සභාවට අගෞරව කරන්න එපා: කථානායකගෙන් තිස්ස කුට්ටිආරච්චිට දැඩි අවවාද

232

සමගි ජනබලවේගය මන්ති‍්‍රනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ සහ පිටස්තර කාන්තාවකගේ නම් සඳහන් කරමින් සභාවට අගෞරවයක් වන අයුරින් කරනු ලැබූ කතාවලින් ඉදිරියට වැළකී සිටින ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍ර තිස්ස කුට්ටිආරච්චි මහතාට ඊයේ (23 දා* පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස අවවාද කළේය.

කථානායකවරයා තිස්ස කුට්ටිආරච්චි මහතාට ඊයේ (23දා* දැඩි ලෙස අවවාද කරනු ලැබුවේ ඊට පෙර දින මන්ති‍්‍රනී රෝහිණි කවිරත්න මහත්මිය විසින් නඟන ලද වරප‍්‍රසාද කඩවීමේ ප‍්‍රශ්නය පිළිබඳ සලකා බලමිනි. කථානායකවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

2021 නොවැම්බර් 20 දින අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගිවෙමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් පාර්ලිමේන්තු මන්ති‍්‍රනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ සහ පාර්ලිමේන්තුවෙන් පිටස්තර කාන්තාවකගේ නම් සඳහන් කරමින් මෙම උත්තරීතර සභාවට අගෞරවයක් වන අයුරින් විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට අපහාස කරමින් සිදුකරන ලද කතාව සම්බන්ධයෙන් ද ඊයේ එනම් නොවැම්බර් 22 දින උදෑසන පාර්ලිමේන්තුවේ කාන්තා මන්තී‍්‍ර සංසදය විසින් මා හමුවීමෙන් අනතුරුව රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් ඒ සිද්ධිය පිළිබඳව සභා ගර්භයේදී මතු කරන ලද වරප‍්‍රසාද ප‍්‍රශ්නය ගැඹුරින් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් මෙම ගරු සභාවේ විශේෂ අවධානය යොමුකිරීමට කැමැත්තෙමි.

තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට අපහාස කරමින් මෙම උත්තරීතර සභා ගර්භයේදී කරන ලද එම අශෝභන කතාව පිළිබඳව මාගේ කනගාටුව ප‍්‍රකාශ කරන අතරම මෙවැනි අයෝග්‍ය අශෝභන වචන භාවිත කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ට මෙන්ම පිටස්තර පාර්ශ්වයන්ට අපහාසකරමින් කරනු ලබන කතාවලින් වැළකී සිටින ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස කුට්ටිආරච්චි මහතාට දැඩි ලෙස අවවාද කරමි.

තවද මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී වළක්වා ගැනීම පිණිස දෙපාර්ශ්වයේම ප‍්‍රධාන සංවිධායකවරුන් විසින් තම පාර්ශ්වයේ මන්තී‍්‍රවරු දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. දිගින් දිගටම මෙවැනි තත්ත්වයන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විසින් සිදුකරනු ලබන්නේනම් ස්ථාවර නියෝගවලට අනුකූලව සභාවේ විනය පවත්වාගෙන යෑම සඳහා දැඩි කි‍්‍රයා මාර්ග අනුගමනය කිරීමට මට සිදුවන බව ද මෙයින් අවධාරණය කරමි.

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් පක්‍ෂ විපක්‍ෂ මන්තී‍්‍රවරු මෙලෙස අදහස් දැක්වූහ.

තලතා අතුකෝරල මහත්මිය

මේ තත්ත්වය දිගින් දිගටම සිදුවන නිසා මෙම මන්තී‍්‍රවරයා ලවා ප‍්‍රකාශයක් කරවන්න. මීට පෙරත් මෙවැනි දේවල් සිදුවුණා. ඒ මන්තී‍්‍රවරයාගේ හැසිරීම ගැන අපි දන්නවා. ඒ නිසා මීට වඩා දෙයක් අවශ්‍යයි.

කථානායක-

ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා සමගත් කතා කරලා කියන්නම්.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා

ඔබ තුමා ඒ ගැන හෙළා දැකලා ප‍්‍රකාශයක් කළා. ඒත් ඒක ප‍්‍රධාන සංවිධායකවරුන්ට පැවරුවා. ඒක එහෙම බෑ. මූලාසනයේ මන්තී‍්‍රවරයා තමයි ඒ ගැන කි‍්‍රයාකළ යුත්තේ.

කථානායක

තමාගේ කණ්ඩායම පාලනය කරගන්න ප‍්‍රධාන සංවිධායකතුමා කි‍්‍රයා කළ යුතුයි.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා

මූලාසනයේ මන්තී‍්‍රතුමා හැම තිස්සේම ඉන්නවානේ. එතුමාට තමයි ඒ ගැන කි‍්‍රයා කරන්න බලය තිබෙන්නේ. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව බලරහිත කථානායකතුමාට මේස දාලවත් නෑ. නිලධාරීන්ට දාලවත් නෑ. මම ඒ ගැන ඇහුවාහම කිව්වේ ඒ අය මන්තී‍්‍රවරුන්ගේ කතාව අහන්න ඕනෑ කියලා. නිලධාරීනුත් කතාව අහලා මූලාසනයට කියන්න ඕනැ. මේ කතාව හරි, මේ කතාව වැරදියි කියලා.

කථානායක

ඔබතුමාගේ කතාවට මම එකඟයි. නමුත් ආණඩුවට සහ විපක්‍ෂයට සංවිධායකවරු දෙදෙනකු පත්කරලා තියෙන්නේ පැමිණීම ගැන බලන්න විතරක් නොවෙයි. තමාගේ මන්තී‍්‍රවරුන්ගේ හැසිරීම ගැනත් බලන්න ඕන.

තිස්ස කුට්ටිආරච්චි මහතා

අයවැය විවාදයේදී මා කළ කතාව සම්බන්ධයෙන් කරුණු කිහිපයක් මුල්කර ගෙන මාතලේ දිස්ති‍්‍රක් මන්තී‍්‍රතුමිය කතා කළා. මම අහන්නේ මම කියපු අසභ්‍ය වචනය මොකක්ද කියලා කියන්න.

කථානායක

ඔබතුමා ඊට වඩා හොඳයි තමාගේ අනිත් වැරදි වචනයක් කියවුණා කියලා කිව්වනම්.

තිස්ස කුට්ටිආරච්චි මහතා

මගේ කටින් කාන්තාවන්ට අපහාස වන විදිහට වචනයක් පිටවුණා නම් තමයි මම සමාව ඉල්ලන්න ඕනේ. මම යහපත් සිහින් කිව්වේ. මම වල් නෑ. අහපු අය තමයි වල් විදිහට හිතලා තියෙන්නේ. මම බඩු ගැන කිව්වහම කොහොමද කාන්තාවන්ට අපහාසයක් වන්නේ? එදා රංජන් රාමනායක, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ෆ‍්‍රන්ට් සයිඞ්, බෑක් සයිඞ් ගැන කියන කොට ඔය කවුරුවත් කතා කළේ නෑ. මම මගේ කතාවේදී එළවළු ගැන කතා කළා විතරයි. කාන්තාවන් අපහසුතාවයට පත්වන විදිහට මම කියපු පරුෂ වචනය මොකක්ද කියන්න. ඊට පසුව මම සමාව ඉල්ලන්නම්.

සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය

කාන්තා සංසදයේ සභාපතිනිය විදිහට මම කියන්නේ මේ සභාවේ සිටින 225 ඇරෙන්න ඊට පරිභාහිරින් පුද්ගලයන්ගේ නම් මේ සභාවට ගේන්න එපා. මේ 225 දෙනාගේම ගෞරවය රැුකෙන්නේ අපි හැසිරෙන ආකාරයටයි. රටම බලන් ඉන්නවා. මේ සභාවේ කාන්තා මන්තී‍්‍රවරියන් 12 යි ඉන්නේ. මේ සභාවේ කාන්තා මන්තී‍්‍රවරියන්ට වක‍්‍ර ලෙස හෝ අපහසායක් වන විදිහට කටයුතු කිරීම නවත්වන්න කියලා මම ඉල්ලනවා.

නලින් බණ්ඩාර මහතා

ඒ මන්තී‍්‍රතුමා කියපු වචන අපි ආපසු කියන්නෙ නෑ. අපිට ලැජ්ජයි! හිරිකිතැයි!! අපි බබාලා නෙමෙයි. ඕනෑම වචනයක යටි අරුතක් තේරුම් ගන්න අපට පුළුවන්. මේ සභාවේ ඉන්නේ නැතුව ගෙදර යන්න. කරුණාකරලා යන්න

(සභාවේ ඝෝෂා*

රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය

ස්ථාවර නියෝග යටතේ මීට වඩා වැඩි තීන්දුවක් ගන්න කථානායකුමාට බලතල තිබෙනවා. අපි අහනවා ඒ වාක්‍ය කියලා ජනාධිපතිතුමාට තමාගේ බිරිඳ ඉස්සරහා හෝ ඒ මන්තී‍්‍රතුමාගේ බිරිඳයි, දරුවොයි ඉස්සරහා තියලා අහන්න පුළුවන්ද?

චමින්ද විජේසිරි මහතා

කථානායකතුමා ඒක අසභ්‍ය වචනයක් කියලා පිළි අරගෙන යම් ප‍්‍රකාශයක් කළා. ආයේ මොනවද කතා කරන්නේ?

අජිත් රාජපක්‍ෂ මහතා

මම තමයි ඒ වෙලාවේ මූලාසනයේ හිටියේ. ඒ මූලාසනයේ වාඩිවුණාම දැඩි වගකීමක් තිබෙනවා. අපටත් ඇස් දෙකයි, කන් දෙකයි තිබෙන්නේ. ඔය විවාදාත්මක අවස්ථාවේදී කිහිප දෙනෙක්ම කතා කළා. ඒ හැම දෙයක්ම අපට ඇහෙන්නේ නෑ. මම අයුක්තියක්, අසාධාරණකම් කරන අයෙක් නෙවෙයි. මට ඇහුනේ නෑ කියලා කියන්නත් මට අයිතියක් තිබෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment