සමාජයක් වෙනස් කරන්නේ දේශපාලන ක්‍රමය මගින්

125

මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ ‘සහෝ’ සිනමා කෘතිය අප්‍රේල් මස 07 වැනිදාට සිට මෙරට සිනමාහල්වල තිරගත කිරීමට නියමිතය. මහාචාර්ය ඇතුගලයන් සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.

● ‘සහෝ’ චිත්‍රපටය හදිසියේම තිරගත කරන්න හිතුවෙ ඇයි?

සහෝ කරලා දැනට අවුරුදු දෙකක් වෙනවා. චිත්‍රපටය තිරගත කිරීමේ තීරණය ගන්නේ නිෂ්පාදකවරු. ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්. ඩී. ප්‍රේමසිරි හා රවින්ද්‍ර ගුරුගේ තම නිෂ්පාදකවරු. කොහොමත් මේ අවධිය තරුණ තරුණියෝ චිත්‍රපට බලන්න උනන්දු කාලයක්.

● පැය දෙකයි විනාඩි 50ක පමණ ධාවන කාලයක් තිබුණු චිත්‍රපටය පැයයි විනාඩි විසිපහකට පමණ අඩු කළා කියන්නේ ඇත්තද?

චිත්‍රපටයක් සංස්කරණය කිරීමයි අඩු කිරීමයි කියන්නේ දෙකක්. එහෙම අඩු කිරීමේ ඉල්ලීම ආවේ නිෂ්පාදකවරුන්ගෙන්. බලපු අය කීවා වැඩියි කියලා කියන අදහසින්. ඒ ගැන මම ප්‍රශ්න කරන්න ගියේ නෑ. නමුත් මම සංස්කරණය කළා. කොහොමත් චිත්‍රපටයක ආකාර දෙක තුනක් තියෙන්නත් පුළුවන්. ජාත්‍යන්තර උළෙලවලට ඉදිරිපත් කලේ මුල් සංස්කරණය. කලා කෘතියක් ඔප වෙන්නත් ලැබෙන සංස්කරණ අවස්ථාව වැදගත්. මම විශ්වාස කරන්නේ කලා කෘතියක් නිර්මාණකරුවාගේ මනස තුළ ජීවත්වෙනතුරු සංස්කරණය වෙනවා. එකතු වෙනවා. අඩු වෙනවා.

● සහෝ සරසවි අරගලය ගැන කියවෙන කතාවක්ද?

සහෝ චිත්‍රපටයෙන් කතා කරන්නේ විශ්වවිද්‍යාලය, වනයේ අරගලය හා ආදරය අතර තෙරපෙන මනුෂ්‍යත්වය ගැන. අරගලයේදී මියයන සහෝගේ මරණයට වගකිව යුත්තේ සඳු, තරු, හිරු හා රතු යන සහෝගේ මිතුරන් බව ඔවුනොවුන් සිතයි. එම මානුෂික අරගලය චිත්‍රපටය පුරා දිවෙන අතර අවසානයේ තරුණ ජීවිතවල සමාජ ඛේදවාචකය විවේචනාත්මකව නිරූපණය කෙරෙනවා.

සමාජයක් වෙනස් කරන්නේ දේශපාලන ක්‍රමය මගින්

● සහෝ බලාපොරොත්තු වෙන වෙනස සමාජයේ ඇති කිරීමට හැකියාවක් ලැබේවි ද?

කලාවෙන් විතරක් සමාජය වෙනස් කරන්න පුළුවන් කියන මතය මම දරන්නේ නෑ. සමාජයක් වෙනස් කරන්නේ දේශපාලන ක්‍රමය මගින්. කලාවෙන් කරන්නේ පුද්ගලයා නව චින්තනයක් හා රසවින්දනයක් සහිත මනුස්සයෙන් කරන එක. අනිත් අතට සිනමා කලාවෙන් කරන්නේ ප්‍රේක්ෂකයින්ගේ සිතීමේ සීමාවන් පුළුල් කරන එක. සහෝ තුළින් කරන්නේ විශ්වවිද්‍යාල තරුණයාට අලුතින් හිතන්නට හා විශ්වවිද්‍යාලය ගැන සම්ප්‍රදායික මත දරන්නවුනටත් අලුතින් හිතන්න ඉඩ හදන එක.

කොහොමත් මේ සමාජය පසුගාමී සමාජයක්. තව සියවසකටවත් වෙනස් වෙන පාටක් පෙනේනේ නම් නෑ. දේශපාලකයෝ එළිපිට හොරා කද්දී කලාවෙන් කොහොමද සමාජයක් වෙනස් කරන්නේ.

● රූගත කිරීම්වලදී ලද අභියෝගයන් මොන වගේද?

ප්‍රධාන අභියෝගය වුණේ කොරෝනා. කොරෝනා කාලේ විවිධ දුෂ්කරතා මැද තමා පටිගත කිරීම් කළේ. අනෙක සරසවියේ තරුණ පිරිස් එක්ක වැඩ කළේ. ඔවුන්ට සිනමාව ගැන අත්දැකීම් තිබුණේ නෑ. කොහොමත් මම හැමදාම නවකයින් එක්ක අභියෝගාත්මකව තමා වැඩ කරලා තියෙන්නේ. වෙන කියන්න තරම් ලොකු අභියෝගයක් ආවේ නෑ. හැමෝම සහයෝගයෙන් වැඩ කළා.

● සහෝ හි නළුනිළි වරණය ගැනත් කතා කළොත්?

මුලින්ම නම් හිතුවේ විශ්වවිද්‍යාලයෙන්ම නළු නිළියෝ තෝර ගන්නවා කියලා. තෝරාගෙන පුහුණු වීම් කළා. මහේන්ද්‍ර පෙරේරා ගෙන්වලා වැඩමුළුවකුත් කළා. ඒත් විවිධ ප්‍රශ්න හින්දා පොදුවේ පරීක්ෂණයක් තියන්න තීරණය කළා. එහෙම කරලා තමා දසුන් පතිරණ, ඩිනාරා පුංචිහේවා, හර්ෂි අන්ජුමාලා හා බියංක අමරසිංහ තෝර ගත්තේ. ඔවුන් ඉතාම හොඳ දායකත්වයක් දුන්නා. අපි පුහුණුවීම් කළා මාස දෙකක් විතර.

සමාජයක් වෙනස් කරන්නේ දේශපාලන ක්‍රමය මගින්

● මෙය ඔබගේ පළමු සිනමා අත්දැකීම. ඒ ගැන ඔබට තිබෙන්නේ මොන වගේ හැඟීමක්ද?

මට චිත්‍රපට කරන්න අවස්ථාව තිබුණා. මම තුම්බිය ටෙලි නාට්‍ය කරන කොට සිනමා විචාරක සුනිල් මිහිඳුකුල කීවේ ඔබ සිනමාවට එන්න ඕන කෙනෙක් කියලා. මම ටෙලි නාට්‍ය කළා. වේදිකා නාට්‍ය කළා. කොහොම හරි සහෝ කරන්න හේතු වුණේ විශ්වවිද්‍යාල නිර්මාණාත්මක ඉගැන්නුම් ක්‍රමය දියුණු කිරීමට. ළමයින් පන්ති කාමරයෙන් එළියට ගෙනත් ප්‍රයෝගිත් තලයට දැම්මා.

● මේ වගේ අර්බුද තිබෙන කාලයක චිත්‍රපටයක් තිරගත කරලා නිෂ්පාදකවරයාට සාධාරණයක් ඉෂ්ඨ කරන පුළුවන්ද?

ඒක තීරණය වෙන හේතු කීපයක් තියෙනවා. එකක් චිත්‍රපටය, අනික එයට ලබාදෙන ප්‍රචාරණය. මම හිතනවා මේ රටේ තරුණ පරම්පරාව සහෝ බැලිය යුතුයි කියලා. විශ්වවිද්‍යාලයට එන්න ඉන්න අයත්, ඇවිල්ල ඉන්න අයත් මේ සාකච්ඡාවට එකතු වෙන්න ඕන. මේක තරුණ අරගලකාරී සමයක්. අරගලයේ අධ්‍යාත්මය සහෝට සම්බන්ධයි.

● සහෝ ලංකාවේ තිරගත වෙන කොට ඔබ විදෙස්ගත වෙලා නේද සිටින්නේ?

නොවැළැක්විය හේතුවක් මත මට චීනයට එන්න වුණා. චීනයට එන එකයි චිත්‍රපටය පෙන්නන එකයි එකට වැටෙයි කියලා හිතුවේ නෑ. කමක් නෑ. නිෂ්පාදකවරු, චිත්‍රපටයට සම්බන්ධ වුණ අය, යහළුවෝ වැඩේ ඇදගෙන යයි.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment