පීතර මිනිස්සුන්ට ඇලජික් චරිතයක් – සරත් කොතලාවල

271

එයා දැන් බැඳලා අදින් ඉවරයි….
මම කැමැතිම ගයිඩ් නළුවා මහේන්ද්‍ර පෙරේරා…..

සමහරු මූණ සමතලා වෙන්න ගහනවා කියලත් පෝස්ට් දාලා….

සිරි, සුද්දි, පීතර, මහී, කුරුල්ලා මේ දිනවල අපේ සමාජයේ හරි ජනප්‍රිය චරිත. ප්‍රසන්න ජයකොඩිගේ ‘එයා දැන් බැඳලා‘ ටෙලිනාට්‍යය හරහා කරළියට ආ මේ චරිත ගැන අපේ රටේ මිනිස්සු විවිධ කතිකාවන් ගොඩනඟලා තියෙනවා. ඇත්තටම අවුරුදු දහඅටකට පසුව රූපවාහිනියට ගොඩවුණු අධ්‍යක්‍ෂවරයෙක් චරිත හතරක් එක්ක මෙරට යූටියුබ් ටේ‍රන්ඩින් එකක් පවා හදනවා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉතිං අපි හිතුවා ඔයගොල්ලො මේ දවස්වල හරි හරියට බණින අපහාස කරන වගේම චෝදනා කරන පීතර (සරත් කොතලාවල) එක්ක ටිකක් කතාබහ කරන්න. මොකද දන්නවද? ඔයාල හැමෝටම අදින් පස්සේ පීතරව ආපහු රූපවාහිනියෙන් දකින්න හම්බවෙන්නේ නෑ. මොකද දන්නවාද? ‘එයා දැන් බැඳලා. ටෙලිනාට්‍යය අදින් අවසන් වෙනවා.

පීතර මිනිස්සුන්ට ඇලජික් චරිතයක් - සරත් කොතලාවල

● පීතරට ලැබෙන ආමන්ත්‍රණය මොන වගේද?

මම හිතනවා චරිතය කරපු එකේ යම්කිසි සාර්ථක අසාර්ථකභාවයක් තීරණය කරන්න පුළුවන් ප්‍රේක්‍ෂකයෝ එක්ක කියලා. චරිතයට සෑහෙන බණිනවා. මූණටත් බැනල යනවා. හැබැයි ඉතිං රඟපෑම ගැන හැම කෙනාම වගේ වෙනමම කතා කරනවා. මම හිතන්නේ පීතර කියන්නේ බැණුම් අහනම චරිතයක් කියලා. ඒක සාමාන්‍යයෙන් මේ සිස්ටම් එකේ තියෙන” යහපත් ජීවිතයක් ගතකරන මිනිස්සුන්ට ඇලජික් චරිතයක්.

● මගතොටේදි පීතර හින්ද බැණුම් අහලා තියෙනවාද?

ඔව්” ඔව් ඔයත් එක්ක කතා කරන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම ඔයා හරි නරකයි කියලත් කියනවා. වැඩිපුරම කියන්නේ ගෑනු උදවිය තමයි. සමහරු මුහුණු පොතේ දාල තියෙනවා” මුහුණ සමතලා වෙන්න ගහනවා කියලත්. පීතර කියන්නේ හරි අපූරු චරිතයක්. කට්ටිය ඒකට එල්බගෙනම ඉන්නවා.

● යාළුවෝ තුන්දෙනෙක් හා නිළියක් යූටියුබ් එකේ ටේ‍රන්ඩින් වීම ගැන මොකද හිතන්නේ?

මම කියන්නේ ලංකාවට අවශ්‍ය ඔය හැඩයේ නාට්‍ය. ඒ කියන්නේ කොටස් 30 නාට්‍ය. ඒක මාර වටිනවා. මිනිස්සුන්ට කලින් කාලාන්තරයක් අවසන් නොවෙන ක්‍ෂිතිජය වගේ තියෙන නාට්‍ය නරඹලා එපාවෙලා තියෙන්නේ. නාට්‍ය මිනිස්සු බලනවා තමයි. නමුත් නිතරම මිනිස්සුන්ට මුණගැසෙන්නේ අවසානයක් නැති නාට්‍ය නේ. ඉස්සර එහෙම නෑ වෙනස් ටෙලි නාට්‍ය තිබුණා. මිනිස්සු ඒවා රසවින්දා ‘එයා දැන් බැඳලා. හොඳ තැනකට එන්න හේතුව ප්‍රසන්න ජයකොඩිගේ ලියැවිල්ල සහ ඔහුගේ අධ්‍යක්‍ෂණය. ඒ වගේම අනෙකුත් නිෂ්පාදන කාර්ය මණ්ඩලය.

● පීතරගේ චරිතයට ඇත්තටම කාගෙන්ද වැඩිපුර සහයෝගය ලැබුණේ.

විශේෂයෙන් මගේ චරිතයට භාගයට භාගයක් වගකියන්න ඕනෑ වේෂ නිරූපණ ශිල්පි ප්‍රේමලාල් ලියනගේ. ඔහු තමයි මගේ ‘ද නිවුස්පේපර්. චිත්‍රපටයෙත් වේෂ නිරූපණය කරන්නේ. ඔහු මේ සඳහා මාර කැපකිරීමක් කළා. රැවුල එහෙම ගෙතුවෙත් ඔහුමයි. මම හිතන්නේ මිනුම් ගන්නම දවස් ගාණක් විතර අපේ ගෙදරට ආවා.

● ඔය රැවුලයි කොණ්ඩෙයි හදන්න කොච්චර කාලයක් ගියාද?

පළමුවැනි දවසේ නම් පැය තුනක් විතර ගියා. අන්තිමේ අපි කොහොම හරි කාලය කළමනාකරණය කරගෙන පැය භාගයක් ඇතුළත වගේ චරිතය නිර්මාණය කරගත්තා.

● පීතර වගේ චරිත මුණගැහිලා තියෙනවාද?

ඔව්. එයා වෙන මානසික තලයක ඉන්න කෙනෙක්. මගේ අදහසුත් එකතු කරලා ප්‍රසන්න තමයි පීතරට අවශ්‍ය හැඩය නිර්මාණය කළේ. ප්‍රධාන වශයෙන්ම අපිව ඒකට ඇද බැඳලා තියාගත්තේ මහේන්ද්‍ර අයියා. මායි මහේන්ද්‍රයි එක කාමරයේ හිටියේ. සේමිණි හිටියේ අපිට එහා පැත්තේ කාමරේ. අපි මාසයයි දවස් දහයක කාලයක් එකට හිටියේ. කොරෝනා හින්දා එක බබල් එකක් විදිහට හිටියේ. ඒක තමයි මේක මේ තරම් සාර්ථක වෙන්න හේතුව.

පීතර මිනිස්සුන්ට ඇලජික් චරිතයක් - සරත් කොතලාවල

● සිරි ගැනත් කතා නොකරම යන්න බැහැනේ?

මහේන්ද්‍ර අයියා තමයි අපිට මාරම විදිහට සපෝර්ට් කළේ. ඔහු තමයි අපේ එතැන හිටපු ජ්‍යෙෂ්ඨයා. මම ලංකාවෙ කැමැතිම ගයිඩ් නළුවා මහේන්ද්‍ර පෙරේරා.

● සුද්දි ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

මම 28 චිත්‍රපටයේ හිටියේ ඩ්‍රයිවර්ගේ චරිතයට. ඉතිං ඊට පෙර චරිතයක් තමයි ‘එයා දැන් බැඳලා‘ හි රඟපාන්නේ. සුද්දි කියන්නේ වචනයෙන් දෙකෙන් කතාකරන්න බැරි ලොකු විෂයයක්. අපේ සිස්ටම් එක ඇතුළේ ගැහැනියකට තියෙන තත්ත්වය මොකක්ද? ඉතා බැරෑරුම් විදිහට ප්‍රසන්න ප්‍රශ්න කරනවා. සමහරවිට ටෙලිවිෂන් මාධ්‍යයෙන් කතා කරන්න බැරි මාතෘකාවක් ඔහු ඉතා සූක්‍ෂ්මව මෙතැනට ගේනවා. මේක තියෙන්නේ පිටපතේම තමයි. අනික අධ්‍යක්‍ෂවරයා අපේ චරිත සහ සිද්ධි පිටිපස්සේ දැවැන්ත සෙවණැල්ලක් වගේ අරක්ගෙන හිටියා. ඔහුට දැක්මක් තිබුණා. ටාගට් එකක් තිබුණා. ඒකට අපිව ලස්සනට මෙහෙයවූවා. අනික අපි ටීම් එකක් විදිහට වැඩ කළේ. අපිට ඕනෑ වුණේ නිර්මාණය උස්සන්න විතරයි. මමත් පෞද්ගලිකව අධ්‍යක්‍ෂවරයාට විතරයි රඟපාන්නේ. මම වෙන කාටවත් රඟපාන්නේ නැහැ. මම රඟපෑවොත් මගේ නිර්මාණයක් වෙනවානේ. මම හැම තිස්සේම බලන්නේ අනුන්ගේ නිර්මාණයකට ගියහම අධ්‍යක්‍ෂවරයාට රඟපාන්න. පීතර් කියන චරිතය යට ඉන්නේ ප්‍රසන්න.

● අද පීතර අපිව දාල යනවා නේද?

නාට්‍යය අද අවසන් වෙනවා. කොටස් 27යි. ඒක ප්‍රේක්‍ෂකයන්ට තමයි දැනෙන්නේ. හැබැයි ඉතිං අවුලක් වෙන එකකුත් නැහැ. ඊට පස්සෙත් අපේම කෙනකුගේ හොඳ නාට්‍යයක් එන්නේ. ජගත් මනුවර්ණගේ ‘කොඩිගහ යට‘ කියන ටෙලි නාට්‍යය ආපහු අලුත් අත්දැකීමක් වෙයි. මම කියන්නේ ඒකයි, කොටස් 30, 40 නාට්‍ය තමයි වුවමනා. ප්‍රේක්‍ෂකයාට අලුත් අලුත් අත්දැකීම් විඳගන්න පුළුවන්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment