සමස්ත රාජ්‍ය සේවයට බාධාවක් නොවන ලෙස හෙද ඉල්ලීම් ලබා දෙන්න

153

වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය තමා ඉහළින්ම අගයන බවත් රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (17දා) උපදෙස් දුන්නේය.

දැඩි අසීරුතා මැද වුව ද ජනවාරි මාසයේ සිට සියලූම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට පියවර ගැනිණ. එක් පිරිසකට ඉල්ලීම් ලබාදීමේ දී තවත් පිරිසක් නැවත ඉල්ලීම් කරති. එහෙත් පවතින මූල්‍ය අර්බුදය මැද සියලූ ඉල්ලීම් සලකා බැලීම කළ නොහැකි බව සියලූදෙනා අවබෝධ කරගත යුතු කරුණකි. එම නිසා සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෙසු ආයතන සමග සාකච්ඡුා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

සමස්ත රාජ්‍ය සේවයට බාධාවක් නොවන ලෙස හෙද  ඉල්ලීම් ලබා දෙන්න

හෙද විශ්වවිද්‍යාලය ඇරඹීම, දෙවන ශ්‍රේණියේ සිට පළවන ශ්‍රේණියට උසස්කිරීම් පෙර දාතමින් සිදු කිරීම, පැය 36ක්ව පවතින රාජකාරී කාලය සතියට දින 05ක රාජකාරියක් ලෙස පැය 30ක් ලෙස සැලකීම, වෛද්‍ය වෘත්තිකයන්ට ලබාදෙන රුපියල් 35,000ක ෘ්ඔ දීමනාව සමානුපාතිකව යෝජිත රුපියල් 10,000 දීමනාව, නිල ඇඳුම් දීමනා චක‍්‍රලේඛය නිකුත් කිරීම සහ මූලික වැටුපෙන් 1/100 රේට් අගයක් මත අමතර සේවා දීමනාව යන හෙද වෘත්තීය ඉල්ලීම් මෙහිදී සාකච්ඡුාවට ලක් කෙරිණ.

උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එතෙක් හෙද විද්‍යාල එකතු කර ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය සෙසු කටයුතු ඉදිරියට කරගෙන යෑමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට උපදෙස් දුන්නේය. අපේ‍්‍රල් මස ඇතුළත උසස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, මැයි මාසය අවසන් වීමට පෙර හෙද විශ්වවිද්‍යාලය ඇරඹීමටත් කටයුතු කරන බව සම්පත් අමරතුංග මහතා පැවසීය.

II ශේණියේ සිට I ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් සිදු කිරීමටත් නිල ඇඳුම් දීමනාව ලබාදීමටත් අවශ්‍ය කටයුතු සලසන මෙන් සෞඛ්‍ය සහ මුදල් ලේකම්වරුන්ට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් ලේකම් එස්. ආර්. ආටිගල, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලූක්ෂාන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් හිරන්සා කලූතන්ත‍්‍රී, ජාතික වැටුප් කොමිසමේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න යන මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment