සමන් චන්ද්‍රනාත් වීරසිංහ… ඔබ ගැන මතකය මද පවනයි

708

සොඳුර මට සමුදෙන්න සමුදෙන්න
ඈත ගමේ සරු පස පෙරළන්නට
මා යනවා අද උදෑසනේ

ඩී. ඩී. ගුණසේන – ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාස

1970 දශකයේ ජාතික ගුවන් විදුලියේ ප‍්‍රබුද්ධ ගී වැඩසටහන් අතරට එකතු වූ මේ ගීතය රචනා කළේ සමන් චන්ද්‍රනාත් වීරසිංහය. එවකට දිනපතා උදේ ප‍්‍රවෘත්තිවලට පෙර 5.45 – 6.00 අතර ප‍්‍රචාරය වූ ප‍්‍රබුද්ධ ගී වල අරමුණ වූයේ පැවැති වගා සංග‍්‍රාම ව්‍යාපෘතිය මුල්කරගෙන පොදු මහත් ජනතාව අතර දේශානුරාගී හැඟීමක් ඇති කිරීමය.

ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය වූ ඔහුගේ මුල්ම ගීතය දේශාභිමානී ගීතයකි. ‘‘මුතුකැට මතුවුන මහ සයුරයි’’ නම් වූ එම ගීතය රෝහිත විජේසූරියගේ සංගීතයට ගායනා කළේ සී. එල්. ෆොන්සේකාය.

කොහොමටත් ඒ කාලේ ඉඳන්ම මගේ වඩා රුචිකත්වයක් තිබුණේ දේශාභිමානී ගීත ලියන්න.

සමන් චන්ද්‍රනාත් වීරසිංහ – දිවයින මීවිත 2020-09-13

දේශාභිමානී හැඟීමෙන් ශ‍්‍රම බළකාය අධිපේ‍්‍රෂණය කිරීම ඔහු ලියූ පේ‍්‍රම ගීතවලින්ද දක්නට ලැබිණ. ගොවි නිෂ්පාදන ආර්ථිකය සශ‍්‍රීකත්වය මත පේ‍්‍රමයේ අග‍්‍රඵල නෙළාගන්නට අපේක්‍ෂිත පේ‍්‍රමවන්තයකුගේ ප‍්‍රාර්ථනය ඔහු රචනා කළේ මෙපරිද්දෙනි.

නාඹර ගොයමට රහස් කියාලා
ළාහිරු හිනැහේ කිරණ සලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරිලතා මා අමතනවා

මගෙ පිය සටහන් හඳුනන ඔබෙ නෙත
හිමිදිරියේ දුටු සුබ දසුනයි
කම්හල මැද වෙහෙසනෙ විට ගත සිත
ඔබ ගැන මතකය මඳ පවනයි

බලාපොරොත්තුව කිරිවැදිලා හෙට
ගමේ කුඹුර මඳහස පෙන්වයි
මංගල සිරියෙන් කරල් කපන දා
හිතා ඉන්නේ ඔබෙ අත ගන්නයි

ගුණදාස කපුගේ – ෂෙල්ටන් පේ‍්‍රමරත්න

ප‍්‍රවීණ ගායන ශිල්පිනී මාලිනී බුලත්සිංහල කේවල ගායිකාවක වශයෙන් ක්‍ෂේත‍්‍රයට අවතීර්ණ වන්නේද සමන් චන්ද්‍රනාත්ගේ පද රචනයකිනි. එම ගීතය ඇතුළත් වූයේ ගුවන් විදුලි ගීත නාටකයකටය.

සඳ මඬලේ සිට තරු මඬලේ සිට
දිවැස් හෙළන පුතුනේ
බලාගන්න පුත බලාගන්න පුත
ලස්සන ලක් දෙරණේ

පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ
හෙට උපදින පුතුටයි
කම්හල් නව නිපැයුම් නිමවන්නේ
ඒ සුරතල් පුතුටයි

මාලිනී බුලත්සිංහල – ෂෙල්ටන් පේ‍්‍රමරත්න

කාර්මික, කෘෂිකාර්මික සංවර්ධනය බද්ධ කරගෙන එම ගීතය රචනා කළ සමන් චන්ද්‍රනාත් ගුවන් විදුලියේ ‘‘නව රස ධාරා’’ තේමා ගීතය රචනා කළේ ද දේශාභිමානී හැඟීම කුළුගන්වන්නටය.

සිරිලක් දෙරණේ වහල් අඳුර පිස
විමුක්තියේ රිවි කිරුළ දරා
අනාගතයේ ජය මාවත පෙරමඟ
නිදහස් අභිමන් පිබිදීලා

ආචාර්ය වික්ටර් රත්නායක – සරත් දසනායක

සමන් – සරත් දසනායක සුසංයෝගයකට මග පෑදෙන්නේ එතැන් සිටය. පසු කාලීනව සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ ගීත රචනා විජිතයේ පෙළගැසෙන පෞද්ගලික මිතුරු සමාගමය තුළ සරත් දසනායක ද සන්ධානගතව සිටියේය. ඔවුනතර වාද විවාද පෞද්ගලික අමනාපකම් පවා ඇති වුවද ඒවා පැවතියේ පැය කීපයකට පමණි. මේ අත්‍යන්ත මිත‍්‍රත්වය මත විචිත‍්‍ර චිත‍්‍රපට ගීත රැසක්ම නිර්මාණය විය. සරත් දසනායක නිෂ්පාදනය කළ ‘‘ආත්මා’’ චිත‍්‍රපටය වෙනුවෙන් සමන් ලියූ හිමරේණු වැටෙනා සීතලේ ගීතය එදා මෙන්ම අද ද ජනාභිමානයට පාත‍්‍ර වෙයි.

හිම රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රඳවා ආදරේ
සුදුසේන සුළගේ පා කළේ
ඔබ නේද මාගේ බිසෝ

රන්තෝඩු සැලෙනා රාවයේ
සිතගාව බැන්දූ මාලිගේ
රතුරෝස යහනා සෑදුවේ
මට නේද මගෙ මල්සරෝ

මේ ගීතය තුළ රචකයා මතුකරන පද රචනා වේ විචිත‍්‍රත්වයට ලද උත්තේජනය විටෙක ඔහු ආවර්ජනය කළේ මෙපරිද්දෙනි. ‘‘සරත් මේ සිංදුව ලියන වෙලාවේ මට කිව්වා මචං කෙල්ලෙක්ගෙ කනේ තියෙන තෝඩුවකට නිය පිටින් පහරක් ගැහුවොත් සද්දයක් ඇති වෙනවා නේ. අන්න ඒක ඔළුවේ තියාගෙන මේක ලියපන්. මෙන්න මේ ටියුන් එක ඇතුළේ තියලා’’.

ඉරිදා දිවයින මීවිත – 2020.09.13

එය සරත් දසනායක සමඟ චිත‍්‍රපටයකට ඔහු නිර්මාණය කළ අවසන් ගීතය විය. සරත් දසනායකගේ පුත් රංග දසනායක සමඟද ‘‘හදවත මල්යායයි’’ චිත‍්‍රපටයට සමන් ගීත රචනා කළේය. චිත‍්‍රපට පසුබිම් ගීත රචකයකු වශයෙන් ඔහු යුවතිපති අනුරාගයේ අනන්තය, අයදිමි සමා, සුදු සළු, සුජාතා, හිතවතිය, ශීලා, මේජර් සර්, දෙව්දුව, ජීවන කඳුළු, ඡායා, අංගුලිමාල ඇතුළු චිත‍්‍රපට රැසකට සිය දායකත්වය ලබා දී ඇත.

සමන් චන්ද්‍රනාත් ගීත රචකයකු ලෙස මුලින්ම අත්පොත් තබන්නේ පාසල් යන අවදියේය. එවකට පානදුරේ පැවැති භක්ති ගීත තරගයක් වෙනුවෙන් ඔහු ලියූ එම ගීතය ගායනා කළේ එවකට පාසල් ශිෂ්‍යාවක වූ නීලා වික‍්‍රමසිංහය. ඒ තරගයෙන් නීලා පළමුවැනියා විය. සමන්ගේ පළමුවැනි ගුවන්විදුලි ගීතය හැටියට පාර කැපුනේ 1971 සරල ගී වැඩ සටහනකට පුන්සිරි සොයිසා වෙනුවෙන් රචනා කළ ‘‘හෙටක් ගැන සිතාලා’’ නම් වූ ගීතයයි. එය සංගීතවත් කළේ ආර්. ඒ. චන්ද්‍රසේනය. ඊට පෙර ඔහු පුන්සිරි සොයිසාගේ සරල ගීයක් වෙනුවන් ලියූ ‘‘වේදනාවේ රුදු කුණාටුව’’ තැටි කැපී තිබුණේ නැත. සමන්ට ඥාතීත්වයක්ද ඇති පුන්සිරි සොයිසා මෙන්ම සමන් චන්ද්‍රනාත්ද එවකට පදිංචිව සිටියේ පානදුර පරත්තේය. පසුකාලීනව සමන් චන්ද්‍රනාත් පුන්සිරි වෙනුවෙන් ලියූ සෙව්වන්දියකට පෙම් බැන්දා, රුසිරු දසුනක්, බිඳුවක් ඉවසා අහන්න හිතවත, ගංගා දියවැල් ගලා වැනි ගීත රසික සහෘදයන් වැළඳ ගත්තේ ආදරයෙනි.

ගීත රචකයකු ලෙස සමන් චන්ද්‍රනාත් ඇතැම් විට උපයෝගී කරගත් රූපක හා සංකල්ප රූප ඊට පෙර හෝ පසු කිසිදු ගීත රචකයකුට හසුනොවූ මානයකින් ග‍්‍රහණය කරගත් ඒවාය.

සමකෝණී ත‍්‍රිකෝණයකි
ඔබත් මා ඇයත් තිදෙන
ඔබ එක මුල්ලක සිටියා
ඇය තව මුල්ලක සිටියා
නෙත් සතරක පහස ලබා
මම මේ මුල්ලේ සිටියා

ඔබ මගෙ ආදරය පතයි
ඇය මගෙ ආදරය පතයි
දෙන්නාටම මාත් හිතයි
ත‍්‍රිකෝණයේ පාද සමයි

සමච්ඡේදනය කරලා
දෙන්නට බෑ පෙම බෙදලා
අපි තුන්මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා

සංගීතය හා ගායනය දයාරත්න රණතුංග

ගීත රචනයක් උදෙසා මෙවන් ජ්‍යාමිතික හැඩතල භාවිත කෙරුණේ පළමුවරටය. නව මානයක වස්තුවිෂයන් පාදක කරගැනීම ශූර ගීත රචකයකු සතුවිය යුතු ප‍්‍රතිභානයකි.

පරම්පරා ත‍්‍රිත්ත්වයක ගායක ගායිකාවන් වෙනුවෙන් ඔහු ලියූ ගීත දහසකට අධික සංඛ්‍යාව අතුරින් ජනප‍්‍රිය වූ ගීත සංඛ්‍යාව අති විශාලය. මේ ඉන් නිදසුන් කීපයක් පමණි.

හතර වටින් කළුකරගෙන වහින වෙලාවේ (සුජාතා අත්තනායක) රන්ඩුවෙවී යාළුවෙවී (චන්ද්‍රිකා සිරිවර්ධන – සුනිල් සිරිවර්ධන) වාදකයාණෙනි ඔබේ සිතාරය (සුනිල් එදිරිසිංහ) චාන්දනී පායලා රාත‍්‍රියේ (චන්ද්‍රිකා සිරිවර්ධන- ගුණදාස කපුගේ) සඳලේඛා සඳගිරි හිසින් (රූකාන්ත ගුණතිලක – චන්ද්‍රලේඛා පෙරේරා) සුදු රෝසයි මූණ පුරා (ජයන්ත දිසානායක) නැව් නැගිලා ඇවිදින් මගෙ නිරිඳුන් (එඩ්වඩ් ජයකොඩි- උරේෂා රවිහාරි) වාලූකා කතරේ (නිරෝෂා විරොජිනී) කොවුලා අමතනු නෑ මට ඇසුණේ (සුනිල් සිරිවර්ධන, මදුමාධව අරවින්ද) කවිකාරියේ සිංදු කියනා ළඳේ (කීර්ති පැස්කුවල් – ධම්මිකා බණ්ඩාර) මිදුලේ මල් සූරියගහ මුදුනේ (චන්ද්‍රිකා සිරිවර්ධන) බිඳක් රැඳී අසන් ළඳේ (එච්. ආර්. ජෝතිපාල) මට තනිනෑ නුඹ නාඩන් සුරතලියේ (ටී. එම්. ජයරත්න) වරුසාවේ වලාකුළු සලාලා (කීර්ති පැස්කුවල්) සිතක කොහේ තිබුණාදෝ ආදරේ (සමිතා මුදුන්කොටුව) ලතා මඬුල්ලක් කතා කරනවා (එඩ්වඩ් ජයකොඩි – චන්ද්‍රානි ගුණවර්ධන) ආදරේ මහා සුන්දරයි කියා (රුක්මන් අසිත) සඳුනී ඇයි සුදු කොපුල් තෙමන්නේ (නලින්ද රණසිංහ)

සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගේ මේ ජනප‍්‍රිය ගීතාවලියද පරම්පරා තුනක් විනිවිද විහිද යයි. ඔහු සිය සිව්සැත්තෑ වියැති ජීවිත කාලය තුළ හැම පරම්පරාවකම හෘද ස්පන්දනය හඳුනාගන්නට සමත් රචකයෙක් බව එයින් ස්ඵුට වෙයි. සමන්ගේ ගීතයේ පවතින ෙසෙද්ධාන්තික ලක්‍ෂණ විග‍්‍රහ කරන ලාල් ආනන්ද අබේධීර එය සටහන් කළේ මෙපරිද්දෙනි.

‘‘ගීතයේ සංගීතමය නිර්මාණාත්මක අභිවහනය :((Musical Creative Performance) හඳුනාගන්නට නිහතමානී වූ සමන් චන්ද්‍රනාත් ගීතයේ ආත්මය ලෝකය සමඟ සබඳකම් සොඳුරුව වඩාගත් ගේපද රචකයෙකි. ගේයතා ගුණය යනු සංගීතයේද සාහිත්‍යයේද ඓන්ද්‍රීය බද්ධ රූපික බස බව ඔහු ප‍්‍රමුඛව හඳුනාගන්නේ සංගීතඥයාගේ කාර්යභාරය පිළිබඳව අතිශය විචක්ෂණශීලී වන්නට ලද නිසග අන්තර්ඥානය ඔහුට ලැබෙන්නේ ඔහු සම්මත ගුරුකුල වලින් සාහිත්‍ය හා කාව්‍ය විධි නොහැදෑරු ශිල්පීය සම්මුතීන් කර නොතබා ගත් ඊට නමස්කාර නොකළ අදීන මිනිසකු බැවිනි.

පෙරවදන – සඳුන ගේය පද සංග‍්‍රහය

සමන් චන්ද්‍රනාත් වීරසිංහ සමකාලීන පරපුර සමඟ මෙන්ම පසුකාලීන පරපුර සමගද පැවැත් වූයේ මිත‍්‍රශීලී ඇසුරකි.

මිතුරු සමාගම් තුළ ඔහු කී කතා පැරැණි අත්දැකීම් රසගුලාත්මක විය. යම් කාල වකවානුවල රජුන් ද ඇමැතිවරුන්ද ළඟින් ඇසුරු කළත් එයින් වරප‍්‍රසාද උකහා නොගත්තේය. අදීන බව නිසාම අවසන් කාලයේද ගත කළේ සරල ජීවිතයකි.

ගේය පද රචකයා ගේ නිර්මාණාත්මක අයිතිවාසිකම් පිළිබඳව නිරන්තර අවධානයක් යොමු කළ ඔහු ඒ උදෙසා හැකි හැම තැනකම හඬ නැගීය. ශ‍්‍රී ලාංකේය ගේය පද රචක සංගමයේ අනුශාසක වරයකු ලෙස අවශ්‍ය මග පෙන්වීම ලබා දුන්නේය.

සිය පියාගේ අඩිපාරේ යමින් පුවත්පත් කලාවේදිකු වූ ඔහු එහිලා ඉටුකළ කාර්යභාරය මෙතෙක් ඇගයීමට ලක්වී නැත. පත්තර පිටු අතර ඔහුගේ ගමන් පථය විහිදී ඇත්තේ සුවිසල් පරාසයක වුවත් ඇතැම් ආණ්ඩු ඔහුගෙන් ප‍්‍රයෝජන රැගෙන දැහැටි දඬුවක් මෙන් පැත්තකට දැමීය. එහෙත් අදීන පුවත්පත් කලාවේදියෙක් ලෙස ගත් තීන්දු තීරණ සමග නොසැලී මරනය තෙක්ම ඔහු ජීවත්වූයේ ආත්මාභිමානයකිනි.

සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගේ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් ගී මෙහෙවර වෙනුවෙන් ඇගයීමකට ලක්විය යුතුය.

මෙම මස 15 වැනිදා ඔහු අප අතරින් සමුගෙන ගියද ඔහුගෙ පිය සටහන් හඳුනන අප අතර ඔහු ගැන මතකය නිරතුරුවම හමායන මද පවනක්මය.

නිලාර් එන්. කාසිම්
සම සභාපති
ශ‍්‍රී ලාංකේය ගේයපද රචක සංගමය

සමන් චන්ද්‍රනාත් වීරසිංහ... ඔබ ගැන මතකය මද  පවනයි
advertistmentadvertistment
advertistmentadvertistment