සමාජමාධ්‍ය අපි කරදරයක් කරගත්තොත් අපිට කරදරයක්

427

මම පෙම්වතියක් නෙමෙයි….

ක්‍ෂේත්‍රයට පය තබා කෙටි කලකින් පිට පිට තෙවතාවක්ම ජනප්‍රිය නිළියට හිමි ජනතා සම්මානය දිනාගන්නට සමත් වුණ නයනතාරා වික්‍රමආරච්චි අලුතින්ම එකතු වුණ සිනමා සිත්තම ‘සිනේමා..  තව නොබෝ දිනකින් ‘සිනේමා. තුළින් ඔබට දැකබලාගන්නට ලැබෙන ‘තිළිණි‘ ඇයට ලොකු අභියෝගයක් වුණාලු. මේ වගේ තව තොරතුරු බොහොමයක් නයනතාරා මේ විදිහට මීවිතට සමග බෙදා හදා ගත්තා.

‘සිනේමා’ සිනමා නිර්මාණයට ආරාධනය ලැබෙන්නෙ කොහොමද?
මේ සිනමා නිර්මාණයේ අධ්‍යක්‍ෂවරයා වන වෛද්‍ය කපිල සූරියආරච්චි මහත්මයා තමයි මට මේ ආරාධනය කරන්නෙ. විශේෂයෙන්ම වේෂ නිරූපණ ශිල්පී ප්‍රියන්ත එස්. වන්නිනායක මහත්මයාව මතක්කරන්න ඕන. එතුමා මාර්ගයෙන් තමයි කපිල මහත්මයා මාව හඳුනාගන්නෙ.

සමාජමාධ්‍ය අපි කරදරයක් කරගත්තොත් අපිට කරදරයක්

තිළිණි මොන වගේ කෙනෙක්ද?
ඇය රංගන ශිල්පිනියක් වෙන්න ගොඩක් ආසාවෙන් සිහින මවන තරුණියක්.

නයනතාරාත් මේ සිහිනය දැක්කද?
තිළිණිට වඩා මම හාත්පසින්ම වෙනස් කෙනෙක්. රංගන ක්‍ෂේත්‍රය ගැන හැදෑරීම තමයි මගේ හීනය වුණේ. නිළියක් වෙන්නත් ආසාව තිබුණ. පුංචි කාලෙත් ගුරුතුමියක් ඇහුවාම ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියල” අනෙක් හැම ළමයම ඩොක්ටර්ස්ල ඉංජිනියර්ල ගැන කියද්දි මම කියල තියෙන්නෙ නිළියක් වෙන්න කැමතියි කියල.

ඔබ රිදී තිරයේ දකින්න ලැබෙන්නෙ දිගු කලකට පසුවයි?
මම ක්‍ෂේත්‍රයට එන්නෙ 2016 වර්ෂයේ. අවසන් වරට සම්බන්ධ වුණ සිනමා නිර්මාණය වෙන්නෙ ‘එක දවසක අපි.. ඒ 2017 වර්ෂයේ. ‘සිනේමා. කියන්නෙ මගේ දෙවැනි සිනමා නිර්මාණය.

මේ හැඟීම මොන වගේද?
ඇත්තටම රංගන ශිල්පිනියකට හෝ ශිල්පියකුට තියෙන ලොකුම සතුට තමයි තමන් සම්බන්ධ වුණ නිර්මාණයක් එළිදැක්වෙන එක සහ ඒක ප්‍රේක්‍ෂකයන් අතරට යන එක. රිදී තිරයට යන නිර්මාණයකදි ඒක විශේෂයි. ප්‍රේක්‍ෂකයන් මේ නිර්මාණය නරඹල ප්‍රතිචාර දක්වන තුරු මම ආසාවෙන් බලාගෙන ඉන්නව.

දර්ශනතලයේ අත්දැකීම?
මේ චිත්‍රපටයේ රූගතකිරීම් කරන්නෙ 2017 වර්ෂයේ. ඒ මම මේ ක්‍ෂේත්‍රයට පැමිණි මුල්ම කාලෙ. වයස අවුරුදු දහ අටක් හෝ දහ නවයක් වගේ ඇති. නිර්මාණය ගැන කිසිම අදහසක් තිබුණෙ නැහැ. අධ්‍යක්‍ෂවරයා සුහදශීලී සහ ඉතාම දක්‍ෂ කෙනෙක්. ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මේ නිර්මාණය එක්ක එකතුවෙලා හිටියා. ඒ සියලුම දෙනාගේ සහයෝගයෙන් මට තිළිණිට ජීවය දෙන්න පුළුවන් වුණා.

සිනමාවට පමණක් සීමා වුණා නම් හොඳයි කියල හිතෙනවද?
ඇත්තටම ඔව්. එතකොට අපි අවුරුද්දකට සිනමා නිර්මාණ කිහිපයක් කළත් හොඳ කැපකිරීමකින්” කාලය කළමනාකරණය කරගෙන ගුණාත්මක නිර්මාණයක් බිහිකරන්න පුළුවන් වෙයි කියල හිතනව සහ අපේ කලාවට ඉතිරි වෙන දෙයක් කරන්න පුළුවන් වෙයි කියල හිතනව.

මේ අත්දැකීම අභියෝගයක්ද?
රඟපෑමේදී සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් අපිට ගොඩක් වටිනව. ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදි මට ලොකු අභියෝගයක් වුණේ මම අත්දැකීමක් නොලබපු ගොඩක් දේවල් රඟපාන්න සිදුවීම.

ඔබ පිටපිට තෙවතාවක්ම ජනප්‍රිය නිළිය වෙනව?
මේ වන විට ජනතා සම්මාන දොළහකින් ප්‍රේක්‍ෂකයන් මට ඔවුන්ගේ විශ්වාසය පෙන්වල තියෙනව. ඒක මට ලොකු ආශීර්වාදයක්. ඒ විශ්වාසය  රැකගන්න මම මේ මොහොතෙත් වැඩ කරමින් ඉන්නව. නමුත් මම තවම හිතන්නෙ මම මේ ක්‍ෂේත්‍රයට අලුත් කෙනෙක් කියල.

ජනප්‍රියම නිළිය වීම” මුදලට ලැබුණු සම්මානයක්ද?
කොහෙත්ම නැහැ. ස්ලිම් නීල්සන් සම්මානය කොහෙත්ම එස්. එම්. එස්. මගින් ලැබෙන දෙයකුත් නෙමෙයි.

නයනතාරා පෙම්වතියක්?
නැහැ. මම තවම පෙම්වතියක් නෙමෙයි. එහෙම දෙයක් තියෙනව නම් නොකිය ඉන්නෙත් නැහැ. ආදරය කියන්නෙ අපි කවුරුවත් විශේෂයෙන් හිතන්න ඕන දෙයක් නෙමෙයි. අපි කවුරුත් විඳින්න ඕන දෙයක්. ආදරය අපි කාටත් අවශ්‍යයි. විශේෂයි කියන ආදරයත් අපි හොයාගෙන  යන්න ඕන නැහැ. අවශ්‍ය වෙලාවට අපිව හොයාගෙන ඒවි. මෙතනදි විවාහය දක්වා යන ආදරයක් කියන තැනදි මම ගොඩක් පරිස්සම් වෙනව. මොකද එතන වගකීම අන්‍යොන්‍ය අවබෝධය වගේ දේවල් ඉතාම වැදගත්. ඒ නිසා එතනදි මම හරි පරිස්සම්.

නයනතාරා ආඩම්බරකාරියක්ද?
අනේ නැහැ. මං ගැන දන්න අය දන්නව මම කවුද කියල. මම සමාජමාධ්‍ය හැම එකක්ම වගේ පරිහරණය කරනව. නමුත් ඒවා මත්තෙම ඉන්නෙ නැහැ. මම කැමති නිතරම ගොඩක් නිදහස් පරිසරයක ඉන්න. ගෙදර අයත් එක්ක කාලය ගතකරන්න. ඒ නිසා සමහර අයට මේ විදිහට හිතෙන්න පුළුවන්.

සමාජමාධ්‍ය කරදරයක්ද?
සමාජමාධ්‍ය කියන්නෙ අපි කරදරයක් කරගත්තොත් අපිට කරදරයක් වෙන දෙයක්. එහෙම නැත්නම් ඒක හොඳ දෙයක්. ගොඩක් හොඳ වැඩවලට භාවිතා කරන්න පුළුවන්.

මේ ගමන ගැන ඔබ සතුටින්ද?
ඇත්තටම මම ආපු ගමන ගැන ආපස්සට හැරිල බැලුවොත් මට දැනෙන්නෙ ලොකු සතුටක්. මට අනුව මේ ක්‍ෂේත්‍රය පූජනීය තැනක්. මම ඒ තැනට ගොඩක් ගරු කරනව වගේම ගොඩක් ආදරේ කරනව. මගෙ ජීවිතයට ගොඩක් දේවල් ලබා දුන්න මේ ක්‍ෂේත්‍රය මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂය කිව්වොත් නිවැරදියි.

මේ දිනවල කාලය ගතවෙන්නෙ?
මේ දිනවල මම වැඩිපුරම කාලය ගතකරන්නෙ ‘සිනේමා’ත් එක්ක. ලබන මාසෙ ඉඳන් ප්‍රේක්‍ෂකයාට දැකබලාගන්න ලැබෙන නිසා ඒකත් එක්ක කාර්යබහුල වෙලා.

මහේෂ් එදිරිසිංහ
ඡායා – කල්ප මේනක පීරිස්

advertistmentadvertistment
advertistmentadvertistment