සමාජ ජාලා සහ අවුල් ජාලා

276

ඔබ මෙය කියවන මේ මොහොත වනවිට ලෝක ජනගහනය බිලියන 8 කි. එයින් 65% ක් අන්තර්ජාලය පරිහරණය කරති. ඒ අනුව ඒ 65% ටම සෝෂල් මීඩියා පාවිච්චි කිරීමේ හැකියාව ඇත. සංවර්ධනය වූ රටවල ජනගහනයෙන් 95% ක් අන්තර්ජාලය පරිහරණය කරති. ඒ අනුව ඒ සියලූම දෙනාට සෝෂල් මීඩියා වලට ප‍්‍රවේශවීමේ අවකාශය තිබේ. ලෝක මට්ටමින් ගත්කල අන්තර්ජාලයට තිබෙන ව්‍යාප්තිය සෙසු කිසිදු මාධ්‍යයකට නැති බව අප අවංකවම සිහි තබාගත යුතුය. මේ 1950 නොවේ. 1970 ත් නොවේ. 1990 ත් නොවේ. මේ වූකලී දෙවන සහස‍්‍රයේ තුන්වන දශකයේ ආරම්භයයි. ලෝකය අලූත් වී තිබේ. එසේම පොලිෂ් වී තිබේ. එය වැලි කඩදාසි අල්ලා කළ පොලිෂ් කිරීමක් නොව ලෝකවාසී ජනයා බුද්ධිය සහ ශ‍්‍රමය යොදවා ඇඟිලි තුඩු වලින් කරන ලද පොලිෂ් කිරීමකි. එය මෙතෙක් කතාවය. අද එතැන් සිට මෙසේය.

අන්තර්ජාලය මර්දනය කළ නොහැකි නම් එය නියාමනය කළ යුතු බව ඇමැති නිමල් සිරිපාලද සිල්වා පවසා තිබේ. නිමල් සිරිපාල, තාක්ෂණය පිළිබඳ නොදන්නා අහිංසක ඇමැතිවරයකු බව පෙනේ. අන්තර්ජාලය යනු එය පරිහරණය කරනු ලබන ජනතාව විසින් නියාමනය කරනු ලබනවා මිස පිටස්තර පාර්ශ්වයකට නියාමනය කළ නොහැකි ප‍්‍රපංචයකි. අන්තර්ජාලය ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදී ඇත. ඉන් පළමුවැන්න යූ ටියුබ් ය. දෙවැන්න ෆේස්බුක් ය. කිසියම් ෆේස්බුක් චැනලයකට Fire Wall එකක් දමා වැසීමට විදුලි සංදේශ නියාමන කොමිසමට පුළුවන. එහෙත් ඉන්ටර්නෙට් ගිල දමා යූ ටියුබ් පහරන අවුරුදු දොළහේ කොල්ලකුට වුවද Proxy යක් යොදා වැසූ යූ ටියුබ් චැනලය නැවත නැරඹීමට හැකිය. ලෝකයේ සෑම දෙයකටම විකල්පයක් තිබේ. ලයිසන් තුවක්කුවක් නැතිවිට ඊළඟ විකල්පය හොර තුවක්කුවක් ය.
හොර තුවක්කුවක් නැතිවිට ඊළඟ විකල්පය ගල්කටස් එකක් ය. ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බ හදමින් සිටි 1971 දී අපේ‍්‍රල් කැරැල්ලට සහභාගි වූ ජේ වී පී තරුණයෝ චීනට්චට්ටි කළගෙඩි වලට වෙඩි බෙහෙත් පුරවා බෝම්බ තැනූහ. මේ කළගෙඩි බෝම්බයක් පිපිරූ විට එහි හඬ දෙව්ලොව දක්වාම පැතිරේ. එවිට දෙව්ලොව සිට බිම බලන දෙවිවරු ලංකාවේ තරුණ කැරැුල්ලක් හටගෙන තිබෙන බව දැන ගනිති. චීනය අද වනවිට සමාජ ජාල තහනම් කොට සහ නිෂ්ක‍්‍රීය කොට ඇති බවද අපේ අහිංසක ඇමැතිතුමා පවසා තිබේ. චීනය කරන දේවල් මේ රටේ කළ නොහැක. චීනය වැරදි කරන නිලධාරීන්ට වෙඩි තබා මරයි. එවැනි දේශපාලනඥයින් එක්කෝ හිරේ යවයි; නැත්නම් පරලොව යවයි. චීනය කරන දේවල් කළ හැක්කේ චීනයටම පමණි. එයට මෙහි ඇති හොඳම උදාහරණය පෝර්ට් සිටියයි. පෝර්ට් සිටිය සඳහා මුහුද ගොඩ කළෝ චීන්නුමය. ඒ සඳහා බඩු අපෙන් ය. මෙය ටිකක් අලූත් ආදර්ශයකි. බඩු අපෙන් – වැඩ උගෙන් යනුවෙන් මෙය අර්ථකථනය කළ හැක.

1960 දී අප දැන සිටියේ විදුලි භාණ්ඩ දෙකක් ගැන පමණි. ඉන් පළමුවැන්න රේඩියෝව ය. දෙවැන්න දොර තුනේ ඇඳුම් අල්මාරි තරම් විශාල ශීතකරණයන්ය. මෙකල කොළඹ නගරයේ විසූ කිහිපදෙනකු මිස සෙසු රට වැසියෝ රූපවාහිනිය ගැන අසා තිබුණේම නැත. බෝල රාමුව (ඝනක රාමුව) ගැන මිස කම්පියුටරය ගැන ඔවුන්ට කල්පනාවක් වත් නොවීය. එහෙත් මේ කියන 1960 දී පරිගණක දෙකක් අතර පණිවුඩ හුවමාරු කරන්නේ කෙසේද යන්න ගැන ඇමරිකානුවෝ පර්යේෂණ පවත්වමින් සිටියහ. අන්තර්ජාලය බිහිවන්නේ මෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි. අන්තර්ජාලය සතු භයානකම මෙවලම් තුනෙන් එකක් වූ යූ ටියුබ් 2005 දී බිහිවෙයි. අන්තර්ජාලය සතු දෙවන භයානකම මෙවලම වූ ෆේස්බුක් ඊට අවුරුද්දකට පෙර එනම් 2004 දී බිහිවෙයි. ඊළඟ මෙවලම වන වෙබ්සයිට් ඊටත් කලින් බිහිවෙයි. යූ ටියුබ් සහ ෆේස්බුක් යන දෙකම තරුණ ශිෂ්‍යයන් දෙදෙනකුගේ පර්යේෂණවල ප‍්‍රතිඵලයකි. බලගතු චරිතයක් මඩ ප‍්‍රහාර වලින් වසා මාසයක් තුළදී වනසා දැමීමට මේ වනවිට යූ ටියුබ් එකට පුළුවන. එසේම බලගතු ආණ්ඩුවක් සති කිහිපයක් තුළ දී අපකීර්තියට ලක් කිරීමට ෆේස්බුක් එකට පුළුවන.
මෙයට අවුරුදු කිහිපයකට පෙර අරාබිකරයේ ආණ්ඩු කිහිපයක්ම පෙරළා දැමූ අරාබි වසන්තය නමැති කැරලි මාලාව තනිකරම ක‍්‍රියාත්මක වූයේ ෆේස්බුක් හරහාය. ෆේස්බුක් එකට සපෝට් එක දෙන ලද්දේ යූ ටියුබ් එක හා වෙබ් අඩවි වලිනි. තවත් කුඩා කතාවක් කියමු. ආණ්ඩු වලට දේශපාලනඥයන්ට සහ පුද්ගලයන්ට මඩ ප‍්‍රහාර නොව අසූචි ප‍්‍රහාර එල්ල කරන බලගතු වෙබ් අඩවි අන්තර්ජාලයේ තිබේ. මේවා සයිබර් අවකාශය තුළ තහනම් කළ සැණින් ප්‍රොක්සි හරහා මතුවෙන්නට පටන් ගනී. ගැහැනු ළමයින් අලෙවි කරන වෙබ් අඩවි ගණනාවක් අදටත් ලංකාවේ තිබේ. මේවා වසා දැමිය නොහැක. එයට හේතුව ඒවා ක‍්‍රියාත්මක කෙරෙන ද්වාර ඇමරිකාවේ තිබීමය.
එබැවින් සමාජ ජාල මර්දනය කිරීමට හෝ තහනම් කිරීමට නම් සියලූම පරිගණක සහ සියලූම ස්මාර්ට් ෆෝන් රාජසන්තක කළ යුතු වන්නේය. පිහිය කැපෙනවා යැයි කියා එය තහනම් කරන රටක් නැත. පිහිය කැපෙනවා නම් කළ යුත්තේ පරිස්සමින් පරිහරණය කිරීමය. අන්තර්ජාලය යනු නවලෝක ප‍්‍රවනතාවකි. මෙහි අතුරුපල වන යූ ටියුබ්, වෙබ් සයිට්, ෆේස්බුක් යනාදිය ඉතා ප‍්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. මේ සියලූ දේ මගින් නරක දේ වගේම හොඳ දේ ද සිදුකරයි. දූෂණ හෙළි කරයි. දූෂකයන් හෙළි කරයි. පුරවැසියන්ගේ සහ නායකයන්ගේ වගකීම වන්නේ නම කැතවන කුණු ගොඩවල් වලට හසුනොවී බෙල්ල බේරාගෙන ජීවත්වන අතර යූ ටියුබ් චැනල් එකක් බලා අලූත් යමක් ඉගෙන ගැනීමය.

advertistmentadvertistment
advertistmentadvertistment