සම්පත් බැංකුව විශ්වාසයෙන් යුතුව වත්මන් ආර්ථික අර්බුදය හමුවේ කටයුතු කරනු ලබයි

168
සම්පත් බැංකු පීඑල්සී හි සභාපති හර්ෂ අමරසේකර මහතා (වම), සම්පත් බැංකු පීඑල්සීහි කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා (දකුණ)

සම්පත් බැංකුව 2022 වර්ෂයේ පළමු අර්ධය තුළදී විවිධ ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද අඛණ්ඩව සිය ශක්තිමත් ප්‍රාග්ධන පසුබිම හා ස්ථාවර ද්‍රවශීලතාවය පවත්වා ගැනීමට සමත් විය.

බැංකුව සිය ශක්තිමත් බව හා තිරසාර බව මැනවින් විදහා දක්වමින් සුපරීක්ෂාකාරී ලෙස හා නිරන්තර අවධානයෙන් යුතුව වර්තමාන ආර්ථික ගැටළු හඳුනා ගැනීමට සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අඛණ්ඩව කටයුතු කරනු ලබයි. ඒ අනුව තව දුරටත් විදේශ මුදල් ද්‍රවශීලතාවය ඉහල නංවා ගැනීම සඳහා අභ්‍යන්තර ප්‍රේෂණ හා අපනයන ආදායම් ගලා ඒම දිරිමත් කිරීම ප්‍රවර්ධනය කිරීමට බැංකුව කටයුතු කරන ලදී. පවතින ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක් වූ සියලුම පාර්ශ්වකරුවන්ට එම තත්වයෙන් මිදීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාමට අඛණ්ඩව සහයෝගය ලබා දීමට බැංකුව කටයුතු කරන ලදී.

පවතින දැඩි ආර්ථික ව්‍යාකූලත්වය මධ්‍යයේ වුවද 2022 ජූනි මස 30 න් අවසන් වන කාලඡේදය සඳහා සම්පත් බැංකුව රුපියල් බිලියන 7.1ක බදු පසු ලාභයක්ද, රුපියල් බිලියන 9ක බදු පෙර ලාභයක්ද වාර්තා කිරීමට සමත් වූ අතර 2021 වසරේ පළමු අර්ධය හා සැසඳීමේදී එය පිළිවෙලින් 0.3%ක සුළු ඉහල යාමක් හා 5.5%ක පහළ යාමක් විය. සමූහය සඳහා මෙය රුපියල් බිලියන 7.4ක බදු පසු ලාභයක්ද රුපියල් බිලියන 9.6ක බදු පෙර ලාභයක්ද ලෙස වාර්තා කළ අතර මෙය 2021 වර්ෂයේ පළමු අර්ධය හා සැසඳීමේදී පිළිවෙලින් 2%ක හා 5.5%ක පහළ යාමකි.

බැංකුවේ මුළු පොලී ආදායම 2022 වර්ෂයේ පළමු අර්ධය තුළදී රුපියල් බිලියන 59.2ක් වූ අතර එය පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා වාර්තා කළ රුපියල් බිලියන 41.9 සමග සැසඳීමේදී 41.1%ක වර්ධනයකි. 2022 වසරේ පළමු අර්ධය තුළදී වෙළෙඳපොල පොලී අනුපාතයන් ඉහල යාම මෙලෙස මෙම පොලී ආදායම සැලකිය යුතු ලෙස ඉහල යාම කෙරෙහි බලපාන ලදී. වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදය අවසානයේ වාර්තා වූ සාමාන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) 22.62%ක් වූ අතර එය 2021 ජූනි මස 30 වන දිනට වාර්තා කරන ලද අගය හා සැසඳීමේදී පදනම් ලකුණු 1,711ක ඉහල යාමකි. තවද දැනට පවතින සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය 2021 වර්ෂය අවසානයේ පැවති අගයට වඩා පදනම් ලකුණු 1,401කින් වැඩිවී ඇත. මීට අමතරව භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතය 2021 ජූනි මස 30 වන දිනට සාපේක්ෂව 2022 ජූනි 30 වන විට පදනම් ලකුණු 1,861කින් ඉහල ගොස් 23.84%ක් ලෙස වාර්තා කරන ලදී.

පොලී අනුපාතයන් ඉහල යාමේ ප්‍රවණතාවයන් හෙතුවෙන් පොලී වියදමද පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 22.6%කින් ඉහල ගොස් ඇත. වාර්තා කරනු ලබන කාලපරිච්ඡේදය සඳහා බැංකුවේ මුළු පොලී වියදම රුපියල් බිලියන 27.8ක් වූ අතර එය 2021 වර්ෂයේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 22.7ක් විය. කෙසේ වෙතත් බැංකුවේ විචක්ෂණශීලී වත්කම් හා වගකීම් කළමනාකරණය හේතුවෙන් 2022 වර්ෂයේ පළමු අර්ධය සඳහා ශුද්ධ පොලී ආදායම 63%ක වර්ධනයක් ළඟා කර ගැනීමට සමත් විය. මෙම ප්‍රවණතාවය ශුද්ධ පොලී ආන්තිකය පදනම් ලකුණු 124කින් ඉහල යාම තුලින් පිළිබිඹු විය.

2022 වර්ෂයේ පළමු අර්ධය තුළදී සම්පත් බැංකුවේ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම පෙර වර්ෂයේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී 69.9%ක වර්ධනයක් අත්පත් කර ගන්නා ලදී. මෙම ආදායම ණය හා අත්තිකාරම්, ණය කාඩ්පත්, වෙළෙඳාම් හා විද්‍යුත් නාලිකා යන අංශවලින් සමන්විත වේ. සලකා බලනු ලබන කාලපරිච්ඡේදය තුළදී කාඩ්පත් ආශ්‍රිත ව්‍යාපාර පරිමාව ඉහල යාමත් වෙළෙඳාම් ආශ්‍රිත මෙහෙයුම් ගාස්තු හා කොමිස් ආදායම් ඉහල යාමත් මෙම ආදායමේ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු විය.

2022 පළමු අර්ධය තුළ ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 16ක් දක්වා ඉහල ගොස් ඇති අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් බිලියන 3.4ට සාපේක්ෂව 378%ක වර්ධනයකි. මේ සඳහා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 80%කින් අවප්‍රමාණය වීම ප්‍රධාන වශයෙන් හේතු විය. මීට අමතරව බැංකුව පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයේදී වාර්තා කළ වෙළෙඳ ලාභය වූ රුපියල් මිලියන 46ට සාපේක්ෂව මෙම වර්ෂයේ සලකා බලනු ලබන කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 2.5ක වෙළෙඳ අලාභයක් වාර්තා කරන ලදී. මුළු විදේශ විනිමය ආදායම 2021 වර්ෂයේ පළමු අර්ධය තුළදී වාර්තා කළ රුපියල් බිලියන 3ට සාපේක්ෂව 2022 වසරේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 13ක් ලෙස වාර්තා කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment