

385

ශ්‍රී ලාංකික අනන්‍යතාව මෙන්ම ජාතිකත්වය අරභයා කෙබඳු පස මිතුරු කතිකා ගොඩනැඟී තිබුණත්, ලංකාව බෞද්ධ රටක් හා බෞද්ධ සංස්කෘතියෙන් සුපෝෂණය වූ සභ්‍යත්වයකට හා ශිෂ්ටාචාරයකට උරුමකම් කියන රටක් බව ප්‍රාමාණික විද්වත්හු අවධාරණය කරති. දේවානම්පියතිස්ස රජ සමයෙහි එනම් ක්‍රි.පූ. 247-207 අතර කාලයෙහි මෙරටට මිහිඳු මාහිමියන් වැඩම කළ බවත් එය සභ්‍යත්ව ප්‍රබෝධයක සමාරම්භය බවත් මහින්දාගමන සම්බන්ධයෙන් කෙරෙන විශ්ලේෂණයන්හි හරයයි. මහාචාර්ය වල්පොල රාහුල හිමියන් සඳහන් කරන්නේත් මහින්දාගමනය සිංහල සභ්‍යත්වයේ ප්‍රභවය ලෙස සැලකිය යුතු බවය. එසේම මිහිඳු හිමියන් ලංකාවට රැගෙන ආයේ හුදු ආගමක් පමණක් නොව එවක උත්කර්ෂයට පත්ව තිබුණු මෞර්ය රාජ්‍යයෙහි සාඩම්බර ශිෂ්ඨාචාරය බවද රාහුල හිමියෝ සඳහන් කරති. මහින්දාගමනයෙන් පසු අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් තහවුරු වූ සභ්‍යත්වය හා සංස්කෘතිය ලොව විශිෂ්ට ශිෂ්ටාචාරයක අසාමාන්‍ය පරිච්ඡේදයක් බවද පිළිගනු ලැබේ. ඇත්ත වශයෙන්ම ඒ ශිෂ්ටාචාරය සමග අපේ සමාජ-ආර්ථික-දේශපාලන හා සංස්කෘතික ක්‍ෂේත්‍රවලද ප්‍රබල මෙන්ම සාධනීය පරිවර්ථනයන්ද සිදුවිය. එනිසාම අප කිසිවෙකුට මහින්දාගමනය සමග ආරම්භ වූ පරිවර්තනය නොතකා හැරීමට ඉඩක් නැත.

අද සිංහල බෞද්ධ ජනතාව විශේෂයෙන් සිහිපත් කරනු ලබන්නේ ඒ විස්මිත ඓතිහාසික සිදුවීම් තුළින් සමාරම්භ වූ ශ්‍රී ලාංකික සමාජ, ආර්ථික දේශපාලනයත් ඒ සමග අවියෝජනීය ලෙස බැඳුණු ආධ්‍යාත්මික ප්‍රබෝධයත්ය. සිංහල බෞද්ධයන් විසින් පොසොන් උත්සවය සමරනු ලබන්නේ වෙසක් උත්සවය හා සමාන වූ ජාතික සංස්කෘතික උළෙලක් ලෙසය. සිංහල බෞද්ධ ජන මනස තුළ මිහිඳු නාහිමියන් පිළිබඳ ස්මෘතීන් තැන්පත්ව තිබෙන්නේද අනුබුදු මිහිඳු නාහිමියන් යන ගෞරව බුහුමනද සමගය. බුදුන් වහන්සේගේ සංඛාරක විසි වසරක කාලය හා බැඳුනු ස්ථාන හා බොහෝ තොරතුරු බෞද්ධ ඉතිහාසයට මෙන්ම ජනප්‍රවාදවලටද එක්ව තිබුණත් ඒවා සම්බන්ධ විවාද පවතී. ඇතැම් ඒවා ත්‍රිපිටකයටද ඇතුළත්ව තිබේ. එහෙත් ඒ කිසිදු තැනක බුදුන් වහන්සේ ලංකාවට වැඩිය බවක් සඳහන් නැති බව ඇතැම් විද්වත්හු දක්වති. එසේ වුවද ලංකාවතාර සූත්‍ර නමැති මහායාන බෞද්ධ ග්‍රන්ථයෙහි නම් ලංකා ගමනක් ගැන සඳහන්ව ඇති බවද කියති. ශාස්ත්‍රීය ඉතිහාස පසුබික් නොමැති අපට ඒ සම්බන්ධයෙන් යමක් පැවසිය නොහැක. එහෙත් මහින්දාගමනය හා ඉන් උද්ගත වූ ඓතිහාසික කාර්ය භාරය අපට ප්‍රතික්‍ෂේප කළ නොහැක.

සභ්‍යත්වය-සංස්කෘතිය සහ අනේ අපේ රට!

අනුරාධපුරය කේන්ද්‍ර කරගත් සමාජ ආර්ථික-දේශපාලන හා සංස්කෘතිය විසින් උත්කර්ෂයට නංවන ලද අපූර්ව ශිෂ්ටාචාරයක විචිත්‍ර පරිච්ඡේදයක් අදත් අප අභියස විද්‍යාමාන වේ. සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩම කරවන ලද ජයශ්‍රී මහා බෝධි ශාඛාව ස්ථාපිත කිරීමෙන් පසු එය සිංහල ජනතාවගේ සම්, මස්, ඇට, නහර, ලේ ඔස්සේ කිඳා බසින ලද විස්මය ජනක පුවතක් ලෙස ආචාර්ය පෝල් ඊ. පීරිස් සඳහන් කර ඇත. පාලි හා සිංහල බෝධිවංශ කෘතිවලින්ද එය වන්දනා කර ඇත. කුමක් වුවත් රජු ප්‍රමුඛ මහජනතාව භක්ති පූර්වක ගෞරවයෙන් පිළිගත් ඒ ධර්මය යම් යම් බාධාවන් නිසා පසුබෑමකට ලක් වුවත් එහි ව්‍යාප්තිය, කිසිදු බලවේගයකින් මැඬලීමටද නොහැකි විය. එයට ප්‍රධාන හේතුව වූයේ බුදුදහම සදාචාර ප්‍රතිපත්ති මත පදනම් වූ ප්‍රඥාව හා කරුණාව විසින් උත්කර්ෂයට පත්කරන ලද විශිෂ්ට දර්ශනයක් වීමය. ලෝකයේ මෙතරම් ස්වාධීන වූ හෝ විචාරයට ලක්වූ හෝ වෙනත් ආගම් නොමැත.

බුදුදහම බටහිර විද්වතුන්ගේ බුද්ධිමය අවධානයට යොමු වූවක් පමණක් නොව චින්තන නිදහස, මානව බන්ධුත්වයට ගරු කිරීම මිථ්‍යා අඳුර දුරලන විද්‍යාත්මක දර්ශනයක් වීම ආදිය නිසා නව දහමක් ලෙසද ජනප්‍රියත්වයක් හිමිකර ගෙන ඇත. මාර්ටින් වික්‍රමසිංහ වරක් සඳහන් කළේ මහින්දාගමනය නිසා ලෝකයේ ඇතැම් සභයත්වයන්ට අයත් වූ දුෂ්ට අංග සිංහල සංස්කෘතියට ඇතුළත් නොවූ බවය. සමානාත්මතා ධර්මය හා අවිහිංසාව ඇගයීමක් බෞද්ධ සදාචාරයට අයත් වූවකි. මහින්දාගමනයට එක්ව සිටි රාජකීය දූත පිරිස අශෝක අධිරාජ්‍යයාගේ සමීප නෑයෝ වූහ. මිහිඳු මාහිමියන් අශෝකගේ පුත්‍රයෙකි. සුමන සාමණේර සංඝමිත්තාවන්ගේ පුත්‍රයෙක් වූ අතර භණ්ඩුක උපාසක මිහිඳු හිමියන්ගේ සුළු මවකගේ දියණියකගේ පුත්‍රයෙකි. එපමණක් නොව දේවානම්පියතිස්ස රාජාභිෂේක කටයුතු කිරීමද ඒ සමගම සිදුවී ඇත. මෙයින් තහවුරු වන්නේ අශෝක රජු හා එදා මෙරට පාලනය කළ දේවානම්පියතිස්ස නිරිඳුන් අතර බැඳීමක්, සුවිශේෂ සබඳතාවක් තිබූ බව යැයි ඉතිහාසඥයෝ දක්වති. එසේම මිහිඳු නාහිමියන් ප්‍රමුඛ එම දූත පිරිස ලංකාවේ රාජ්‍යත්වය ඉසිලූ දෙවනපෑතිස් නිරිඳුන් හමුව ඇත්තේ රාජ සභාවේදී නොව මිහින්තලා කඳු මුදුනෙහිය. මේ සම්බන්ධයෙන්ද විවිධ අදහස් පළවී තිබේ. ඒ වනවිට මෙරටේද බ්‍රාහ්මණ ආධිපත්‍යයක් තිබුණු බවත් පණ්ඩුල නමැති බ්‍රාහ්මණයකු පණ්ඩුකාභය කුමරුන්ට ශිල්ප ඉගැන්වූ බවත් කියති. මේ අනුව එදා එම ඓතිහාසික හමුව මාලිගාවෙන් පිටතදී එබඳු නිදහස් පරිශ්‍රයක සිදුවූයේ දැයි සමහරු විමසති.

ඇත්ත වශයෙන්ම බුදුදහමට දැඩි විරෝධයක් එල්ලවූ එක් පාර්ශ්වයක් වූයේ බ්‍රාහ්මණයන්ය. ඒ බ්‍රාහ්මණ ආධිපත්‍ය ඉන්දීය සමාජයම යටත් කර ගත්තකි. එහෙත් බුදුන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයත් සමග එය බිඳී ගිය බවද පෙනේ. කුමක් වුවත් ඒ සියලු දූත මෙහෙවර සාර්ථක වීමෙන් පසු මිහිඳු හිමියන් රජ මාළිගාවට වැඩම කළ බව ද සඳහන්ව ඇත. මිහින්තලා හමුව පිළිබඳ වර්ණනා, අලංකාර සිදු වුවත් එය නිසැකයෙන්ම ඓතිහාසික වශයෙන්ද තහවුරු වූවකි. එසේම සිංහල සභ්‍යත්වය හා සංස්කෘතිය සමග මූලික වශයෙන් පෑහීමක් හෙවත් සමානත්වයක් නොවීනම් යම් යම් ගැටලු මතුවීමටද ඉඩ තිබුණි. කිසියම් සංස්කෘතියක් තවත් සංස්කෘතියක් සමග සුසංයෝග වීමේදී එහි ඇද පලුදු, මතභේද, නොපෑහෙන තැන් තිබේ නම් එහිදී සිදුවිය හැක්කේ අවුලකි. මහාචාර්ය සිරි සීවලී හිමියන් සඳහන් කර ඇත්තේ කිසිදු අභ්‍යන්තර ගැටුමකින් තොරව මේ සංස්කෘතීන් දෙක ගහට පොත්ත මෙන් බැඳී හාවී සුපෝෂණය වී ගලා ආ බවය. බුදුදහම ප්‍රායෝගික දර්ශනයක් මෙන්ම නිදහස් චින්තනය අනුදත් සංස්කෘතියක්ද අපට ලබාදී තිබේ. පුරාණ ඉන්දියාවේ තිබුණු මිථ්‍යා අඳුර, පුරුෂොත්තමවාදය දෙදරා ගියේද බුදුන් වහන්සේගේ දේශනා මාර්ගයෙහි වූ ප්‍රබලත්වය නිසාය. උපතින් බ්‍රාහ්මණයකු වන බව පිළිගත් භාරද්වාජ බමුණාටත් කර්මානුරූපව එය සිදුවන බව පැවසූ වාසෙට්ඨි බමුණාටත් බුදුන් වහන්සේ ලබාදුන් පිළිතුර ජීව විද්‍යාවටද එකඟ වූවකි. ‘තෘණ, වෘක්‍ෂ, උරග ආදිය වෙන්ව හඳුනාගත හැකි වුවත් මනුෂ්‍යත්වයන්ට එබඳු භේද නැති බව බුද්ධ වචනය විය. රැකියාව, පත්තිය ලෙස බෙදීම් තිබුණත් මානව වර්ගයා එකම පවුලක් බව ප්‍රබුද්ධ සමාජය, පිළිගත්තේ ඉන් පසුවය. කුල මානය, වසලයා කවරෙක්ද වැනි සමාජ සංවාදවලටද බුදුන්ගේ විග්‍රහය පිළිතුරක් විය. එසේම ධන ලෝලී කාමභෝගී ජීවිතවල සමාජ විපත ගැනද බුදුන් වහන්සේට පෙනුණි.

බුදුන් වහන්සේ කිසි විටෙක සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා නොකළත් උන්වහන්සේගේ සූත්‍ර දේශනාවල ලෞකික ජීවිතය ජය ගැනීමට පමණක් නොව උත්තර සමාජයකට අදාළ උපදේශ අඩංගු වූ බව පිළිගනු ලැබේ. පීඩිතයන් කෙරෙහි අනුකම්පා වීමත්, අසරණයන්ට සරණ වීමත් ඒ ලෞකික පිළිවෙත්වල උතුම් ලක්‍ෂණයකි. ප්‍රජාතන්ත්‍රවාදය බුදුහු අනුදැන වදාළහ. රජවරු, සිටුවරු, ධනීහු පමණක් නොව ප්‍රකට අබිසරුලියෝද බුදුන් වහන්සේට ගරු පූජා දැක්වූහ. බිම්බිසාර රජු විසින් බුදුන්ට පූජාකරන ලද වේළුවන නමැති සතුටු උයන ආරාම පූජාවේ පළමු පියවර විය. දේවානම්පියතිස්ස රජු විසින් මිහිඳු හිමියන්ට පූජා කළ මහමෙව්නා උයන පිළිගැනීමට ද එය පූර්වාදර්ශයක් විය.

කෙසේ හෝ මහින්දාගමනයෙන් පසු මෙරටේ සිදුවූ සමාජ, ආර්ථික, දේශපාලන මෙන්ම සංස්කෘතික සාහිත්‍ය කලා ප්‍රබෝධය සම්බන්ධයෙන් උද්දාමයට පත්වන අපට අද ඒ පිළිබඳව කිව හැක්කේ කුමක්ද යන්නත් මෙහිදී විමසා බැලීම වටී. මිහිඳු පෙරහැරවල් සංවිධානය කරමින්ද වෙනත් ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරිත වෙමින්ද ඒ අසිරිමත් ඓතිහාසික සිදුවීම් ආවර්ජනය කරන අපට ඒ අභිමානය, චමත්කාරය එසේ විඳගත හැකිද? මෙම ඓතිහාසික සිද්ධියට මේ වනවිට අවුරුදු 2331 ක් පමණ ගතවී තිබේ. එසේම අප නිදහස් රටක් ලෙසද වසර 75 ක් ගතකර තිබේ. එහෙත් එදා ඇරඹුණු අභිනව සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතික ප්‍රවර්ධනයට සිදුවූයේ කුමක්ද? අනුරාධපුර යුගයේ සිට නූතන කෝට්ටේ ජයවර්ධනපුරය දක්වා ඇදී එන වසර දහස් ගණනකින් යුතු ඒ වෘත්තාන්තය තුළ ආසන්න හැත්තෑ පස්වසර කාලය පිළිබඳව විමර්ශනයක් කළත් එයින් අපට ලැබිය හැකි ආත්මීය සුවයක් හෝ තිබේද?

මහින්දාගමනයෙන් පසු මෙරටේ අතිශය විප්ලවීය වෙනසකට තුඩු දුන් වාරි සංස්කෘතියක් බිහිවිය. වැව සමග දාගැබ් ඇතුළු වෙනම ආධ්‍යාත්මික වර්ධනයක්ද සිදුවූ බව රහසක් නොවේ. කෘෂිකර්මාන්තය ලෙස අද ව්‍යාප්ත වී තිබෙන එම ක්‍ෂෙත්‍රය තුළ තිබෙන කඩා වැටීම කෙබඳුද? මෙයට වගකිවයුතු රාජ්‍ය පාලනයේ හිස් බවත් ව්‍යාජ උපදේශකයන්ගේ මැදිහත්වීම් ආදියත්ය. කෙත පුරන්වී බත අහිමි කළ පාලකයන්ගේ කතාව යළි කිව යුතු නැත. නවීන තාක්‍ෂණය ගැන පුරසාරම් දොඩන අමන දේශපාලන නඩවල මූග්ධ ක්‍රියාකාරකම් නිසා තුන්වේලක් ආහාර ගත් ජනතාවට ඉන් දෙකක් හෝ එකක් කපා හැරීමට සිදුව තිබේ. ආහාර සුරක්‍ෂිතතාව යනු පාරිභාෂික වචනයක් පමණි. මන්දපෝෂණ වාර්තාද ඉහළ යමින් තිබේ. කුමක් වුවත් අද අපේ කෘෂි ආර්ථිකයේ පදනම දෙදරා ගොස්ය. දින කීපයකට පෙර මාධ්‍ය වාර්තාකර තිබුණේ නවීන තාක්‍ෂණ මෙවලම් යොදා ගනිමින් දේශපාලන ගෝලයන් වැව් රක්‍ෂිතයක වටිනා ගස් විනාශ කර පස්ද කපා ගෙන ගිය බවකි. මේ වර්ගයේ අමන දේශපාලනයක් අද රටම ගොදුරු කරගෙන ඇත.

අද මෙරටේ ගොඩනැඟී ඇත්තේ විධායක බලය සතු පාලනයකි. එය එදා රජවරුන්ට පැවරුණු තාවකාලික භාරකාරත්වය නොව අත්තනෝමතික කටයුතු සඳහා ජනතාව මුලාකර ලබාගත් බලපත්‍රයක තත්ත්වයට බාල්දුවී තිබේ. එදා රජුට එරෙහිවද නීතියක් තිබුණි. එහෙත් ජනාධිපති නීතියට උඩින් තබා තිබේ. එසේම අද දුගී බවට විසඳුම් නැත. ප්‍රභූවරම් ලද හොරු නිදහසේ වැජඹෙති. ප්‍රභූ පර්යන්තය ඔස්සේ රත්තරන් හොරෙක් අල්ලා ගත්තේ දින කීපයකට පෙරය. පසුගිය දිනක චීන වරෙන්තුකාරයෙක් ගුවන්තොටුපළෙන් රටට ඇතුල් වූයේ රාජ්‍ය ඇමැතියකුගේ රෙකමදාරුව නිසාය. එහෙත් අදාළ ඇමැතිවරයා මැදිහත්ව ඔහු නීතිය ඉදිරියට රැගෙන ආවේය. මෙබඳු දූෂිත මෙහෙයුම් අද සුලභ දේවල්ය. පාලකයන්ගේ විනාශකාරී ක්‍රියාවල බරද ජනතාවගේ කර පිටය. වසර 5 ට අඩු දරුවන්ගෙන් 43% ක්ම මන්දපෝෂණය, අඩුබර, ඇතුළු විපාකවලට ගොදුරුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේම පවුල් සෞඛ්‍ය කාර්යාංශය වාර්තා කර තිබුණි.

ලංකාවේ රාජ්‍යය නියෝජනය කරන්නේ මෙරටේ පුරවැසියන් හෝ ජනතාව නොවන බව දේශපාලන හා ආර්ථික ක්‍ෂේත්‍රවල විශේෂඥයන්ගේ විවේචනයකි. ඔවුන්ට වුවමනා දේශීය ප්‍රාග්ධනය, ගෝලීය ප්‍රාග්ධනය හා දේශීය ව්‍යාපාරික පන්තියේ හා ගෝලීය ව්‍යාපාරික ආයෝජන, ඒවායේ ප්‍රතිලාභ හා ඉන් උදාවන අනාගතයකැයිද කියති. මේ නිසාම පාලකයන්ට විරෝධතා, උද්ඝෝෂණ, ජනතා නැගිටීම් නවත්වන අලුත් නීති වුවමනා බවද ඒවා ජනතාවට අනවශ්‍ය පාලක පැවැත්ම සඳහා කෙරෙන ක්‍රියාකාරකම් ලෙසද හඳුන්වති. ප්‍රතිත්‍රස්ත පනත හකුලාගෙන දැන් ගෙන ඒමට සැරසෙන විකාශන අධිකාරි පනත කුමක් සඳහාද? ආණ්ඩුවේ අභිලාෂය වී ඇත්තේ යළිත් ගාලුමුවදොර අරගලයට පෙර තිබුණු වැඩවසම් දේශපාලන ක්‍රමයට යළි කැඳවා ගැනීමය. ජනාධිපති රනිල්ට ඒ වෙනුවෙන් පොහොට්ටුකාරයන් විසින් කරනු ලබන අලජ්ජි බලපෑම් ඉතා පැහැදිලිය. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් තුළ තිබෙන කලකිරීම සංසිඳවීමට වඩා ජනතා ප්‍රශ්න විසඳීමේ බැරෑරුම් වගකීම ජනාධිපති රනිල් වටහා ගෙන ඇත. අලුතින් ඇමැතිකම් ගත් පුබ්බඩයන්ට යටවී ආණ්ඩු පක්‍ෂ කණ්ඩායමේ අසුන් ගැනීමට බැරි යැයි ප්‍රසිද්ධියේ පවසන පොහොට්ටුකාරයෝද සිටිති. එහෙත් නූතන සමාජ ආර්ථික දේශපාලනය ගැන ප්‍රබුද්ධ මනසක් නොමැති අය ඇමැතිවරුන් ලෙස පත්කර ගැනීම යනු මේ පරිහානිය තවත් සීඝ්‍රගාමීව සිදුකර ගැනීමට හේතු වන්නකි. මේ පවතින දේශපාලන ක්‍රමය ජනතාවට අප්‍රසන්න වී තිබෙන්නකි. ඕනෑම අපතයකුට, දූෂිතයකුට මන්ත්‍රීවරයකු වීමට අද තිබෙන ඉඩකඩද බොහෝය. මහජනයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ චරිතද සුදු ඇඳුමින් මේ දේශපාලනය තුළ සිටින බව ජනතාව හොඳින්ම දන්නා කරුණකි. ගාලුමුවදොර අරගලය ජනතාව අනුමත කළේ ඒ දූෂිත පාලනය අතුගා දැමීමටය. එහෙත් අද ඒ අරගලයේ ඇතුළත කුණුවීම කෙබඳුද යන්නත් ඉතා පැහැදිලිය. වියතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් එදා එයට සහාය පළ කළේ ඒ විෂ බීජ හා මුග්ධ ක්‍රියාකාරකම් දැන ගෙනද නොවේ. කුමක් වුවත් අද ආණ්ඩුව සියලු දොස්, විවේචන, අවලාද නගමින් ඒ අරගලය හෙළා දකියි. එහෙත් තමන් දෙපා රඳවාගෙන සිටින දූෂිත, අමන, වසල දේශපාලන ගොහොරුව සුගන්ධ මිහිරකැයි ඔව්හු ප්‍රමුදිතව සිටිති. සත්තකින්ම මේ සියලු විපත්, රෝගකාර ආදියට හේතුවී ඇත්තේ ඒ ගර්භිත දේශපාලනය තවදුරටත් නඩත්තු කිරීම බව ඔව්හු නොදනිති. ඊට වඩා ඒ පිළිබඳව කතා කළ යුතු නැත.

මිහිඳු හිමියන් විසින් මෙරටේ බුදුදහම ස්ථාපිත කිරීමත් සමග උත්කර්ෂයට පත්වූ ක්‍ෂේත්‍රය ලෙස සංස්කෘතිය හැඳින්විය හැකිය. එය ලෞකික හා ආධ්‍යාත්මික වශයෙන් බෙදා වෙන්ව සාකච්ඡා කිරීමට මෙබඳු කුඩා ලිපියකදී අවකාශ නැත. ඒ සංස්කෘතියේ දිගුවක් ලෙස බිහිවූ නිර්මාණ නාමිකව හෝ දැක්වීමද මෙහිදී උගහටය. ලොවක් අමන්දානන්දයට පත් කළ පිළිම, මූර්ති, කැටයම් මෙන්ම ගෘහ නිර්මාණ අද අපේ මහඟු ජාතික ධනය වී තිබේ. සමාධි පිළිමය, අවුකන බුදු පිළිමය, පොලොන්නරුව ගල් විහාරය, වාහල්කඩ, කොරවක් ගල් ආදී කවර නිර්මාණයක් වුවද ඒ සෞන්දර්ය භාවනාව කෙබඳු දැයි තහවුරු කරනු ඇත. කුට්ටම් පොකුණ, සඳකඩ පහන වැනි අපූර්ව නිර්මාණ තුළ දිදුලන්නේ සිංහල බෞද්ධ සංස්කෘතික මනසත්, එහි නිදන්ගතව තිබුණු සෞන්දර්ය ලාලිත්‍යයත් බව සටහන් කර තබමු. අකම්පිත කලු ගල් තුළ කම්පිත සෞන්දර්ය රිද්මය විඳින සංවේදී රසිකයෝ කොපමණ සිටිත්ද? ලොව නන් දෙසින් ඇදී ඒ නිර්මාණ අභියස දැහැන් ගත වන කවර මිනිස් ප්‍රාණියකුට වුවද දැනෙන හැඟෙන පරම සත්‍යයක් ඇත. එනම් ඒ නිර්මාණ මානව ශිෂ්ටාචාරයේ ආඪ්‍යත්වයත්, විචිත්‍රත්වයක් ලොවට විදහා දැක්වූයේ තමන්ද අයත් මිනිස් පරපුරෙහි මිනිසකුගේම අසාමාන්‍ය ප්‍රතිභාවක් සෞන්දර්යත් කෙතරම් උතුම්ද යනුයි.

අනුරාධපුර යුගයෙන් ඇරඹුණු සාහිත්‍ය ප්‍රවාහයද එබඳුම ආශ්වාදනීය අත්දැකීමකි. ගi පi මෙන්ම සීගිරි ගලේ ලියවුණු ගී හා මැවුණු සිතුවම්ද එහි අපූර්ව ලකුණුය. පුස්කොල පොත් සේ කෞතුකාගාරවල තැන්පත්ව තිබෙන ලේඛනවලට අමතරව සෙල් ලිපි හා ටැම් ලිපිද අපට අප ගැන ආඩම්බර විය හැකි අපේම තාක්‍ෂණ මෙවලම්ය. අනුරාධපුරයෙන් ඇරඹී මහනුවර හා කෝට්ටේ යුගවලින් අවසන්වූ රාජ්‍ය පාලනය නැතහොත් රාජාණ්ඩු ක්‍රමය වෙනුවට නූතන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ අප ගොදුරුවී සිටින සංස්කෘතික දරිද්‍රතාව කෙතරම් දැයි මෙබඳු මොහොතක සිත් යොමා බැලීම වටී. නවීනත්වය යනු පැරණි යැයි හැඳින්වෙන සියල්ලම වීසි කළ යුතු යයි සිතන නූතනයන්ට මගේ ඇරයුම විහිළුවක් ලෙස හැඟී යා හැකිය. එහෙත් ජාතික හා සංස්කෘතික වටිනාකම් සුරැකිය යුතු යැයි සිතන්නා වූද ඒ ජාතික හා සංස්කෘතික විවිධත්වයට ගරු කරන්නා වූද කිසිවකුට මගේ අයැදුම නොතකා හැරිය නොහැකි බවද මම කල්පනා කරමි. අතීත කාමයෙන් හෝ නූතන ප්‍රබුද්ධ සංසිද්ධීන් හෝ බැහැර කර යළිත් අනුරාධපුර යුගයට යාමටද අපි යෝජනා නොකරමු. එසේ වුවද ස්වයං විවේචනයක යෙදී අප අමතක කළ සමාජ සාරධර්ම ආර්ථික දේශපාලනය හා සංස්කෘතික උල්පත් විද්‍යාත්මකවද අවශ්‍ය ලෙසද සුසංයෝගයෙන් යා යුතු ගමන් මග අප්‍රමාදව තෝරා ගත යුතු බවද සඳහන් කළ යුතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment