සමරිසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවෙන් සුපිරි තීන්දුවක්

419

ශ්‍රී ලංකාවේ ජීවත් වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව ගැන වැඩි අවධානයක් මේ දිනවල යොමු වී ඇති බව දැකිය හැකිය. පසුගිය මාස කිහිපය තුළ සිදුවූ දේශපාලනික වෙනස්කම්වලට බලපෑ මහජන සහභාගීත්වය තුළ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජා නියෝජනය විවිධ අවස්ථාවන්වලදී දක්නට ලැබුණි. පැවති සාකච්ඡා, මාධ්‍ය හමු, පෙළපාලි වැනි සෑම අවස්ථාවකටම විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන්ට අරාධනා ලැබුණු අතර, දේශපාලනික හා සමාජමය ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය අදහස් දැක්වීම්වලදී ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම හා ඔවුන්ගේ මතවලට ගරු කිරීමක් දක්නට ලැබුණි.

පැවති පාලන ක්‍රමය වෙනස් කිරීමට දායක වූ විවිධ ලිංගික අනන්‍යතා සහිත කණ්ඩායම් ඉල්ලා සිටි ප්‍රධාන කරුණු දෙකක් වූයේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 අ වගන්ති ඇතුළු සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට බලපාන නීති වෙනස් කිරීම සහ පුද්ගලයන්ගේ කැමැත්ත හා අනන්‍යතාවය මත පදනම්ව සිදුකෙරෙන කොන්කොට සැලකීම් හා වෙනස්කොට සැලකීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. මෙවැනි තත්ත්වයක් පවතින පසුබිමක, පසුගිය සතියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 අ වගන්ති සංශෝධනය කිරීමට කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණි. මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ඔහු විසින් පහත දැක්වෙන කරුණු අවධානයට යොමු කර තිබුණි. වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික හා තමන්ගේ ලිංගික දිශානතිය හෝ අනන්‍යතාව කුමක්දැයි හඳුනා නොගත් (LGBTIQ) යන ලිංගික දිශානතීන් (Sexual Orientation) හා අනන්‍යතාවන්ගෙන් (Identities) යුත් පුද්ගලයන් ලෙස හඳුනාගැනීමට හැකි බව, ලිංගික දිශානතීන් සහ අනන්‍යතාවන් මත පුද්ගලයන් දණ්ඩනයට ලක් කීරීම වික්ටෝරියානු යුගයේදී යටත් විජිතවාදී නීති පද්ධතින් මගින් ලොව පුරා ව්‍යාප්ත කර ඇති බව, පසුකලකදී බටහිර රටවල් ඇතුළු බොහෝ රටවල් මෙලෙස ලිංගික දිශානතීන් සහ ලිංගික අනන්‍යතාවන් මත පුද්ගලයන් දණ්ඩනයට ලක්කිරීම එම පුද්ගලයන්ගේ අයිතිවාසිකම් මත සිදුකරනු ලබන දැඩි අසාධාරණ ක්‍රියාවන් බව අවබෝධ කරගත් අතර ඉන් අනතුරුව එකී දණ්ඩන වගන්ති ඉවත් කිරීම සිදුකළ බව, මෑත කාලීනව ආසියානු රටවල් ද එලෙස වෙනස් ලිංගික දිශානතීන්ගෙන් සහ ලිංගික අනන්‍යතාවන්ගෙන් යුත් පුද්ගලයන් දණ්ඩනයට ලක් කිරීම නැතහොත් ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීම පිළිබඳව නීති වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බව,

ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයන් ඉහත නීති මත පදනම්ව අත්අඩංගුවට ගැනීම, ශාරීරික හා මානසික වධ හිංසාවලට ලක්වීම මෙන්ම සමහර අවස්ථාවලදී අමානුෂික හා කෲර සහගත ලෙස සැලකිය හැකි වෛද්‍යමය පරීක්ෂණවලට පවා ලක් කෙරෙන බව, විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව රාජ්‍ය ආයතන, නීතිය පසිඳලන ස්ථාන මෙන්ම වෙනත් ස්ථානවලදී දැඩි හිංසනයට හා අපයෝජනයට ලක්වන බව, ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් ඔහු විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 අ වගන්ති සංශෝධනය කිරීමට කෙටුම්පතක් ඉදිරිපත් කරන්නේ වැඩිහිටි පුද්ගලයන් අතර කැමැත්තෙන් සිදුවෙන ආදරණීයමය, ලිංගිකමය සහ අධ්‍යාත්මික සම්බන්ධතාවන් නීතිය මගින් පාලනයට ලක් කළ යුතු හෝ දඬුවම් ලබානොදිය යුතු දෙයක්ය යන මතයේ සිටය. අන්තර්ජාතික මනෝ විද්‍යා සංගමය, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ශ්‍රී ලංකාවේ විද්වත් මනෝ චිකිත්සකවරුන්ගේ සංගමය පවා තහවුරු කර ඇති පරිදි සමරිසි පුද්ගලයකු හෝ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයකු වීම අතිශයින්ම සාමාන්‍ය තත්ත්වයක් නිසා තවදුරටත් නීතිය මගින් එම පුද්ගලයන් අපරාධකරුවන් හෝ දඬුවමට ලක් කළ යුතු පුද්ගලයන් ලෙස සැලකීම හරහා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් උල්ලංඝනය වනවාය යන පදනම මත පිහිටාය.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ වගන්තිය සෘජුවම සමරිසි පුද්ගලයන් ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබේ. එම වගන්ති මගින් තැනැත්තන් අතර සිදුවන තදබල අශෝබන ක්‍රියා යන යෙදුමට නීතිමය නිර්වචනයක් නොමැති වීම මත පදනම්ව 1883 දී දණ්ඩ නීති සංග්‍රහය හඳුන්වා දුන් දා සිට සමරිසි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, පොලිස් හිංසනයට ලක්වීම, අධිකරණයට පැමිණවීම සිදු වී ඇත. ඊටත් වඩා බරපතළ ප්‍රශ්නයක් වන්නේ පුරුෂයන් දෙදෙනකු හෝ කාන්තාවන් දෙදෙනකු අතර සිදුවන සම්බන්ධතාවක් අශෝබන ද නැද්ද යන්න තීරණය කිරීමට නීතිය මගින් පොලිසියට බලය පවරා දී තිබීමයි. පසුගිය කාල සීමාව තුළ සමහර අත්අඩංගුවට ගැනීම් හා වැටලීම්වලදී පොලිසිය විසින් හැසිරුණු ආකාරය සහ නීතිය ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් අර්ථකථනය කිරීම සම්බන්ධව ඕනෑ තරම් උදාහරණ අපට තිබේ. එකිනෙකාට ආදරය කරන සමරිසි පුද්ගලයන් දෙදෙනකු අත් අල්ලන් සිටියද අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ වගන්තිය මගින් පවරා ඇත්තේ මෙම තදබල අශෝබන ක්‍රියා යන්නට නිවැරදි නිර්වචනයක් සොයාගැනීමට නොහැකි වීම නිසාය. ඉහත කරුණු මත පදනම්ව දොලවත්ත මන්ත්‍රීවරයා විසින් යෝජනා කරන කෙටුම්පත මගින් ඉල්ලා සිටින්නේ වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයෙක්ට තවත් වයස අවුරුදු 16 සම්පූර්ණ වූ පුද්ගලයකු සමග ආදරණීය සම්බන්ධතාවක් හෝ ලිංගිකමය සම්බන්ධතාවක් පවත්වා ගැනීම නීතිමය බාධාවක් නොවිය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව වයස අවුරුදු 16 සම්පූර්ණ වූ පුද්ගලයකු වැඩිහිටියකු ලෙස සලකන අතර එම නිසා වැඩිහිටි පුද්ගලයන් අතර සිදුවන ලිංගිකමය සම්බන්ධතා පාලනය කිරීමට හෝ වාරණයට ලක් කිරීමට නීතියට නොහැකි බව මෙම කෙටුම්පත සාරංශ කිරීමේදී අප විසින් අවබෝධ කරගත යුතුව තිබේ. විවිධ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජය තුළ පවතින පසුගාමී අදහස්, වැරදි ආකල්ප, වෛරය, භීතිකාව යනාදී සියල්ලටම අවශ්‍ය පදනම මෙවැනි යල්පැන ගිය නීති මගින් සපයන නිසා මෙම නීති ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බව දොලවත්ත මහතා විශ්වාස කරයි. සමරිසිභාවය නීතිමය වශයෙන් වැරැද්දක් යැයි සැලකූ බොහෝ රටවල් මේ වනවිට ඔවුන්ගේ දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කිරීම හා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ මගින්’ සමරිසිභාවය නිර් අපරාධීකරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ජීවත්වන සමරිසි පුද්ගලයන් වැරදිකරුවන් ලෙස සලකන දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ වගන්ති හා සමානවම වගන්ති තිබූ ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය පවා 2018 වර්ෂයේදී ඉවත් කෙරුණි. මීට අමතරව බෞද්ධ සංස්කෘතියක් පවතින ආසියානු රටක් වන තායිවානය සමරිසි පුද්ගලයන්ට එරෙහිව පැවති නීති ඉවත් කිරීම පමණක් නොව සමරිසි පුද්ගලයන් ට විවාහ වීමට හැකිවන ලෙස පවා ඔවුන්ගේ නීති වෙනස් කර ඇත.පසුගිය සතියේදී සිංගප්පූරුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් සමරිසිභාවය නිර් අපරාධීකරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගත් අතර තායිලන්තය හා ජපානය සමරිසි විවාහ සමානාත්වය ලබාගැනීම සඳහා අධිකරණමය ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මෙම සියලුම රටවල් බෞද්ධ පසුබිමක් තිබෙන රටවල් වීම විශේෂයෙන් සැලකිය යුත්තේ තවමත් ශ්‍රී ලාංකික සමහරුන් සමරිසි වීම බුදු දහමට අනුව පවක් ය යන මිත්‍යා අදහස වපුරමින් සිටින පසුබිමක් තුළය.

ශ්‍රී ලංකාවට දණ්ඩ නීති සංග්‍රහය හඳුන්වා දුන් සහ,’ නිදහස් ලිංගික සම්බන්ධතා පැවති අතීත ශ්‍රී ලංකා සමාජ ක්‍රමය සම්පූර්ණයෙන් කනපිට පෙරලූ බ්‍රිතාන්‍ය ජාතිකයන් පවා 1967 වර්ෂය වන විට ඔවුන්ගේ රටේ සමරිසි පුද්ගලයන්ට එරෙහිව පැවති නීති වෙනස් කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.

තුෂාර මනෝජ්
සභාපති – ඉක්විටි ශ්‍රී ලංකා

advertistmentadvertistment
advertistmentadvertistment