සමන්ලාල් – ඩෑන් ඇතුළු 8ක් 25දා තෙක් රිමාන්ඩ්

126

ඇතැම් නිලධාරීන් ආරක්‍ෂා කරන්න විමර්ශන නිලධාරීන් වැඩ කරනවා – කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ

අරලියගහ මන්දිරය අසල හා ගාලු මුවදොර පිටියේ සාමකාමී විරෝධතාවක නිරතව සිටි පිරිසකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද්, කරන්දෙණිය සහ සීතාවක ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු 8 දෙනකු ලබන 25 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (19 දා) පස්වරුවේ නියෝග කළේය.

එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මඟහැර සාමාන්‍ය සැකකරුවන් පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට උත්සුක නොවන ලෙසත් පැවරී තිබූ රාජකාරිමය වගකීම් පැහැර හැර එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට මඟපාදා දුන් සැකකරුවන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවවාද කරමින් මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ආරක්‍ෂා කිරීමට අවශ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් වෙනත් ආකාරයකින් කටයුතු කරනා බව පෙනී යන බවත් තරාතිරම අනුව කටයුතු නොකරනා ලෙසටත් විමර්ශන නිලධාරීන්ට විවෘත අධිකරණය හමුවේදී පැවසූ මහෙස්ත්‍රාත්වරයා පුද්ගල සාධක අමතක කර නීතිපතිවරයාගෙන් වැඩිදුර උපදෙස් ලබාගෙන සැමට එරෙහිව නීතිය එකලෙස ක්‍රියාත්මක කිරීමට උත්සුක වන්නා ලෙසට ද විමර්ශන නිලධාරීන්ට අවවාද කළේය.

එකී සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විමර්ශන වාර්තා සලකා බැලූ නීතිපතිවරයා 22 දෙනකු සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නා ලෙසට පොලිසියට උපදෙස් ලබා දී දින ගණනාවක් ගත වී ඇතත් රාජකාරිමය වගකීම් පැහැර හැරීම සිදු කළ කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් එකී අපරාධවලට සම්බන්ධ තෝරු මෝරුන් අතහැර හාල්මැස්සන් පමණක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට පැවසීය. සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමට පැමිණි මැරවරයන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ගාලු මුවදොර පිටියට පිවිසීම වැළැක්වූයේ නම් රටේ එවන් අවාසනාවන්ත සිද්ධියක් ඇති නොවනා බවත් තරු පටි පැළඳ සිටිනා නමුත් රාජකාරිමය වගකීම් පැහැර හැරි නිලධාරීන් සම්බන්ධයෙන් අමුතුවෙන් විමර්ශනය කිරීමට අවශ්‍ය නොවනා බවත් සාක්‍ෂි මේ වන විටත් ඉදිරිපත් වී ඇති බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කීවේය.

එම නඩුවේ 10, 11, 12 සහ 13 වන සැකකරුවන් සිව්දෙනා ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. එම නඩුවේ 6 වන සැකකාර ඩෑන් ප්‍රියසාද් නමැත්තා මෙන්ම 7 වැනි සැකකාර මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු නමැත්තා පෙර වැරදි සහ නඩු පවතින අය බවත් අධිකරණය ලබා දී ඇති ඇප කොන්දේසි කඩ කිරීමෙන් ඔවුන් අධිකරණයට අපහාස සිදුකර ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සහ නීතිඥ දර්ශන කුරුප්පු මහතා එහිදී අධිකරණයට පැවසූහ.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති එම සැකකරුවන් සියලුදෙනාම එම පහරදීමට සහ ඒ සඳහා විවිධාකාරයෙන් සෘජුවම දායකත්වයක් දැක්වූ පිරිසක් වන බවත්, එබැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම් සලකා නොබලන ලෙසත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට කීවාය.

රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක යන මහත්වරුන් ද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. සේනාධීර යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිඥ චානක අබේවික්‍රම, අමිල පල්ලියගුරුගේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment