සමාජය බෙදීම වෙනුවෙන් හමුදා විරෝධය ඇති කිරීම

272

මෙරට වැඩකරන ජනතාව වෙහෙස මහන්සි වී උපයන මුදලින් දැවැන්ත හමුදාවක් පවත්වාගෙන යන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ප‍්‍රකාශ කර තිබේ. එසේම මෙතරම් විශාල හමුදාවක් රටේ බදු මුදලින් නඩත්තු කිරීමට සූදානම් නොමැති බවත් එය මෙරට ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීම වෙනුවෙන් වූ මිලිටරිකරන ක‍්‍රියාවලියක් වන බවත් නාගමුව පවසා තිබුණේ ගුරු-විදුහල්පති වැඩ වර්ජනය හා කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් වූ සම්මන්ත‍්‍රණයක් අමතමිනි. පෙරටුගාමී නාගමුව මේවා කියමින් බෙරිහන් දෙන්නේ හමුදාවට එරෙහි විරෝධයක් රට පුරා ගොඩනැංවීමේ අරමුණ ඇතිව බව පැහැදිලිව පෙනේ. ලංකාවේ ජන මතයෙන් කිසිම නියෝජනයක් හෝ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධුරයක් හෝ නොමැති මේ කණ්ඩායමට අවශ්‍ය කෙසේ හෝ රට අරාජිකත්වයට යැවීම පමණි. ගුරු වර්ජනය හරහා දරුවන් පීඩාවට පත්වන විට මොවුන්ට ඉතා සතුටුය. සැමදා විශ්වවිද්‍යාල සිසුන් කොටුවේ අරගල කිරීම සඳහා මෙහෙයවන්නේ මොවුන්ගේ පක්ෂය මිස අන් කවරෙක්වත් නොවේ. සෑම දෙයටම විරුද්ධ වීම හැරෙන්නට මොවුන් ඉදිරිපත් කරන රටට ජනතාවට යහපතක් වන ඉදිරියක් ඇති යෝජනා කවරේද? කිසිවක් නැත. කොතලාවල පනත අමු බිල්ලෙකු ලෙස මැවීම මොවුන්ගේ එකම අරමුණයි. ඒ හරහා හමුදා විරෝධයක් උත්සන්න කිරීම පෙරටුගාමීන්ගේ කූට උපාය වී ඇත. රටේ ජනතාවට නම් හමුදා විරෝධයක් නැත. ඔවුන් හැමවිටම පවසන්නේ සෑම කටයුත්තක්ම නිසි පරිදි සිදුවන්නේ හමුදාවේ මැදිහත්වීම තුළ බවය. කොවිඞ් එන්නත්කරණය හරහා මෙය නැවත නැවතත් ප‍්‍රකට විය. නමුත් කිසිම මහජන නියෝජනයක් නැති නාගමුව පවසන්නේ ජනතාව හමුදාව නඩත්තුව සඳහා බදු නොගෙවිය යුතු බව නොවේද? පෙරටුගාමින්ට ජාතික ආරක්ෂාව සුරක්ෂිත වීමට අවශ්‍ය නැත. ඔවුන්ට ප‍්‍රභාකරන් මෙන් තවත් කිහිප දෙනෙක් රටේ තැන් කිහිපයකින් හෝ බිහි වුවත් ප‍්‍රශ්නයක් නැත. ප‍්‍රභාකරන්ද ඔවුනට කම්කරු නායකයෙක් විය හැකිය. මොවුන්ද රටට එරෙහිව කැරලි ගැසූ පිරිසකගෙන් වෙන්වී වෙනම කණ්ඩායමක් පිහිටුවා ගෙන සිටින නිසා මුලින්ම විරුද්ධ වන්නේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි නොතකා ක‍්‍රියාකරන ත‍්‍රිවිධ හමුදාවටය. ගුරු සටන හමුදාව විරෝධයක් බවට පෙරළීම හරහා පැහැදිලි වන්නේ කුමක්ද? මේ සියල්ල සිදු කරන්නේ රට අරාජිකත්වයට ගෙන යෑමට මිස යහපත ඇති කිරීමට නොවන බවය. බුරුමයේ හමුදා ආණ්ඩුවට විරුද්ධ එරට ජනයා උද්ඝෝෂණය කළත් එම විරෝධතා දැන් ක‍්‍රමයෙන් සමනය වෙමින් පවතී. පෙරටුගාමීන්ට අවශ්‍ය ලංකාවේ ජනතාවටත් හමුදාව යනු බිල්ලෙකි යන ඉතාමත් වැරදි කාරණය සමාජගත කිරීමටය. එහෙත් මෙරට ජනතාව එය පිළිගැනීමට කිසිවිටක ඉදිරිපත් නොවෙති. ගුරුවරුන්ගේ වැටුප් චක‍්‍රලේඛ ගැන කතා කරන විටත් හමුදාවට එරෙහි කරුණු සමාජගත කිරීම හරහා මොවුන්ගේ දේශද්‍රෝහී අරමුණු පැහැදිලිව හෙළි වෙයි. ගුරුවරුන් පමණක් නොව පාසල් දරුවන් හෝ පාරට ඇද දමා උද්ඝෝෂණය කර තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම මොවුන්ගේ එකම උපායවේ. සමාජ සාධාරණය කෙසේ වෙතත් අනෙකා කෙරෙහි වෛරය පතුරවා සමාජ බෙදීම් ඇති කිරීම පෙරටුගාමීන්ගේ අරමුණ බව පැහැදිලිය. සමාජ බෙදීම ඇති කිරීමේ එක් ප‍්‍රධාන ඉලක්කයක් වන්නේ හමුදාව හා සිවිල් සමාජය අතර ඇති යහපත් ගනුදෙනුව ඛණ්ඩනය කිරීමයි. හමුදාවට ඇති ගෞරවය බිඳ දැමීමය. ඒ සඳහා අපේ හමුදාව නඩත්තුව සඳහා යන මුදල් ගැන නාගමුව කියයි. ත‍්‍රස්තවාදය පරාජය කර රට නිදහස් කළ අයුරු කිසි ලෙසකින් නොකියයි. හමුදාවෙන් රටට සමාජයට වන යහපත ගැන සිහිනෙන් හෝ නොදොඩයි. ඇත්තෙන්ම මේ කණ්ඩායම් රටේ ඉදිරි ගමනට ඇති බාධක පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment