සමාජ හා වෘත්තීය වගකීම නිවැරදිව ඉටු නොකළහොත් ජනතාව නැගී සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

135

කිසිවකු හෝ තම සමාජ හා වෘත්තීය වගකීම නිවැරදිව ඉටු නොකළහොත් ඊට එරෙහිව ජනතාව නැගී සිටිනවා. ඒනිසා සැමදෙනා තම සමාජ හා වෘත්තීය වගකීම නිවැරදිව ඉටු කරමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ ශ්‍රීලංකිකයින් ලක්ෂ තුනක් විදෙස් රැකියා සඳහා විදෙස්ගත කිරීමේ විදේශ  රැකියා අමාත්‍යාංශ වැඩසටහනට සමගාමීව විදේශ රැකියා නියුක්ති කාර්යංශය මගින් පසුගිය 14 වැනිදා මතුගම ශාන්ත මේරි මහ විද්‍යාලයේ පැවැති විදෙස් රැකියා පොළෙහි ආරම්භක ජනහමුවේදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා, අද අප රට වැටී ඇති අර්බුදය මත දරුවන් රට යෑමට කල්පනා කරනවා. එහිදී විදේශ රැකියා ආයතනයන් කෙතෙක් තිබුනත් මෙලෙස විදේශ රැකියා අමාත්‍යාංශය හා විදේශ රැකියා නියුක්ති කාර්යංශය මැදිහත්ව ඔවුන්ට නිවැරදි මගපෙන්වීමක් සිදු කිරීමෙන් හොඳ රටකට,  රැකියාවකට විධිමත් රැකවරණයක් යටතේ යෑමට අවස්ථාව සැලසෙනවා. එලෙස විධිමත්ව විදේශ රැකියාවන්ට යන තරුණ ප්‍රජාවට තම ජීවන තත්ත්වය උසස් තැනකට ගෙන ඒමට මෙන්ම අද අප රට මුහුණපා ඇති අර්බුදයෙන් ගොඩගැනීමට දායකවීමට අවස්ථාව ලැබෙනවා. දේශපාලනඥයින් හා නිලධාරීන් විදෙස්ගත ශ්‍රමිකයන් අප රටට එවන මුදල් ගසාකනවා, විනාශ කරනවා වැනි මතයන් සමහරක් අය පැතුරනවා. එවැනි තත්වයක් ඇති වුවහොත් ජනතාව ඊට එරෙහිව නැගී සිටිනවා. එනිසා සියලුම දේශපාලනඥයින් හා නිලධාරීන් තම සමාජ හා වෘත්තීය යුතුකම හා වගකීම නිවැරදිව ඉටු කළ යුතුයි.

මමත් මේ දිනවල අසනීප තත්වයෙන් සිටියත් මෙම විදෙස්  රැකියා සඳහා යෑමට අපේක්ෂා කරන තරුණ පරපුරට මගපෙන්වන මෙම අවස්ථාවට සහභාගි වූයේ එම තරුණ ප්‍රජාවගේ මෙන්ම අප රටේ ප්‍රගමනය සඳහා දායකත්වය දෙන මෙවැනි වැඩසටහන් සඳහා වැඩිහිටි අප සහයෝගය ලබාදීමට කටයුතු කළ යුතු නිසයි.

මෙම වැඩසටහන සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරනවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවල් මහතාද අදහස් දැක්වූ අතර බුද්ධ ශායන අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර, ප්‍රාදේශීය සභා සභාපති මෙරිල් මුණසිංහ, ජයසේන කඹුරාවල, උදේනි අතුකෝරල මහතුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් හා විදේශ රැකියා අමාත්‍යාංශ හා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

මතුගම විශේෂ-අනුර ජයසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment