සමන් චන්ද්‍රනාත් වීරසිංහ විශිෂ්ට ගේය කාව්‍ය රචකයකු ලෙස අගය කළ යුත්තේ ඇයි?

396

ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු මෙන්ම ප්‍රතිභාසම්පන්න ගේය කාව්‍ය රචකයකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් මිය ගොස් මෙම මස 15 වැනි දිනට වසරක් සම්පූර්ණවීමට නියමිතය. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

පුවත්පත් කලාවේදියෙකු ලෙස ද ගේය කාව්‍ය රචකයෙකු ලෙස ද ස්වකීය මුද්‍රාව මෙරට ජනසන්තානයෙහි තැබූ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් සිය සිවුසැත්තෑ වසක් වූ දිවි සැරිය නිමාකොට මෙම මස 15වන දිනට හරියට ම වසරක් සපිරෙයි. පුවත්පත් කලාවේදියෙකු ලෙස ඔහුගේ සේවය අර්ඝනය කොට ඇත්තේ අල්ප වසයෙනි යි කිව යුතු ය. 1969 දී පමණ ඇරැඹෙන ඔහුගේ මාධ්‍ය ජීවිතය මෙරට මාධ්‍යකරුවෙකුට අනිවාර්යයෙන් මුහුණ දීමට නියමිත අභියෝගවලින් පිරී පැවතුණු එකක් විය. එබඳු අභියෝගවල දී කෙන්දක් නොවී කන්දක් මෙන් ක්‍රියා කළ මාධ්‍යවේදීන් අල්පතරයක් දෙනා අතර සමන් චන්ද්‍රනාත් වීරසිංහයෝ ද වෙත්.

තමන්ට අනභිමත දේශපාලන මතවාද හා ආකල්ප හමුවේ නිර්භයව සිය පන්හිඳ හැසිරැවීමට නොහැකි වූ විට තනතුරු, වරප්‍රසාද පසෙක ලා ඉවත් වීමත්, සුදුසු පාරිසරික තත්ත්වයන් නිර්මාණය වූ කල්හි එබඳු තැන්වලට පුනරාගමනයත් ඔහුගේ මාධ්‍ය ජීවිතයෙහි සුලබ වේ. එබැවින් සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ මාධ්‍ය මෙහෙවර වෙන ම ඇගයිය යුත්තකි.

සමන් චන්ද්‍රනාත් වීරසිංහ යන නම ඇසුණු කල්හි අපගේ ස්මරණයට වහා පිවිසෙන්නේ ඔහුගේ නිර්මාණ කාර්යය යි. රෝහිත විජේසූරිය අතින් සංගීතවත් ව සී. එල්. ෆොන්සේකා විසින් ගායනා කරන ලද “මුතුකැට මතු වුණු මහ සයුර යි” නමැති ගීතයෙන් ඇරැඹෙන සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ ගේය කාව්‍ය රචනය දශක පහකට අධික කාලයක් ජීවමානව පැවැතුණු අතර ඔහුගේ පදවලින් හැඩැවූ ගීත සමුදායක්, සුරස ගී ආස්වාද කිරීමේ කාමනාවෙන් යුක්ත මෙරට ජනයාගේ හදවත්වල අදටත් ජීවමාන වේ. මතුවටත් ඒ එසේ මය.

ඔහුගේ ගේය කාව්‍ය රචනා මුක්තාවලියෙහි අනගි මුතු කිහිපයක් සිහියට නගා ගැනුමෙන් ඒ බව තහවුරු කළ හැකි ය. ‘නාඹර ගොයමට රහස් කියාලා’ (ගුණදාස කපුගේ), ‘සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන’ (දයාරත්න රණතුංග), ‘සෙව්වන්දියකට පෙම්බැන්දා’, ‘බිඳුවක් ඉවසා අහන්න හිතවත’, ‘රුසිරු දසුනක් ඇසට යාවේ’, ‘ගංගා දියවැල් සලා’ (පුන්සිරි සොයිසා), ‘හතර වටින් කළුකර ගෙන වහින වෙලාවේ’ (සුජාතා අත්තනායක), ‘මට තනි නෑ නුඹ නාඩන් සුරතලියේ’ (ටී. එම්. ජයරත්න), ‘කවිකාරියේ සින්දු කියනා ළඳේ’ (කීර්ති පැස්කුවල් – ධම්මිකා බණ්ඩාර), ‘ලතා මඬුල්ලක් කතා කරනවා’ (එඩ්වඩ් ජයකොඩි -චන්ද්‍රානි බණ්ඩාර), ‘සඳලේකා සඳගිරි හිසින්’ (රූකාන්ත – චන්ද්‍රලේඛා) යනු සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් විසින් පබඳින ලද එබඳු ගී මුතු කිහිපයකි.

සමන් චන්ද්‍රනාත් වීරසිංහ විශිෂ්ට ගේය කාව්‍ය රචකයෙකු ලෙස අගය කළ යුත්තේ කවර හෙයින් ද? සෑම කලාවකට ම ඊට ආවේණික වූ මර්යාදා ඇත. ගීතය ද ඊට ම අනන්‍ය වූ ලක්ෂණවලින් පිරිපුන් කලාවකි. ගේය කාව්‍ය රචනය, සංගීතය හා ගායනය යන අංශත්‍රයකින් යුක්ත ගීතයෙහි මෙයින් කවර නම් අංශයක් වඩාත් ප්‍රමුඛ හා වැදගත් වේ ද යන්න පිළිබඳ වාද විවාද පවතින බව පසුගිය දශක කිහිපය තුළ ඒ අරබයා මතු වූ මත ගැටුම්වලින් විශද වෙයි.

ඒ කෙසේ වුවත් ගීතයෙහි, සංගීතය සතු ආධිපත්‍යය පිළිබඳ අභියෝග කිරීමට කිසිවෙකුටත් නොහැකි ය. මේ යථාර්ථය නිසි පරිදි අවබෝධ කොට ගෙන විශේෂයෙන් ගේය කාව්‍ය රචකයා හුදෙක් තමා කවියෙකු ය යන අභිමානය පෙරදැරි කර ගෙන හැසිරෙන කල්හි හොඳ කවි විනා හොඳ ගීත බිහි නොවනු ඇත. මේ නිසා පරිපූර්ණ ගීතයක් සඳහා කවියා අඩියක් දෙකක් ආපස්සට ගමන් කළ යුතු අතර ම ගීතය නම් මාධ්‍යය විසින් ඉල්ලා සිටින ආකෘතික ආධිපත්‍යයට නතු වෙමින් කවියෙකු ලෙස ඔහු තම උපරිම ශක්‍යතාව අත්හදා බැලුවාට කම් නැත. සමන් චන්ද්‍රනාත් වීරසිංහ විශිෂ්ට ගේය කාව්‍ය රචකයෙකු ලෙස අපගේ සම්භාවනාවට පාත්‍රවීමට හේතු වන්නේ මෙයයි.

සමන් චන්ද්‍රනාත් වීරසිංහයෝ ගීත කලාවේ අයම් විතර හොඳින් හඳුනා ගත් කලාකරුවෙකි. සියලු සුදුසුකම් සැපිරූ ඉංජිනේරුවෙකුට වඩා ගමේ සාමාන්‍ය වඩුකාර්මිකයෙකු හෝ පෙදරේරුවකු ඇතැම් කාර්යයක ශූරයෙකු වන අවස්ථා දුලබ නොවේ. ගීතයෙහි ආකෘතික සීමාවන් මැනවින් හඳුනා ගැනීමත්, ගේය කාව්‍ය රචකයාට ගීතයෙහි පැවරී ඇති භූමිකාව නිහතමානීව පිළිගැනීමත් නිසා ඔහු දායක වූ ගීත රාශියක් ම සහෘද ජන මනෝරඤ්ජනය කරමින් චිර කල් පවතින බව කිව යුතු ය. මේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ එබඳු ගීතයකි.

මෙහි සංගීත සංරචනය ෂෙල්ටන් ප්‍රේමරත්න සූරීන්ගේ ය. ගායනා කළාහු ගුණදාස කපුගේ නම් වූ ගායකයාණෝ ය.

නාඹර ගොයමට රහස් කියාලා
ළා හිරු හිනැහේ කිරණ සලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා හිනැහෙනවා
මගෙ පිය සටහන් හඳුනන ඔබෙ නෙත
හිමිදිරියේ දුටු පිය දසුනයි
කම්හල මැද වෙහෙසෙන විට ගත සිත
ඔබ ගැන මතකය මඳ පවනයි….

කවර නිර්මාණයක් වුවත් විශිෂ්ටත්වයට පත් වීමට තුඩු දෙන තවත් කරුණක් වන්නේ එහි අපූර්වත්වය යි. එනම් පෙර නොවූවිරූභාවය යි. එය ගීතය සම්බන්ධයෙන් ගත් කල සංගීතය, ගායනය හා පදමාලාව යන අංශත්‍රයෙන් ම සිදුවිය යුත්තකි. සමන් චන්ද්‍රනාත් වීරසිංහයෝ හැකි තාක් තම ගීතයට වස්තු කොට ගන්නා අත්දැකීම අපූර්ව වූ ද ඖචිත්‍යයෙන් පරිපූර්ණ වූ ද අත්දැකීමක් බවට පත් කිරීමට ප්‍රෝත්සාහී වූහ. අන් රචකයින්ගේ ඇස නොගැටුණු අනුභූතීන් නිර්මාණ සඳහා පාදක කර ගැනීමට සූක්ෂ්ම වූහ. සැබැවින් ම එය සිදු වන්නේ යොදා ගන්නා අත්දැකීමට වඩා එම අත්දැකීම පරිකල්පනය කරන ආකාරයෙනි.

මේ සඳහා දිය හැකි හොඳ නිදසුනක් වන්නේ දයාරත්න රණතුංග නම් ප්‍රාමාණික නිර්මාණකරුවා විසින් සංගීතවත් කොට ගායනා කරන ලද පහත ගීතය යි.

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මාත් ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා
නෙත් හතරක පහර වැදී
මම මේ මුල්ලේ සිටියා….

මේ වනාහි නූතන ගීතයෙහි අතිශය ජනප්‍රිය විෂය වස්තුවක් වූ ප්‍රේමය සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් ස්වකීය පරිකල්පනය ආශ්‍රය කොට ගෙන අපූර්ව නිර්මාණානුභූතියක් බවට පත් කළ අවස්ථාවකි. තුන්කොන් ප්‍රේමයක් මෙහි වර්ණිතයි. කථකයා වන ප්‍රේමවන්තයාට ප්‍රේමවන්තියන් දෙදෙනෙකුගේ ප්‍රේමාරාධනා ලැබෙයි. ඉන් එකක්වත් ප්‍රතික්ෂේප කිරීමේ ධෛර්යයක් ඔහුට නැත. මේ සරල, සුලබ අනුභූතිය සමන් චන්ද්‍රනාත් නම් කවියා ජ්‍යාමිතික සිද්ධාන්තයකට රූපක කරයි. සමපාද ත්‍රිකෝණයක පාද සමවෙයි. කෝණ ද එසේ ම ය.

ප්‍රේමයකත් සමපාද ත්‍රිකෝණයකත් වෙනස ඇත්තේ ප්‍රේමය ත්‍රිකෝණයක පාද හෝ කෝණ හෝ මෙන් සමච්ඡේදනය නො කළ හැකි වීම යි.

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ ගේය කාව්‍ය රචනා අතර වෙසෙසින් කැපී පෙනෙන නිර්මාණ වන්නේ දේශානුරාගය, දේශ වාත්සල්‍යය වස්තු කොට ගෙන කළ රචනා ය. ඔහුගේ මුල් කාලීන රචනාවලින් ප්‍රචුර සංඛ්‍යාවක් රචනා මේ ගණයට අයත් වේ. මෙයට පසුබිම් වූයේ තත්කාලීනව මෙරට ක්‍රියාත්මක වූ ඊනියා වගා සංග්‍රාමය යි. හැකි තාක් ආනයන සීමා කොට දේශීය නිෂ්පාදනය දිරි ගැන්වීමත් ඒ මගින් ආර්ථික වසයෙන් සමෘද්ධිමත් රටක් බිහි කිරීමත් එහි අරමුණ විය. ඒ වෙනුවෙන් කවි, ගීත, නවකතා ආදී නිර්මාණ තොග ගණනින්

බිහි වූ බව නොරහසකි. ඒ සඳහා නිර්මාණකරුවෙකු ලෙස සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් දායක වූ ආකාරය එකල සෑම උදෑසනක ම ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ දේශාභිමානී ගීතවලින් තහවුරු වේ. පසුගිය ආණ්ඩුවෙහි කාබනික වගාව සේ ම එකී වගා සංග්‍රාමයත් අසාර්ථක වූ නමුත් ඒ නිසා සමන් චන්ද්‍රනාත් වැනි නිර්මාණකරුවන් අතින් බිහි වූ ගීත අදටත් ජනප්‍රිය ව තිබේ. ගුවන්විදුලි නාටකයක අන්තර්ගතව තිබුණු මාලනී බුලත්සිංහලගේ රන් ස්වරයෙන් ගැයුණු සමන් චන්ද්‍රනාත්ගේ මේ ගීතය එබන්දකි.

සඳ මඬලේ සිට තරු මඬලේ සිට
දිවැස් හෙළන පුතුනේ
බලා ගන්න පුත බලා ගන්න පුත
ලස්සන ලක් දෙරණේ

පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ
හෙට උපදින පුතුටයි
කම්හල් නව නිපැයුම් නිම වන්නේ
ඒ සුරතල් පුතුටයි

ප්‍රේමය වැනි අතිශය පෞද්ගලික වස්තු විෂයයන්ට පවා වගා සංග්‍රාමය බලපෑමක් වූ ආකාරය යට සඳහන් කළ ගුණදාස කපුගේ ගායනා කළ ‘නාඹර ගොයමට රහස් කියාලා’ යන ගීතයෙන් වටහා ගත හැකි ය.

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ ගේය කාව්‍ය රචනාවල තවත් වෙසෙස් ලකුණක් වන්නේ භාෂා භාවිතය යි. කාව්‍ය රචනය සඳහා උපයුක්ත කොට ගන්නා බස් වහරත්, ගීත රචනය සඳහා උපයුක්ත කොට ගන්නා බස් වහරත් අතර වෙනස ඔහු ඉවෙන් මෙන් වටහා ගෙන සිටි සෙයක් පෙනේ. කවියෙකුට තම අත්දැකීම ප්‍රතිනිර්මාණයට ඉවහල් වේ යැයි සිතෙන කවර වචනයක් වුවද භාවිත කිරීමේ වරප්‍රසාදයක් ඇතත් ගේය කාව්‍ය රචකයාට එබඳු නිදහසක් නැත. සරල, සුගම බවත්, ගේයතා ගුණයත් සහිත භාෂා විලාසයක් ගීතය විසින් ඉල්ලා සිටිනු ලැබේ. මෙය නො අඩුව සමන් චන්ද්‍රනාත්ගේ ගීතවල දැකිය හැකි ය. ඊට ඔහුගේ සියලුම ගීත පාහේ නිදසුන් වෙතත් මෙහි වෙසෙසින් කිහිපයක් පමණක් සඳහන් කරනු කැමැත්තෙමි.

කොවුලා අමතනු නෑ මට ඇසුණේ (සුනිල් සිරිවර්ධන, මධුමාධව අරවින්ද) චාන්දනී පායලා රාත්‍රියේ (චන්ද්‍රිකා සිරිවර්ධන, ගුණදාස කපුගේ) මිදුලේ මල් සූරිය ගහ මුදුනේ (චන්ද්‍රිකා සිරිවර්ධන) බිඳුවක් ඉවසා අහන්න හිතවත (පුන්සිරි සොයිසා)

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ ගේය කාව්‍ය රචනාවල අනෙක් විශේෂත්වය නම් ඒවා ගායනාවෙන් බැහැරව ගෙන හුදු පදමාලා වසයෙන් ගත්ත ද ඒවායේ පවත්නා ජීව ගුණයයි. පුන්සිරි සොයිසා ගායනා කරන ‘එගොඩත් මෙගොඩත් ගම් යා කරලා’ නම් ගීතය ඊට නිදසුනකි. මේ සියල්ලෙන් පෙනී යන්නේ ගේය රචකයෙකු ලෙස සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ රචනා මෙරට සාමාන්‍ය ජනයා අතර පවා චිර ප්‍රසිද්ධියට පත්ව තිබීම සහේතුක බව ය. මේ සියල්ලට වඩා මනුදම් නියර නොබිඳ ඔහු ගෙවූ දැමි, දැහැමි දිවිය ද අගය කළ යුත්තකි. ගීතයක් දෙකක් ලියා ජනප්‍රිය වූ පමණින් ආකාශචාරී වන ඇතැම් වර්තමානිකයන්ට ඔහුගෙන් උකහා ගත හැකි දෑ බොහෝ ය.

● තිලක් පුෂ්පකුමාර

advertistmentadvertistment
advertistmentadvertistment