සමගිපුරේ වසන්තත් යන්නම ගිහින්

429

ප‍්‍රතිභාපූර්ණ චරිතාංග රංගන ශිල්පියෙක්වන සරත් චන්ද්‍රසිරි කලක් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිට පසුගිය ශනිදාවේ සිය ජීවන ගීතය ගයා නිමා කළේය.

 වේදිකාවේත්, පුංචි තිරයේත් අපූරු චරිත මැවූ ඔහු වඩාත් ජනප‍්‍රිය වූයේ පුංචි තිරයේ ‘පබා’ ටෙලි නාට්‍යයේ ‘සමගිපුර වසන්තගේ’ චරිතයෙන් යැයි මට සිතේ. ඉන්පසුව ‘මලී’ සහ ‘අත්තම් මා’ ටෙලිනාට්‍යවල ඔහු රංගනය කළ උක්කුවා ගුරුන්නාන්සේගේ චරිතය ද කතාබහක් ඇති කළේය.

 එදත් අදත් එක ලෙස නිතර ටෙලිනාට්‍ය හරහා සරත්ව අපට දක්නට ලැබෙන අතර, පසුගිය දිනවල විකාශය වූ ‘අඩෝ’ ටෙලිනාට්‍යය වෙනුවෙන් ඔහු රංගනය කළ රාජා ගේ චරිතය ඉකුත් දා සුමති සම්මාන උළෙලේ ඇගයීමට ද ලක්වුණි.

 එමෙන්ම ඉකුත් දිනවල විකාශය වූ ‘සල් මල් ආරාමය’ ටෙලිනාට්‍ය සඳහා රංගනය කරන කපු මහත්තයා ගේ චරිතය මෙන්ම මේ දිනවල විකාශයවන ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ බස් රියැදුරු ගේ චරිතය ද ඔහුගේ විශිෂ්ට රංගනයන් ය.

 ‘රාජ්‍ය සේවය පිණිසයි’ චිත‍්‍රපටයේ රංගනයට දායක වෙමින් සිනමාවට අවතීර්ණව ‘සිකුරු හතේ’ හි පොලිස් නිලධාරියා, ‘මගෝඩි ගොඩයි’ හි චන්ද්‍රපාල, ‘ගින්දරී’ හි බේබදු මිනිසා, ‘මායා’ හි කපුමහතා, ‘ඩොක්ටර් නවරියන්’ හි සර්කිට්, ‘මධුර චාරිකා’ හි බස්නැවතුමේ සිටින මිනිසා, ‘‘අඳුරු සෙවණැලි’’ හි වනජීවී නිලධාරියා වැනි මතකයේ රැුඳෙන චරිතාවලියක් ඉදිරිපත් කළ සරත් අතිදක්ෂ ප‍්‍රහසන ශිල්පියෙකි.

 මෙහි පළවන පැරණි ඡුායාරූප, ජයලත් මනෝරත්නයන් ගේ ‘කනේරු මල්‘ වේදිකා නාට්‍යයේ ප‍්‍රචාරක කටයුතු සඳහා මා අදින් වසර විස්සකට පෙර ගත් ඔහුගේ ඡුායාරූපයන්ය. එහි එක් ඡුායාරූපයක ආචාර්ය ජයලත් මනෝරත්නයන්, වික්ටර් රාමනායක සමග සරත් පෙනී සිටින අතර දුකට හේතුව නම් අද වනවිට ඔවුන් තිදෙනාම දිවි රඟ මඬලෙන් සමුගෙන තිබීම ය.

 ඉන්පසු ඔහු මාහට ස්වාධීන රූපවාහිනියේ “Chat & Music” වැඩසටහනක දී හමුවූ අතර, එදින ගත් ඔහුගේ ඡුායාරූප ද මෙහි ගෙන එමි.

 මා හට ආසන්නතම වශයෙන් ඔහු හමුවූයේ ඉකුත් කාලයේ පැවැත්වුණු සරත් කුලාංගගේ නිර්මාණ එළිදැක්වීමේ උත්සවයේදී වන අතර එදින මා විසින් ගත් ඔහුගේ නව ඡුායාරූප පෙළ ඔහු දුටුවා ද කියන්නවත් මා නොදන්නෙමි.

 හිසේ ඇති වූ ලේ කැටියක් නිසාවෙන් කලක් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගත් ඔහු මියයන විට 57 වැනි වියෙහි පසුවූයේය.

 පවුලේ හිත මිත‍්‍රාදීන්ට මගේ සාතිශය සංවේගය ගෙන එන අතර ආදරණීය සරත්, ඔබට මේ සසර ගමන ඉක්මනින් නිමවා නිවනින්ම නිවෙන්නට පිංපෙත් පමුණුවමි !!


 දයාන් විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment