සම්බාධකවලට බියෙන් රුසියානු ධනකුවේරයා චෙල්සි පාපන්දු කණ්ඩායම විකුණයි

509

රෝමන් ඇම්බ්‍රෝවිට්ච් රුසියානු ධනකුවේරයෙකි. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 12 ඉක්මවයි. රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය ආරම්භ කර දින කිහිපයක් ඉක්මයද්දී මේ ධනකුවේරයා නිවේදනය කළේ තමා සතු එංගලන්ත ප‍්‍රිමියර් ලීග් චෙල්සි පාපන්දු කණ්ඩායම විකුණා දමන බවය. ඇමෙරිකාව ඇතුළු බටහිර ලෝකයම රුසියාවට පමණක් නොව රුසියානු ධනපතීන්ටත් සම්බාධක පැනවීමට කටයුතු කරන බව නිවේදනය කර ඇති නිසා ඉක්මනින්ම චෙල්සි කණ්ඩායම විකුණා දැමීමට ඇම්බ්‍රෝවිට්ච් සුදානම් වේ. චෙල්සි පාපන්දු කණ්ඩායමේ වටිනාකම පවුම් බිලියන තුනකි. චෙල්සි වෙබ් අඩවියට ප‍්‍රකාශයක් නිකුත් කරමින් ව්‍යාපාරික ඇම්බ්‍රෝවිට්ච් කියා සිටියේ තම කණ්ඩායම විකිණීම ‘‘ඇදහිය නොහැකි තරම් දුෂ්කර තීරණයක්” බවයි. රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමෙන් පසු චෙල්සියේ ‘‘භාරකාරත්වය සහ රැකවරණය” එහි පදනම් භාරකරුවන්ට ලබා දෙන බව ඇම්බ්‍රෝවිට්ච් පසුගිය සෙනසුරාදා ප‍්‍රකාශ කර තිබුණි. 55 හැවිරිදි ඇම්බ්‍රෝවිට්ච් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ දැඩි සබඳතා පවත්වන බව ප‍්‍රකට නමුත් ඔහු මේ කතාව ප‍්‍රතික්ෂේප කරයි.

චෙල්සි කණ්ඩායම ‘‘විකිණීමෙන් ලැබෙන සියලූම ශුද්ධ ආදායම” ‘යුක්රේන යුද්ධයේ වින්දිතයන්’ වෙනුවෙන් පරිත්‍යාග කරන බව ඇම්බ්‍රෝවිට්ච් කියයි.

ඔහු 2003 දී මෙම පාපන්දු කණ්ඩායම මිලදී ගත්තේ පවුම් මිලියන 140 කටය. රුසියානු ප‍්‍රකෝටිපතියන් රැසක් දැනටමත් යුරෝපීය සංගමයේ සම්බාධකවලට යටත් වී ඇති අතර එනිසා ඔවුන්ගේ වත්කම් අත්හිටුවා ඇත.

රුසියාව යුක්රේනයේ පාලනයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කළ විට බටහිර ලෝකය මොස්කව් පාලනයට එරෙහිව සම්බාධක පනවන්නට උත්සුක වූවා සේම විවිධ ජාත්‍යන්තර ක‍්‍රීඩා සංවිධාන රුසියානු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සම්බාධක පැනවීමට පටන්ගෙන තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුසියානු සහ බෙලරුසියානු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ඉසව්වලට සහභාගි වීම වළක්වාලන ලෙස ඉල්ලා ඇති අතර ලබන සැප්තැම්බර් 25 වන දින සෝචි හි පැවැත්වීමට නියමිත රුසියානු ග‍්‍රෑන්ඞ් ප‍්‍රී තරගාවලිය පසුගිය සතියේ අවලංගු කරන ලදී. ලෝක රග්බි සම්මේලනය රුසියාවේ රග්බි සංගමයේ සාමාජිකත්වය අත්හිටුවා ඇත. නැවත දැනුම් දෙනතුරු රුසියානු කණ්ඩායමකට කිසිදු ජාත්‍යන්තර රග්බි තරගයකට සහභාගි වීම තහනම් කර තිබේ. 2022 බීජිං හි පැවැත්වෙන ශීත ඍතු පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී රුසියානු සහ බෙලරුසියානු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මධ්‍යස්ථ ක‍්‍රීඩකයන් ලෙස සහභාගි වීමට අවසර දෙන බව ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටුව පසුගිය බදාදා නිවේදනය කළේය. ඔවුන් පැරාලිම්පික් ධජය යටතේ තරග වදින අතර රටේ නමින් පදක්කම් සටහනට ඇතුළත් නොවන බව පැරාලිම්පික් කමිටුව පවසයි. රුසියානු නියෝජිත පිරිස සියලූම නිල උත්සව සහ ක‍්‍රීඩා තරගවලදී ඔවුන්ගේ නිල ඇඳුමේ රුසියානු සංකේතය ආවරණය කළ යුතු වේ. බෙලරුස් නියෝජිතයන් සියලූම නිල උත්සව සහ ක‍්‍රීඩා තරගවලදී ඔවුන්ගේ නිල ඇඳුමේ බෙලරුස් ධජ ආවරණය කළ යුතුය. තමන්ගේ රටේ ධජය යටතේ තරගවැදීමට ඉඩ නොලැබීම ඛේදයකි. එනිසාම මේ ක‍්‍රීඩකයන් ඔලිම්පික් තරගාවලියට සහභාගි නොවනු ඇත. මොස්කව් පාලනය විසින් යුක්රේනය ආක‍්‍රමණය කළ නිසා රුසියානු ක‍්‍රීඩකයන් ජාත්‍යන්තර තරග වලින් බැහැර කිරීම ”අසාධාරණ විසඳුමක්” බව හිටපු ෆෝමියුලා වන් රියැදුරු ඩැනිල් ක්වියට් පවසයි. 27 හැවිරිදි ඩැනිල් පැවසුවේ ”ක‍්‍රීඩාවට දේශපාලනඥයන් ගාවා ගත යුතු නැති බවත් රුසියානු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග තහනම් කිරීම, ක‍්‍රීඩාව හරහා සැමට උගන්වන ‘‘එකමුතුකම සහ සාමය’’ ගුණාංග වලට පටහැනි බව ඔහු කියයි. මේ අතර ලෝක බොක්සිං ශූරයන්ගේ සිට පාපන්දු තරු දක්වා, ඉහළ පෙළේ යුක්රේන ක‍්‍රීඩකයන් රුසියානු ආක‍්‍රමණයට එරෙහිව ආයුධ අතට ගැනීමට පවා සුදානම් බව ප‍්‍රකාශ කර තිබේ. රුසියාව ආක‍්‍රමණය කිරීමටත් පෙර සිටම වත්මන් කිව් නගරාධිපති වන හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූර විටාලි ක්ලිට්ෂ්කෝ පවසා තිබුණේ රුසියානු ආක‍්‍රමණයට එරෙහිව තමන් අවි අතට ගැනීමට සූදානම් බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment