සම්බුද්ධ ශාසනයට පුන්සඳක් වූ ශීලෝපේත – ගුණෝපේත යතිවරයාණෝ

154

2003 මහා බෝධිය වටා දෙවන රන්වැට ස්ථාපනය
මහාවිහාරයේ පානීය ජල ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳයි
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව ලේඛනාගාරයක් හා පුස්තකාලයක්
රුවන්වැලි සෑයේ අක්කර පහක් පමණ වන සළපතල මළුව ප්‍රතිසංස්කරණය

(අනුරාධපුර අටමස්ථානාධිපති සද්ධම්මජෝතිකධජ ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාසාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ උතුරුමධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේ අපත්වීම නිමිත්තෙනි.)

“යො හවෙ දහරො භික්ඛු යුඤ්ජති බුද්ධසාසනෙ
සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්දිමා”

යම් භික්ෂුවක් බුද්ධ ශාසනයේ මනා කොට හැසිරේ නම් හෙතෙම වළාපටලින් මිදුණු පුන්සඳක් මෙන් ලොව ඒකාන්තයෙන් බබළවන්නේය යන බුදු වදන පසක් කරමින් තම ජීවිතය මෙම උතුම් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කැප කළ මහා යතිවරයාණන් වහන්සේ නමක් වූ අටමස්ථානාධිපති වැඩ විසූ උතුරුමධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධම්මජෝතිකධජ ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ ද ඉහත බුද්ධ දේශනාවට අනුව කටයුතු කළ ශාසන ශෝභන සංඝනේතෘවරයාණන් වහන්සේ නමක් ලෙස ශ්‍රී ලංකා ද්වීපයේ පමණක් නොව දේශ දේශාන්තරවල පවා ගෞරව බහුමාන පූජාභිවන්දනයට පාත්‍ර වූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ශීලෝපේත, ගුණෝපේත යතිවර ස්මීන්ද්‍රයාණන් වහන්සේ නමකි.

උන්වහන්සේ මෙතෙක් අටමස්ථානාධිපති තනතුර දැරූ බෝමළු පරම්පරාවේ දහවැනි අටමස්ථානාධිපතීන් වහන්සේ වූහ. උන්වහන්සේගේ ජීවන ප්‍රවෘත්තිය මතු ශාසන පරම්පරාවන්ට පරමාදර්ශී චරිතාලේඛයක් වන බැවින් ද ආදර්ශවත් මාර්ගෝපදේශයක් ලෙසින් හා උන්වහන්සේට කෘතවේදී පුණ්‍යානුමෝදනයක් වශයෙන් ද මෙහි පළ කරම්හ.

අප නාහිමිපාණන් වහන්සේගේ ජන්මලාභය 1953 දී මාතලේ වගපනහ පල්ලේසිය පත්තුවේ පල්ලේගම ග්‍රාමයේ දී සිදු වී ඇත. පියතුමා කරුණාසිංහ මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩා නිළමේ තුමාය. මව්තුමිය වූයේ දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමිය. නාහිමියන්ගේ ගිහි නාමය වූයේ කරුණාසිංහ මුදියන්සේලාගේ ජයතිලකය. මෙම කුමරුවා එම පවුලේ වැඩිමහල් පුත්‍ර රත්නය විය. කිතුල්හිටියාව රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ජයතිලක කුල කුමරු 1968 මැයි මාසයේ දී උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පල්ලේගම සිරිනිවාස නමින් ඇතුළත් වී ඇත.

අනතුරුව සිරිනිවාස හිමියෝ මූලික බණ දහම් අනුරාධපුර මහාවිහාර පිරිවෙණෙන් ඉගෙන උසස් අධ්‍යාපනය හැදෑරීමට කොළඹ මාළිගාකන්ද විද්‍යොදය මහ පිරිවෙණට ද සඳලංකාවේ ශාස්ත්‍රෝදය මහ පිරිවෙණට හා හුණුපිටිය ගංගාරාමයේ ජිනරතන පිරිවෙණට ද ඇතුළත් වී ඇත. උන්වහන්සේගේ උපසම්පදා පුණ්‍යකර්මය 1975 මල්වතු මහා විහාරයේ දී සිදු කර ඇත. ඉන්පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමට 1983 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ඇති අප නාහිමිපාණන් වහන්සේ එහි දී පුරාවිද්‍යාව, සිංහල හා බෞද්ධ දර්ශනය යන විෂයයන් හදාරා ශාස්ත්‍රවේදී උපාධිය 1988 දී ලබාගත්හ.

පැවිදි ජීවිතය ආරම්භයේ සිටම ඉතා අල්පේච්ඡ පැවිදි දිවියක් ගත කළ උන්වහන්සේ අටමස්ථානයේ දියුණුව සඳහා ඇපකැප වී කටයුතු කළේ ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවමින් ය. මුල් අවධියේ දී මෙම හිමියන් රුවන්වැලි සෑ විහාරස්ථානයේ වැඩ විසූ අතර රුවන්වැලි සෑයේ අක්කර පහක් පමණ වන සළපතල ම`ඵව ප්‍රතිසංස්කරණය කිරීමේ දී වෙහෙස මහන්සිය නොබලා තම ශරීර ශක්තිය කැප කරමින් කටයුතු කර ඇත. උසට සරිලන මහතින් හා රන්වන් පැහැයෙන් යුත් ඡවි වර්ණයෙන් ද, ආරෝහ පරිණාහ දේහ සම්පත්තියකින් ද පිරිපුන් අප නාහිමිපාණන් වහන්සේ සංයත කථා විලාසයෙන් ද, හමුවන කවුරු වුව ද ප්‍රසාදයට පත් වන නිහතමානී ගුණයෙන් ද පිරිපුන් යතිවරයෙකි.

සම්බුද්ධ ශාසනයට පුන්සඳක් වූ ශීලෝපේත - ගුණෝපේත යතිවරයාණෝ

උන්වහන්සේගේ මෙම කැපවීම මනා ලෙස නිරීක්‍ෂණය කළ එවකට සිටි අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ ඇතුළු අනෙක් නාහිමිවරු සිරිනිවාස හිමියන්ගේ උසස් හැකියාව, අනලස්භාවය හා නායකත්වය ගැන මහත් විශ්වාසයෙන් කටයුතු කළහ. ඉන්පසු නොබෝ කලකින් මිරිසවැටිය විහාරස්ථානයේ විහාරාධිකාරීන් වහන්සේ ලෙස එවකට අටමස්ථානාධිපතිව වැඩ විසූ පූජ්‍ය පල්ලේගම ඤාණරතන නාහිමිපාණන් වහන්සේ විසින් පත් කරන්නට යෙදුනි. එහි සංවර්ධනය උදෙසා වර්ෂ කීපයක් කටයුතු සිදු කරමින් සිටින විට

අභයගිරි විහාරාධිපතීන් වහන්සේ ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ පූජ්‍ය පෙරිමියන්කුලමේ උපතිස්ස හිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් 1994 වසරේ දී අභයගිරි විහාරාධිකාරීන් වහන්සේ ලෙස පත් කර ඇත. එහි අවුරුද්දක පමණ කාලයක් එහි සංවර්ධනය උදෙසා කටයුතු සිදුකරමින් සිටින විට රුවන්වැලි මහසෑයේ විහාරාධිකාරී වූ පූජ්‍ය ඇතිනිමලේ ගුණරතන නාහිමිපාණන් වහන්සේ හදිසියේ 1995 මාර්තු 08 වන දින අපවත්වීම නිසා 1995 ජුනි 01 දින සිට සිරිනිවාස නාහිමියන් රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරී ලෙස පත් කර ඇති අතර එදින සිට මහත් භාරදූර ස්ථානයක වැඩකටයුතු ආරම්භ කිරීමට සිදුවිය. රුවන්වැලි සෑයට වැඩම කළ අප නායක ස්වාමීන් වහන්සේ එහි සංවර්ධන කටයුතුවල මහත් කැපවීමෙන් නියැලුණහ. ශ්‍රී මහා බෝධියට පමණක් දෙවැනි වූ රුවන්වැලි මහාසෑයේ විහාරාධිකාරී ලෙස පත්වීම ලැබීම නිසා ස්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු මහා විහාරයෙන් 1995 වසරේ දී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය හිමි වූ අතර, ‘පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස’ නම් ගෞරව නාමයෙන් ද පිදුම් ලැබූහ.

ඉන් අනතුරුව නොසිතූ අවස්ථාවක අටමස්ථානාධිපතිව වැඩ විසූ පූජ්‍ය පල්ලේගම ඤාණරතන නායක ස්වාමීන් වහන්සේ අපවත්වීම නිසා අටමස්ථාන කාරක සභාවේ අනුමැතිය පරිදි 1997 ජූලි 05 වෙනිදා පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේ වශයෙන් පත්වීම ලැබූහ. අටමස්ථානයේ දසවෙනි නායක තෙරුන්වහන්සේ වශයෙන් ශ්‍රී ලංකාවේ නායක තෙරුන් වහන්සේලා අතර සම්භාවනීය ධුරයකට උරුමකම් ලැබූ අප නායක ස්වාමින් වහන්සේට මෙතෙක් ඉටු කළ කාර්යභාරය තවත් වේගවත් කිරීමට හැකි වූයේ උන්වහන්සේගේ දුරදක්නා නුවණ, අප්‍රතිහත ධෛර්යය හා උපතින්ම ලැබූ වාසනා බල මහිමය නිසා ය.

ජීවමාන බුදුරදුන් ලෙස ලොව සියලු ම බෞද්ධයන්ගේ අපමණ සම්භාවනාවට පාත්‍ර වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භාරකාරත්වය උසුලන අප නායක ස්වාමින් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ චිරස්ථිතිය සඳහා නව වැඩ පිළිවෙළක් අවශ්‍ය බව පසක් කරගෙන සිටියහ.

මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ වැඩවිසූ යටිරාවන නාරද නාහිමියන්ගේ මග පෙන්වීම අනුව 1969 දී ජය ශ්‍රී මහා බෝධිය වටා පළමුවන රන්වැට ස්ථාපනය කරන ලදී. එම අවස්ථාවේ දී තරුණ භික්ෂුවක් වශයෙන් පිරිත් දේශනයට සහභාගි වූ සිරිනිවාස ස්වාමීන් ්වහන්සේ ඊට පහළ ම`ඵවේ ඇති යකඩ වැට වෙනුවට දෙවන රන්වැටක් පිහිටුවිය යුතු බව සනිටුහන් කර ගත්හ.

ඉහත සඳහන් අදහස පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මාසයේ දී “රන්වැට ප්‍රතිෂ්ඨාපන සමිතිය පිහිටවනු ලැබීය. එහෙත් එම සමිතියෙන් සෑහෙන ප්‍රගතියක් අත් නොවූ අතර නව රජයක් පිහිටුවීමෙන් පසු 2002 ජනවාරි මස 26 වෙනි දින එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අටමස්ථානාධිපති නාහිමියන් බැහැ දැකීමට පැමිණියේ ය. එම අවස්ථාව උපයෝගී කරගත් නායක ස්වාමීන් වහන්සේ පවතින යකඩ වැට වෙනුවට ශ්‍රී මහා බෝධිය වටා දෙවන රන්වැටක් නිර්මාණය කිරීමේ වැදගත්කම අගමැතිවරයාට පැහැදිලි කළේ ය. එම යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ අගමැතිතුමා ‘අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රන්වැට අරමුදල’ නමින් ශක්තිමත් අරමුදලක් පිහිටුවීමට ද, එහි සභාපතිවරයා වශයෙන් කීර්තිමත් රාජ්‍ය නිලධාරියකු වූ හිටපු ජනාධිපති ලේකම් කේ. එච්. ජේ. විජයදාස මහතාගේ සේවය ලබා දීමට ද කැමැත්ත පළ කළේ ය. ඒ අනුව 2002 වසරේ මැයි මස දී නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විජයදාස මහතාගේ සභාපතිත්වයෙන් ‘අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රන්වැට අරමුදල’ නමින් ප්‍රබල සමිතියක් පිහිටුවන ලදී. 2002 වර්ෂයේ දී නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම අරමුදල පිහිටුවීම ජය ශ්‍රී මහා බෝධියේ මෑත කාලීන සංවර්ධනයේ හැරවුම් ලක්ෂය බවට පත්වි ය. 2006 වර්ෂයේ අංක 41 දරණ පනත අනුව ‘අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි රන්වැට අරමුදල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල’ නමින් පාර්ලිමේන්තු පනතකින් සංස්ථාගත කිරීම නිසා අරමුදලේ සියලුම කාර්යයන් නීත්‍යනුකූලව හා විනිවිදභාවයෙන් ඉටු කිරීමට හැකි විය.

නාහිමිපාණන් වහන්සේගේ පළමු අවශ්‍යතාව වූ ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා දෙවන රන්වැට ඉදිකිරීම 2002 වර්ෂයේ මැයි මස 23 වෙනිදා ආරම්භ වූ අතර 2003 මැයි 24 වෙනිදා දෙවැනි රන්වැට අති උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදී. දෙවන රන්වැට ඉදිකිරීමට විශාල මුදලක් වැය වුව ද මනා සකසුරුවම්කමින් වැය කිරීම නිසා ද ජනතා විශ්වාසය නිසා ලැබුණු පරිත්‍යාග නිසා ද තවත් රුපියල් මිලියන 30 ට වැඩි ප්‍රමාණයක් රන්වැට අරමුදලේ ඉතිරි විය. ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය පරිදි මාස්පතා රැස්වෙන අතර, උන්වහන්සේගේ මග පෙන්වීම අනුව ලොකු කුඩා සංවර්ධන කටයුතු මහත් රාශියක් ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සිදුකර ඇත.

දෙවන රන්වැට උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් පසු සිදු කළ විශාල ම කර්මාන්තය වූයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය විහාර ප්‍රාකාරය නැවත ඉදි කිරීම ය. නාහිමියන්ගේ උපදෙස් පරිදි ප්‍රාකාරය වඩාත් අලංකාර ලෙස ගොඩනැගීම සඳහා සියලු කටයුතු සම්පාදනය කළේ ය. මෙතෙක් කල් කුඩාවට තිබූ දේවාල මළුව අඩි 4 1/2 කින් පුළුල් කර අඩි 14 ක පමණ උසකින් කළුගලින් තනන ලදී. මේ සඳහා අවශ්‍ය පියගැටපේළි පහක් කළු ගලින් නිර්මාණය වූ අතර, ප්‍රාකාරයට අවශ්‍ය කොරවක් ගල්, පුන්කලස්, පුන්කලස් ස්ථම්භ, මුරගල් හා සඳකඩපහන් ආදිය අනුරාධපුර යුගයේ පැරණි කලාශිල්ප අනුව ම ප්‍රති නිර්මාණය කරන ලදී. ඉපැරණි පුරාවිද්‍යා සාක්ෂ්‍ය අනුව ලංකාවට උරුම වූ බෞද්ධ ගරාදි වැට, වලාකුළු බැම්ම වෙනුවට ප්‍රාකාරය වටා ඉදිකිරීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය වඩාත් ඔපවත් කරමින් ඉදිකරවූ මෙම අලංකාර විහාර ප්‍රාකාරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිමානවත් ලෙස ප්‍රදර්ශනය වීමට හේතු සාධක වී තිබේ.

නායක ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සිදු කළ අතිමහත් සංවර්ධන කටයුතු සැකෙවින් මෙසේ සඳහන් කිරීම උන්වහන්සේට කරන ගෞරවයක් ලෙස සලකමි. ඒ අනුව 2004 ඔක්තෝබර් මස නව ධර්ම ශාලාවට මුල්ගල තැබූ අතර, වර්ග අඩි 25,000 පමණ වූ මෙම ධර්ම ශාලාවට රුපියල් මිලියන 100 ක් පමණ වැය කරන ලදී. බැතිමතුන් 10000 ට පමණ රැස්විය හැකිය. දළඳා පෙරහැර අටමස්ථානය ආශ්‍රිත ඉතා වැදගත් පෙරහැරකි. හේමමාලා කුමරිය හා දන්ත කුමරු තුන්වන සියවසේ දී දළදා වහන්සේ ගෙන එන ලද්දේ අනුරාධපුරයට ය. එතැන් සිට සියවස් අටක් පමණ ශ්‍රී දළදා වහන්සේ අනුරාධපුරයේ වැඩ සිටියහ. එම අරමුණ පෙරදැරි කරගෙන පැරණි චාරිත්‍රානුකූලව පැවැත්වෙන දළඳා පෙරහැර සඳහා උඩමළුව වටා පෙරහැර මාවත 2004 වර්ෂයේ දී ඉදිකරන ලදී. ශ්‍රී මහා බෝධි ප්‍රාකාරය වටා සුදු යකඩ හා රන් ආලේපිත පිත්තලවලින් දොරටු 05 ක් ඉදිකර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව මැනවින් තහවුරු කරන ලදී.

එසේම බෝධීන් වහන්සේ වටා පිහිටි සත් සති ගෙවල් පහක් නැවත නිර්මාණය කිරීමෙන් බෝමළු පරිසරය වඩාත් ආකර්ශනීය පුද බිමක් බවට පත් කිරීමට හැකි විය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළ ඇති විහාර ගෙයට නෙළුම් මල් හැඩයට කැටයම් කළ රන් පැහැති පිත්තල සිවිලිමක් සවි කිරීමට හැකි වූ අතර එයට සාපේක්ෂව විහාර ගෙයි බිම ටයිල් අතුරා දර්ශනීය ස්ථානයක් ලෙස සකස් කිරීමට උන්වහන්සේට හැකි වූ අතර විහාර මන්දිරය ආලෝක කිරීම ද එයට සාපේක්ෂව සිදු කරන ලදී.

මෑත කාලයේ සිදු කළ ඉහත සඳහන් කාර්යයන්ට අමතර ව නාහිමියන්ට මහා විහාරයේ කැපී පෙනෙන අඩුපාඩුවක් නිරීක්‍ෂණය විය. එනම් දෙස් විදෙස්වලින් වැඩම කරන මහා සංඝයා ඇතුළු ආගන්තුක සංඝයා වහන්සේට නේවාසික පහසුකම් සඳහා කාමර ද, ඒ සමඟම සාකච්ඡා ශාලාවක්, ලේඛනාගාරයක් හා පුස්තකාලයක් සහිත අංග සම්පූර්ණ දෙමහල් සංඝාවාස ඉදි කළ යුතු බව ය. මේ සඳහා පැරණි ගෘහ නිර්මාණයන්ට මූලිකත්වය ලබා දෙමින් එකම ස්වරූපයෙන් සංඝාවාස ත්‍රිත්වයක් නිර්මාණය කර ඇත. සියලු ම පුරාවිද්‍යා නිර්ණායකයන්ට අනුකූලව පැරණි පංචාවාස ගෘහ නිර්මාණ ශිල්පය අනුව යමින් නිර්මාණය වූ මෙම අලංකාර සංඝාවාසයන්ගේ වැඩකටයුතු 2016 වර්ෂයේ දී අවසන් විය.

තවත් විශාල ව්‍යාපෘතියක් වන්නේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිටත ප්‍රාකාරය සංරක්ෂණය කිරීම ය. මෙම පිටත ප්‍රාකාරය දෙවන රාජසිංහ රජු (1748-1782) අවධියේ නිර්මාණය කරන ලද්දේ බෝධීන් වහන්සේගේ දළු කෑමට පැමිණෙන වල් අලීන්ගෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂාකර ගැනීම පිණිස ය. එවකට වන්නියේ දිසාව වශයෙන් රාජසිංහ රජු විසින් ඉතා උසස් සිවිල් තනතුරකට පත්කර සිටි ඉලුපැන්දෙණියේ අත්ථදස්සි හිමියන් විසින් මීට අවුරුදු 250 කට පෙර මෙම ප්‍රාකාරය තනවන ලදී. එය බොහෝ කාලයක් ගරා වැටී තිබුණ අතර, ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ අලංකාරයට මහත් බාධාවක් විය. දිගින් මීටර 376 ක් වූ මෙම මහා ගල් ප්‍රාකාරය පළල මීටර 2.2 ක් හා උස මීටර 3 කි. මෙම ප්‍රාකාරය සංරක්ෂණය කිරීමට නායක ස්වමීන් වහන්සේ ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල සමඟ ක්‍රියාත්මක වූ අතර 2011 ජුනි මස 09 වෙනි දින සුබ මොහොතින් වැඩ ආරම්භ කරන ලදී. දැනට මෙම ප්‍රාකාරය පුරාවිද්‍යා නියමයන්ට අනුකූල ව මහත් පරිශ්‍රමයෙන් සංරක්ෂණය කර ඇත. එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය අනුරාධපුරය ලෝක උරුමයක් ලෙස නම්කර ඇති බැවින් පෞරාණිකත්වය වෙනස් නොවන පරිදි සංරක්ෂණය කර ඇති පිටත ප්‍රාකාරය පරිසරයට ඉතා අලංකාර හා ගාම්භීර දසුනක් ලබා දෙයි.

2019 වර්ෂයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආධාරක කණු රන් ආලේප කිරීම, පළමු රන්වැට හා දෙවන රන්වැට එකම පැහැයෙන් යළි ප්‍රතිනිර්මාණය කිරීම, බෝධීන් වහන්සේගේ උතුරු හා දකුණු මල් ආසන සඳහා අලුත් මල් ආසන ඉදිකිරීම, පිත්තලෙන් වාත්තු කර ක්‍රෝමියම් ප්ලේට් කළ පහන් ගෙවල් දෙකක් නැවත ඉදිකිරීම, පහන් ගෙවල්වල පොල්තෙල් තැන්පත් කිරීම සඳහා මල නොබැඳෙන සුදු යකඩ ටැංකි ඉදිකිරීම ආදී නවකම් රැසක් සිදු කරන ලදී.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහායෙන් උඩමළුව වැසි වතුරෙන් යටවීමේ ප්‍රශ්නය විසඳීම සිදු කළ අතර මහාවිහාරයේ පානීය ජල ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳා ඇත. අවුරුදු සිය ගණනක් පැරණි ලිපි ලේඛන මහාවිහාරය සතු ව ඇතිමුත් ඒවා මෙතෙක් කල් පැවතියේ ඉතා අනාරක්ෂිතව හා අපිළිවෙලට ය. නායක ස්වාමින් වහන්සේගේ උත්සාහයෙන් ලේඛනාරක්ෂක කටයුතු පිළිබඳ වෘත්තීය දැනුමක් ඇති නිලධාරීන්ගේ සේවය ලබාගෙන දැනට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව ලේඛනාගාරයක් හා පුස්තකාලයක් පිහිටුවා ඇත. මෙම ලේඛනාගාරය හා පුස්තකාලය වර්තමානයේ මෙන් ම අනාගතයේ මහාවිහාරයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව හදාරණ විද්වතුන්ට හා ශිෂ්‍යයන්ට මහත්සේ උපකාරී වනු ඇත.

වර්තමාන තාක්ෂණය අනුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ සත්‍ය තොරතුරු ලොවට බෙදාදීම සඳහා ‘ශ්‍රී මහා බෝධිය’ නමින් වෙබ් අඩවියක් අරඹා ඇත. මහාවිහාරයට ඇතුල්වන මාර්ගය අවට හා ඊට සමීපව සංරක්ෂිතයේ රැඳී සිටි අනවසර පදිංචිකරුවන් මුළුමනින්ම ඉවත්කර පුනස්ථාපනය කිරීමට හැකිවීම ද නායක ස්වාමීන් වහන්සේගේ ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතු ය. මෙතෙක් කල් මෙම අනවසර පදිංචිකරුවන් මහාවිහාර පරිශ්‍රය විරූපී කළ අහිතකර දර්ශනයක් විය. එසේ ම මහා විහාර පදනම පිහිටුවා එහි සභාපතිත්වය අප නාහිමිපාණන් වහන්සේ උසුලමින් ප්‍රාදේශීය මහා සංඝරත්නයේ හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ශුභ සිද්ධිය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරනු ලැබීය.

ඉතා සුළු පිරිසක් පමණක් දන්නා පරිදි අසරණයන්ට හා ගිලනුන්ට විශාල ලෙස උපකාර කිරීම ද අප නායක ස්වාමීන් වහන්සේගේ උතුම් ගුණයකි. මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ නාහිමියන් විසින් උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් වෙනුවෙන් වාට්ටුවක් සෑදීමට පුරෝගාමී වූයේ උන්වහන්සේ ය. එසේම අනුරාධපුර මහරෝහලේ 18 වාට්ටුවට යාබද ව උන්වහන්සේ විසින් දැඩි සත්කාර වාට්ටුවක් සහ එයට අවශ්‍ය මිල අධික වෛද්‍ය උපකරණ සැපයීම ද උන්වහන්සේගේ සමාජසත්කාරයන්හි තවත් සුවිශේෂ ලක්ෂණයකි. ඒ අතර අප නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කරන ලද අනුරාධපුරයේ වකුගඩු ආරක්ෂණ පදනම වකුගඩු රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විශාල සේවයක් ඉටුකරමින් පවතී. උතුරුමැද පළාතේ වකුගඩු රෝගීන් ඉතා අහිංසක දිළිඳු ගොවි පවුල්වලට අයත්වන අතර, ඔවුන් සොයා ගොස් සහන සැලසීම ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ අනුරාධපුර මහ දිසාපතිවරයා ඇතුළු ඒ සඳහා කැපවූ නිලධාරීන්ගෙන් සමන්විත වකුගඩු ආරක්ෂණ පදනම විසින් ක්‍රියා කරනු ලැබේ. මෙම උදාර වැඩපිළිවෙල මගින් අහිංසක රෝගීන්ට හා ඔවුන්ගේ පවුල්වලට ඉටු කරන මානුෂික සත්කාරය පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලබා ගැනීම අප නායක ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඇත්තේ එම උතුම් පුණ්‍ය ක්‍රියාවට එය නිගරුවක් බව සළකමින් ය.

අප නායක මාහිමිපාණන් වහන්සේ අටමස්ථානයේ උන්නතිය උදෙසා අමිල මෙහෙයක් ඉටු කළහ. මෙම සේවාව මෙරට සම්බුද්ධ ශාසනයේ උන්තියට ප්‍රබල පිටිවහලක් වූ අතර එය ලෝක ව්‍යාප්තියට ප්‍රබල ආධාරකයක් විය. ශ්‍රී මහා බෝධී ස්ථානය ඇතුළු අටමස්ථානයේ වර්තමාන සංවර්ධනයේ නියමුවාණන් ලෙස උන්වහන්සේ වසර විසිපහකට අධික සේවාවක් ඉටුකළහ.

තායිලන්තයේ මහාචූලාලොංකොන් රාජවිද්‍යාලයීය විශ්වවිද්‍යාලය මගින් අප නාහිමිපාණන් වහන්සේ සිදු කරනු ලබන ලෝක ශාසනික සේවාව අගයා ගෞරව ආචාර්ය උපාධියකින් ද සම්මානිත වූහ. උන්වහන්සේගේ හදිසි අපවත්වීම ශ්‍රී ලාංකික සමාජයට පිරිමසාලිය නොහැකි පාඩුවකි. බෝධිසත්ව ගුණෝපේත අප ගුරුදේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේට උතුම් අමා මහ නිවන් සුව අත්වේවා යි ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමි
අභයගිරි විහාරාධිකාරී,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුර

advertistmentadvertistment
advertistmentadvertistment