සම්මානිත සුනාමි චිත‍්‍රපටය ආපහු එනවා

977

නිරංජනී ශම්මුගරාජා….. bayelsa සම්මාන උළෙලෙහි හොඳම නිළිය

පසුගියදා ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සුනාමි චිත‍්‍රපටිය වෙනුවෙන්ද එමෙන්ම එහි රංගනයෙහි නිරත වුණු දර්ශනීගේ චරිතය රගපාන ලද නිරංජනී ශම්මුගරාජා හොඳම නිළිය ලෙස bayelsa සම්මාන උළෙලෙහි හොඳම නිළිය ලෙස සම්මානයට පාත‍්‍රවුණා. ඇය මෙම සම්මානය ලබාගත්තේ රටවල් 86 ක චිත‍්‍රපටි 1300 ක් අතරින් වීම විශේෂත්වයක්.

නිරංජනී ගැන රසිකයන් ගොඩාක් කතා කරන සුනාමි නිසාම නැවතත් සම්මානනීය වීම කොහොමද දැනෙන්නෙ?

ඇත්තටම කිව්වොත් සුනාමි හින්දා දෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයක් හිමිවීම සතුටක්. ලාංකීය සිනමාව කියලයි මම අපේ සිනමාවට කියන්නෙ. දමිළ කෙල්ලෙක් විදියට රට ඔසවා තබන්න හැකිවීම සතුටක්. මේක මම ලබපු ජයක් විතරක් නෙවේ. ශ‍්‍රී ලංකාවම ලබපු ජයක්.

ඔබ තමන්ගේම අනන්‍යතාවයක් එක්ක එන්න පුළුවන්කම ලැබුණෙ පේ‍්‍රක්ෂක පිළිගැනීම නිසාද

ඇත්තටම මට පේ‍්‍රක්ෂකයන් අතරට යන්න අවස්ථාව ලබා දෙන්න ඕනැනෙ. ඒකට අපිව ෆිල්ම්වලට ගන්න අධ්‍යක්ෂකවරයන්, නිෂ්පාදකයන්, ආර්ට් කරන අය, ටී බෝයි ඒ හැම කෙනෙක් නිසාම තමා මම ඉස්සරහට යන්නෙ. පේ‍්‍රක්ෂකයන්ට දැනෙන දෙයක් මම නොදුන්න නම් මෙතැනට එන්න බෑ.

පෞද්ගලිකව මගෙ වගකීමක් තියෙනව හැමෝටම දැනෙන දෙයක් කරන්න. අර කලින් කියපු අය නැත්නම් ක්ෂේත‍්‍රයට එන්නත් බෑ. මම වගකීම දැනගෙන කටයුතු නොකර නම් මෙතනට එන්නත් බෑ. ඒකට දක්ෂතාව බලපෑවා. මම දෙමළ නිළියක් වුණත් මාව පිළිගන්නෙ ඒ නිසා. පේ‍්‍රක්ෂකයන් අපිව පිළිගන්න ඕනා ආදරය වගේම මම රඟපාපු චිත‍්‍රපටියක් බලන එක තමයි හරිම පේ‍්‍රක්ෂක ආදරය කියන්නෙ. ඒ චිත‍්‍රපටිය වෙනුවෙන් මහන්සි වෙච්ච අයට සාධාරණයක් වෙනව. මම නිතරම ඒ ඉල්ලීම පේ‍්‍රක්ෂකයන්ගෙන් කරනව.

සුනාමි කියන්නෙ අපේ රටේ වේදනාත්මක මතකයක්. මෙහි කතාව ඒ ඔස්සේ ගලායන්නක්. ඉතින් සම්මානයට පාත‍්‍ර වීමට ඔබගේ රංගන අභිනයන් ඔවුන් තීව‍්‍ර ලෙස දකින්න ඇති නේද?

මම පෞද්ගලිකව සුනාමි අත්විඳල නෑ. මම ටීවී පුවත්පත් දැකල වේදනාව වින්ද. සුනාමිවල රඟපෑම නිසාම මට ඒක ලොකුවට දැනුන. තමන්ගෙ පවුල අන්තිම හුස්ම යනකන් අත නොහැර යෑම කියන දේ දැනුන. අපි කොච්චර දක්ෂ වුණත් හරි අධ්‍යක්ෂවරයෙක් නැත්නම් ඉස්සරහට එන්න බෑ. මං කතා කරද්දි සෝමරත්න දිසානායක අධ්‍යක්ෂකතුමා වගේම මාව හසුරවපු හැම අධ්‍යක්ෂවරයටම ස්තුතිය පළ කරනව.

සුනාමි චිත‍්‍රපටියේ මගෙ චරිතය සාර්ථක වෙන්න සෝමරත්න දිසානායක මහත්මයට වගේම ඒ මගපෙන්වීම ගැන රේණුකා බාලසූරිය මහත්මියටත් මම ස්තුතිවන්ත වෙනව.

සම්මානනීය වීම ක්ෂේත‍්‍රයද රටද ඉහළට ඔසවා තැබීමක්. නමුත් එම සම්මාන උත්සවයට යෑමට පවා ඔබට හැකියාවක් තිබුණෙ නෑ. ඉතින් රංගනය ගැනත් එම වෘත්තීය ගැනත් රට තුළ ලොකු පිළිගැනීමක් වගකිව යුතු අංශ වලින් ලැබුණොත් නේද මේ ජයග‍්‍රහණ සියල්ල ක්ෂේත‍්‍රයේ උන්නතියට යොදාගත හැක්කේ?

මගෙන් නෙවේ ඒ ප‍්‍රශ්නය අහන්න ඕනෑ. ඒ අදාළ පාර්ශ්වයන්ගෙන්. අද ඊයේ නෙවේ හැමෝටම මේක සාර්ථකත්වයක්. මොකක් හරි ගරුත්වයක් හෝ ලැබෙන්නෙ අපි රටට ලබාදුන්න දේ ගැන අවධානයක් යොමු කරන්න ඕනා ඒ වගකීමක් තියෙන අය තමයි. අපිට කරන්න පුළුවන් මේ විදිහේ දක්ෂතා පෙන්වල රටට දෙයක් අරගෙන දෙන්න.

අවසාන වශයෙන් ඉදිරියේදි නිරංජනීගේ දකින්න තියෙන චරිත ගැනත් මතක් කරමු

ඉස්සරහට චිත‍්‍රපටි පහක් එන්න තියෙනව. ඇත්තටම කිව්වොත් මම මේක අවස්ථාවක් කරගන්නව. ඒ තමයි සුනාමි චිත‍්‍රපටිය නැවත පෙන්වනව කියන ආරංචිය. පේ‍්‍රක්ෂකයන්ගෙ සහයක් අවශ්‍යයි. මොකද මේක ඒ ඉල්ලීම කළ යුත්තේම අපි ඒ සුනාමි චිත‍්‍රපටිය විශාල වියදමක් කළ චිත‍්‍රපටියක් නිසා.

නදීෂ නිර්මාණ හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment