සමථ මණ්ඩලය  ශක්තිමත් කරන්න ගිනි සිසිල එයි

162

සුළු ආරවුලක් උසාවි ආවොත් නඩු ප්‍රමාණය වැඩි වෙනවා

ඇමැති විජයදාස රාජපක්‍ෂ


මෙරට අධිකරණ ක්‍රියාවලිය පහසු කිරීමට ක්‍රියාත්මක සමථ මණ්ඩල ක්‍රමය ශක්තිමත් කිරීමේ අරමුණින් යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් ගිනි සිසිල නමින් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය අවම කිරීම සඳාහා සමථ ක්‍රමය මගින් අගය කළ යුතු සේවාවක් ලැබෙන බවත් ජනතාවට තම ගැටලු අධිකරණය ඉදිරියට නොගොස් පහසුවෙන් හා අඩු වියදමකින් විසඳා ගැනීමට හැකිවීම සමථ මණ්ඩල ක්‍රමයේ සුවිශේෂී තත්ත්වයක් බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

අතීතයේදීද විවිධ අවස්ථාවල ජනතා ගැටලු විසඳීම සඳහා සමථ මණ්ඩල ක්‍රමයට සමාන ක්‍රම භාවිතා කළ බවට සාක්‍ෂි පවතින බවද පෙන්වා දෙන ඇමැතිවරයා සුළු ආරවුල් ගැටලු අධිකරණ වෙත ඉදිරිපත් වීමෙන් නඩු ප්‍රමාණය වැඩිවී ප්‍රමාදය බරපතළ අයුරින් ඉහළ යන බවද පවසයි.

කොළඹ බි්‍රතාන්‍ය කවුන්සිලයේදී පැවති මෙරට සමථ මණ්ඩල ක්‍රමය ශක්තිමත් කෙරෙන ගිනි සිසිල වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව සඳහන් කළ ඇමැතිවරයා සමථ මණ්ඩල ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමය වසර ගණනාවක සිට සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇතැයිද සිහිපත් කළේය.

මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපති ඩෙන්ස් ඩායිවේ, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්. යාපා, ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහකොමසාරිස් සාරා හුල්ටන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment