සමාරම්භක තරගයෙන් සත්කාරකයන්ට දැවැන්ත පරාජයක්

170

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය ආරම්භ කරමින් සත්කාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සිඩ්නි ක්‍රීඩාංගණයේ පෙරේදා (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 89ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා  ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

 තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 200ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔස්ටේ්‍රලියා කණ්ඩායමට ඊට පිළිතුරු ලෙස ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 111ක් පමණි.

 නවසීලන්ත කණ්ඩායම ලකුණු 200 සීමාව කරා ගෙන යෑමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන් ආරම්භක පිතිකරු ඩෙවොන් කෝන්වේ පන්දු 58ක් තුළ නොදැවී ලකුණු 92ක් ලබා ගත්තේය.

 ඔහු සමග ඉනිම ආරම්භ කළ ෆින් ඇලීන් පන්දු 16 කදී වේගවත් ලකුණු හතළිස් 42ක් ලබා ගෙන ඔස්ටේලියානු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත පිති ප්‍රහාරයක් දියත් කළේය.

 පිළිතුරු ඉනිම ඇරඹූ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ පිතිකරුවන්ට ලකුණු අතරට ඒමට ඉඩක් ලබා නොදුන් නවසීලන්ත පන්දු යවන්නෝ ඔස්ටේ්‍රලියා ඉනිම 18 වැනි පන්දු වාරයේ පළමු පන්දුවේදී නිමා කරන්නට සමත් වූහ. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ටිම් සවුතී සහ මිචෙල් සැන්ට්නර් කඩුලු තුන බැගින් දවාගත් අතර ට්‍රනේට් බෝල්ට් කඩුලු දෙකක් බිඳ හෙළීය. තරගයේ වීරයා සම්මානය ඩෙවොන් කෝන්වේ ට හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment