සමාජ මාධ්‍යයේ  පළ වන්නේ ජැක්සන්ගේ  රියේ ගැටුණු  වනඅලියා නොවේ – පශු වෛද්‍ය චන්දන ජයසිංහ

498

ජැක්සන් ඇන්තනි මහතා ගමන් කළ රියේ ගැටුණු වන අලියා බව පවසමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අලියාගේ ඡායාරූපය ව්‍යාජ එකක් බවත්, එම වනඅලියා සොයා ප්‍රතිකාර කිරීමට ඉන්ධන නොමැතිකම බාධාවක් වී ඇති බවත් පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ගමන් ගත් කැබ් රථයේ ගැටුණු වන අලියා බව පවසමින් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අලියාගේ ඡායාරූපය ව්‍යාජ එකක් බවත්, එම වන අලියා ඊයේ (4දා) දහවල් වන විටත් සොයා ගැනීමට නොහැකි වූ බවත් වයඹ සහ අනුරාධපුර කලාප භාර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.

එම වන අලියාගේ තත්ත්වය සොයා බලා ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් සෝදිසි කිරීමේ නිරත වුවද, ඉන්ධන නොමැතිකම හේතුවෙන් එම කටයුතුවලට බාධා මතුව ඇතැයි ද වෛද්‍ය චන්දන ජයසිංහ මහතා මෙහිදී පැවසීය.

මෙම අනතුරට සමගාමීව තුවාල සහිත වන අලියකුගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව පැවසූ ඒ මහතා, එම ඡායාරූපය මීට වසර කීපයකට පෙර අනතුරකට ලක්වූ ඉන්දියාවේ අලියකුගේ ඡායාරූපයක් බවද වැඩිදුරටත් කීවේය.

මෙම අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනි මහතාගේ සොහොයුරකු වන සමන් ඇන්තනි නමැත්තා ඊයේ (4දා) වන විටත් පෙනහළුවලට සිදු වූ හානි හේතුවෙන්, ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බවත්, එම රථයේ ගමන් කළ ඉරේෂ් ලක්මාල් නමැති අයගේ තත්ත්වය බරපතළ නොවන බවත්, ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු තිදෙනකු ගල්ගමුව, ගිරිබාව තඹුත්ත ප්‍රදේශයේ පිහිටි හච්චිකුච්චි විහාරස්ථානයේ රූගත කිරීමේ කටයුත්තකට සහභාගි වී ඉකුත් (2දා) රාත්‍රී දහයට පමණ අනුරාධපුර පිහිටි නවාතැන්පළට යමින් සිටියදී තලාව මොරගොඩ ප්‍රදේශයේදී, එම පිරිස ගමන් කළ කැබ් රථය වන අලියකුගේ ඇඟේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනි මහතා එදින රාත්‍රියේම වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණි.

මිහින්තලේ – රංග චතූ, නොච්චියාගම – එම්.එම්.ජී. පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment