සමස්ත ලංකා තක්කඩි සංගමය

1853

ලෝක ඉතිහාසය විසින් මනුෂ්‍ය වර්ගයාට කියාදී ඇති අගනා ආර්ථික විද්‍යා පාඩම් කිහිපයක් තිබේ. එවැනි එක් පාඩමකට අනුව ජාතික ආපදාවක් පවතින අවස්ථාවලදී ප්‍රධාන පංති දෙකක් එයින් ලාභ ලබති. ඉන් පළමුවැනි ජන කොට්ඨාසය දේශපාලනඥයාය. දෙවැනි කොටස සිල්ලර වෙළෙන්දාය. මේ දිනවල මේ රටේ පවත්නා ආර්ථික අර්බුදයට අනුව සිල්ලර වෙළෙන්දා විසින් කූට ලෙසත් නීච ලෙසත් කාලකණ්ණි ලෙසත් ලාභ ලැබූ හැටි අපි දුටුවෙමු. උදාහරණයක් ලෙස රටේ සීනි හිඟයක් පවතින මේ මොහොතේදී සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 400 ක් වී තිබේ. ඒ අනුව කිරි තේ එකක් රුපියල් 150 ට වත් දීමට සිල්ලර වෙළෙන්දා කැමතිය. පසුගිය කාලය තුළ පෙට්‍රල් ඉන්ධනය තුන් ගුණයකින් වැඩිවිය. ඒ අතර ත්‍රීවීලර් ගාස්තුව හය ගුණයකින් වැඩි විය. වෙනදා රුපියල් 100 ට දිවූ හයරය අද ත්‍රීවීල් කාරයන් දුවන්නේ රුපියල් 500 ට හෝ රුපියල් 600 ට ය. මේ රටේ ත්‍රිරෝද රථ රියැදුරා කොතරම් අවස්ථාවාදී තක්කඩියෙක් ද යන්න මෙවර තෙල් අර්බුදයේදී හෙළිවිය. මේ දිනවල ත්‍රිරෝද රථ රියැදුරෝ හයර් දිවීමෙන් වැළකී සිටිති.

ඒ වෙනුවට ඔවුන් කරන්නේ පෙට්‍රල් ෂෙඩ් එකෙන් රුපියල් 450 ට හෝ රුපියල් 470 ට ලබා ගන්නා තෙල් ලීටරය රුපියල් 2500 ට විකිණීමය. ඇතැම් විට පෙට්‍රල් ලීටරයක ත්‍රීවීල් මිල රුපියල් 3000 කි. මේ නිසා හයර් දුවනවාට වඩා තෙල් ලීටරය බැගින් දෛනිකව විකුණා දවස පුරා කුද ගසාගෙන නිදා ගැනීමට අනගි අවස්ථාවක් ත්‍රීවීලර් කාරයන්ට ලැබී තිබේ. සාමාන්‍යයෙන් මේ රටට මාසික පරිභෝජනය සඳහා තෙල් නැව් 22 ක් අවශ්‍යය. එහෙත් ජුනි මාසයේදී තෙල් නැව් 29 ක් රට තුළට ගෙනෙන ලදී. ඒ තෙල් නැව් 29 ඉන්ධන පිරවුම්හල් වලට බෙදා දීමෙන් පසුත් තෙල් පෝලිම් හෙලවෙන්නේවත් නැත. තෙල් පෝලිම්වල වැඩියෙන්ම ඉන්නේ ත්‍රිරෝද රථ රියැදුරන්ය. මෙය සමස්ත ලංකා තක්කඩි සංගමයේ සාමාජිකත්වය ගත්තාක් හා සමාන වැඩකි. මේ ගැන ඉතිරි කතාව මෙසේය.

දැනට තිබෙන තෙල් හිඟයේදී අවශ්‍ය හැම කෙනකුටම සමසේ තෙල් බෙදීමට හැකිවන පරිදි වැඩ පිළිවෙළක් බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලදී. මේ වූකලී QR APP එකක් හඳුන්වා දීමය. QR යනු Quick Response යන වචනය වෙනුවට පෙනී සිටින අකුරු දෙකයි. මේ APP එක යටතේ රෙජිස්ටර් වන කෙනකු පෙට්‍රල් ෂෙඩ් එකෙන් කොපමණ තෙල් ගසාගෙන ඇත්ද යන්න සොයා ගැනීමට පුළුවන. මේ APP එක ක්‍රියාත්මක වන්නේ SMART දුරකථන ඔස්සේය. රෙජිස්ටර් වීමෙන් පසු SMART දුරකථනයක් අතේ තබා ගැනීමේ වුවමනාව ඉන්ධන පාරිභෝගිකයාට අවශ්‍ය වන්නේ නැත. ඔහුට අවශ්‍ය වන්නේ ස්වකීය වාහනයේ අංකය චැසි නම්බරය සහ QR ඛේතය සහිත PHOTO COPY යක් පමණි. මෙය ෆොටෝකොපි මැෂින් එකක් ඇති ඕනෑම කමියුනිකේෂන් සෙන්ටර් එකකින් ලබා ගැනීමට පුළුවන. ඒ යෝජනාව ගෙනා සැණින් රක්ෂණ සමාගම් එයට විරුද්ධ බවට ආරංචියක් පැතිර ගියේය. විරෝධයට හේතුව මෙසේය. ඉන්ධන පිරවුම්හල් තුළ ජංගම දුරකථන පාවිච්චි කිරීම තහනම්ය. එයට හේතුව ඉන්ධන පිරවුම්හල් භූමිය තුළ වාෂ්පීකරණය වූ ඉන්ධන බහුලව ඇති බැවින් ජංගම දුරකථනයක් ක්‍රියාත්මක කරන විට හටගන්නා ක්ෂුද්‍ර විද්‍යුත් පුලිඟුව (Electric Spark) එක මගින් ගින්නක් හටගැනීමට ඇති ඉඩ කඩය. නීතිය හරියටම ක්‍රියාත්මක වන්නේ නම් වාහනයකට ඉන්ධන පොම්ප කරන අවස්ථාවේදී වාහනයේ එන්ජිම Off කළ යුතුය. එයට හේතුව වාහන එන්ජිමේ ඇති පුලිඟු පේනු (Sparking Plug) මගින් නිකුත් වන ක්ෂුද්‍ර ගිනි පුලිඟු නිසා ෂෙඩ් එකට ගිනි ඇවිලීමට ඉඩ තිබීමය.

සැබෑ තත්ත්වය මෙය නම් වාහනයකට තෙල් ගසන්නට ෂෙඩ් එකට එන විට කළ යුතුව ඇත්තේ ෂෙඩ් එකට මීටර් 500 ක් පමණ ඈතින් වාහනයේ එන්ජිම නවත්වා ෂෙඩ් එක වෙත වාහනය තල්ලුකරගෙන ඒමය. මෙසේ නොකළොත් න්‍යායාත්මක වශයෙන් ෂෙඩ් එක ගිනි ගැනීමට ඉඩ තිබේ. ෂෙඩ් එක ගිනි ගැනීමේ අවදානම නිසා රක්ෂණ සමාගම් QR APP එකට විරුද්ධ වූ බව ප්‍රචාරය විය. එහෙත් එවැනි විරෝධයක් තමන් තුළ කිසිසේත්ම නැති බව රක්ෂණ සමාගම් සම්මේලනය මේ වන විට ප්‍රසිද්ධ නිවේදනයක් මගින් කියා ඇත.

එසේ නම් APP එකට කට්ටිය විරුද්ධ ඇයි? මෙය තනිකරම තක්කඩි පෙට්‍රල් ෂෙඩ්කාරයන්ගේ මගඩියකි. ෂෙඩ් එකට එන තෙල් ප්‍රමාණය, එයින් කොතරම් ප්‍රමාණයක් අලෙවි කරන ලද්දේද, ෂෙඩ් එකේ ඉතිරි තෙල් ප්‍රමාණය කොපමණද යන සියල්ල APP එක නිසා සොයා ගැනීමට ඛනිජ තෙල් සංස්ථාවට පුළුවන. මේ අනුව තව දුරටත් බ්ලැක් මාර්කට් මිලට හොරෙන් තෙල් විකිණීමේ අවස්ථාව ෂෙඩ් එකට අහිමි වෙයි. මේ අතර තවත් වැදගත් ආරංචියක් ලැබී තිබේ. එනම් APP එක ක්‍රියාකරවීම සඳහා තමන් සතුව ස්මාර්ට් ෆෝන් නැති නිසා ස්මාර්ට් ෆෝන් ලබාදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිතුමා හදිසියේ කියා සිටීමය. අප දන්නා පරිදි පෙට්‍රල් ෂෙඩ් එකක් ලාභ උපදවන මෝලකි. ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ෂෙඩ් හිමියන්ගෙන් 85% ටම බෙන්ස් කාර් සහ මොන්ටෙරෝ ඇත. ඉතිං මේ මිනිස්සුන්ට ස්මාර්ට් ෆෝන් එකක් ගැනීමට මුදල් නැති බව කීම විහිළු කතාවකට වඩා බූරු කතාවකි. ඉන්ධන බෙදීම විධිමත් කරවන QRAPP එක බලහත්කාරයෙන් හෝ ක්‍රියාත්මක කරවීමේ වගකීම ආණ්ඩුව සතුය. ගෝඨාභය ඇඹරුණු ඇඹරිල්ල රනිල් ඇඹරෙන්න ගියොත් වැඩේ නැවත වරක් වණ වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment