සභාපති ගෙදර යවන්න චෝදනා පත්‍රයක්

144

ලංවිම නිර්ණායක සපුරාගන්න බැහැ
උ.පෙළ විභාගය කාලයේ විදුලි කප්පාදුව එහෙමමයි

ආණ්ඩු පක්‍ෂයේ එකඟතාව ලැබුණා – විදුලිබල ඇමැති කංචන කියයි

උසස් පෙළ විභාගය පවත්වන කාලය තුළ අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි නිර්ණායකයන් සපුරා ගැනීමට නොහැකිවී ඇති නිසා විදුලි කප්පාදුව නැවැත්විය නොහැකි බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (29 දා) පැවසීය.

2023 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සිට අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් ගිය නොවැම්බර් මාසයේදී විදුලි බිලේ සංශෝධනයක් සිදුවිය යුතු බව තමා ප්‍රකාශ කළ බවත් ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටි බවත් ඇමැතිවරයා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

එම විදුලි බිලේ සංශෝධනය 2023 ජනවාරි 01 වැනිදා සිට සිදුකළ යුතු බව දැනුම්දුන් අතර ඒ සඳහා කොමිසමේ අනුමැතියක් නොලැබුණු බවත් අද මහජන උපයෝගීතා කොමිසමේ මතය ලෙස පවසන කරුණු එහි සභාපතිවරයාගේ තනි මතයට කරන ප්‍රකාශ බවට හෙළිවී ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය. කොමිසමේ සාමාජිකයන් තිදෙනකු පාර්ලිමේන්තුවේ පැවැති ජාතික සභාවට කැඳවූ අවස්ථාවේදී ඒ බව හෙළිවූ බවද ඇමැතිවරයා කීය.

උසස් පෙළ විභාගය සමයේ විදුලිය කප්පාදු නොකර අඛණ්ඩව විදුලිය සැපයිය හැකිද, එසේ නොහැකි නම් විභාගය පැවැත්වෙන කාලයේ සහ සවස් කාලයේ විදුලිය කප්පාදු නොකර සිටිය හැකිද සහ විභාගය පැවැත්වෙන පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා විදුලිය නොකපා සිටීමටද හැකිද යන්න සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ බවද ඇමැතිවරයා කීය. අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා රජයේ බැංකු දෙක මගින් ණය මුදලක් ලබාදීමට හැකි බවත් එම ණය අයකර ගැනීමට ක්‍රමවේදයක් විදුලිබල මණ්ඩලය තුළින් පෙනී යන්නේ නැතිනම් ණය ලබාදිය නොහැකි බව බැංකු ප්‍රකාශ කර තිබෙන බවත් ඇමැතිවරයා කීවේය. එසේ ණය ලබාදීම හේතුවෙන් බැංකු දෙකද කඩා වැටිය හැකි බව ඔවුන් පෙන්වාදී තිබෙන බවද ඒ අනුව විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කැපීමට තීරණය ගත් බවද හෙතෙම කීය.

කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ ක්‍රියා කලාපය දෙස බැලීමේදී ඔහුට චෝදනා රැසක් එල්ලවී තිබෙන බවත් ඒ අනුව ඔහු ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවත් කී ඇමැතිවරයා එයට ආණ්ඩු පක්‍ෂයේ එකඟතාව පළකර තිබෙන බවද පැවසීය. මණ්ඩලය මේ වන විට තෙල් සංස්ථාවට රුපියල් බිලියන 112 ණය බවත් පැය 24 ම අඛණ්ඩව විදුලිය දීමට ඉන්ධන ගැනීමට සිදුවුවහොත් විදුලිබල මණ්ඩලයේ තිබෙන ණය තවත් වැඩිවන බවත් ඇමැතිවරයා පැවසීය. නැප්තා සහ දැවිතෙල් මේ වන විට විදුලිබල මණ්ඩලයට අයත් බලාගාර සඳහා ලබාදෙන බවත් පැය 24 ම විදුලිය ලබාදීමට නම් පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගත යුතු බවත් කී ඇමැතිවරයා එම ආයතනවලටද තෙල් සංස්ථාවට තෙල් ලබාදීමට සිදුවන බවත් කීය.

පෞද්ගලික බලාගාර තෙල් සංස්ථාවට රුපියල් බිලියන 55 ක් පමණ ණය අතර එම ආයතනවලට විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 60 ක් පමණ ණය බවද ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවා නීත්‍යනුකූල නොවන ආකාරයට අත්සන් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට යන බවත් පැවසූ ඇමැතිවරයා මානව හිමිකම් කොමිසමට පොලිය අඩු කිරීමට හෝ අඛණ්ඩව විදුලිය දීමට වැනි නියෝග කළ නොහැකි බවත් ඇමැතිවරයා කීය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම තනතුරට සුදුසු පුද්ගලයකු නොවන බව පැවසූ ඇමැතිවරයා මීට පෙර ඔහු කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කිරීමට මහ බැංකුවෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබෙන බවත් එවැනි පුද්ගලයකු මහජන උපයෝගීතා කොමිසම සඳහා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය දී පත්කළේ කෙසේද යන්න විමසා බැලිය යුතු බවත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment