සමිඳු වදන් අනුව ජීවිතය හැඩ ගස්සමු

279

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසා වදාළ අති උතුම් වූ ධර්මය පිළිගෙන එය අසාදැන ඒ අනුව ජීවත්වීමය. වෙර වෑයම් දරන අපි වාසනාවන්ත වෙමු. මෙය අකුරටම පිළිපැදීමට අපොහොසත් වන අපගේ මානව දුබලතාව අපට වඩා හොදාකාරව දන්නා දෙවි පියාණන් වහන්සේ අපේ වෑයම අගයමින් වැටෙන වැටෙන සෑම මොහොතකදීම අපට අතහිත දෙන සේක.

දෙවි පියාණන් වහන්සේගේ ඒකායන අභිමතාර්ථය අනුව උන්වහන්සේ සුවිශේෂකාරයෙන් තෝරාගන්නා ලද ලොව පහළ වූ අතිඋතුම් කාන්තාව වන මරියතුමිය මගින් ලොවට තිළිණ කරන ලද දේව පුත්‍රයාණන් දෙසූ දහම ඇදහීම එතරම් ලෙහෙසි පහසු නැති බව අපි පිළිගත යුත්තෙමු.

එසේ වුවද විශේෂයෙන් ලොව පුරා විසිරී පැතිරී සිටින කතෝලිකයෝ ජේසුස් වහන්සේ දෙසූ දහමට පංගුකාර වීම ගැන අවංකව සතුටු විය යුත්තාහ. මන්දයත් එකම දෙවිපියාණන් වහන්සේගේ පීතාක ආශිර්වාදය සෘජුවම අපට ලැබීම නිසාය.

ශුද්ධ බයිබලයට අනූව දෙවිපියාණන් තෝරා ගත් දේව ජනතාව වන ඊශ්‍රායෙල් ජනතාව කෙරෙහි පියාණන් වහන්සේ ප්‍රේමය අතිශය මහත් වූ අතර, වර්තමාන ලෝකය තුළ

දිවිගෙවන අප ද එක්තරා ආකාරයකින් තෝරාගත් ජනතාවක් බව හැඟෙන දැනෙන හෙයිනි. එසේ වුවද ඊශ්‍රායෙල් ජනතාව වරදට පෙළඹුණ විට දඬුවම් කලාක් මෙන් අපට ද උන්වහන්සේ ගේ දඬුවම හිමි නෙවෙතැයි කාට කිව හැකිද?

පැරණි ගිවිසුමේ ‘නික්මයාම’ ග්‍රන්ථයේ සඳහන් වන පරිදි වරදට දඬුවම් කළ ද කිසිදා ඔවුන් අතහැර නොදැමූ බව ද හොඳාකාරවම පැහැදිලි වෙයි. දෙවියන් වහන්සේ “ප්‍රේමය” වන බව ජේසු සමිදාණන් ඉගැන්වූ බවද අපි දනිමු.

තම දූ දරුවන්ට ආදරය කරන තාත්තා වරදකරන දරුවෙකුට දඬුවම් කරන නමුත් සැබෑ පියෙකු නම් ඔහුට/ ඇයට ද්වේෂ කරන්නේ නැත. දුබල මව්පියන් වන අප එසේ කරන්නේ නම් දෙවිපියාණන් වහන්සේ දඬුවමක් දුන්න ද කිසිදා තම ප්‍රේමණීය ආදරය අහිමි කරගන්නේ නැත.

කොයි හැටි කෙසේ දැයි හරියටම අප අදහන දෙවිපියාණන් වහන්සේ දන්නා බව අපි තරයේ විශ්වාස කරමු. උන්වහන්සේ නොදැන කිසිවක් සිදු නොවන බව අප අදහන බැවිනි. කෙසේ වුවද මෙම වසංගතය පැතිරීමට පෙරාතුව ලොව තුළ “පාපය” විරාජමාන වූ බව නම් අපට පෙනී ගියේය. සමහර එවන් රටවල “පල්ලි” හිස් වූ බවත් දහම ඇදහීම නමට පමණක් වූ බවත් අසන්නට ලැබුණි. කෙසේ වුවද ලොව තුළ “සාතන්ගේ බලපෑම” ගජරාමෙට සිදුවූ බවට මධ්‍යස්ථව සිතන විට පැහැදිලිය. කතෝලික ජනතාව අතර සැබෑවටම දහම තුළ ජීවත්වන ජනතාවක් නැත්තේය යන නිගමනය අපට තීන්දු කළ නොහැකිය. මන්දයත් “විනිශ්චය” අපට අයිති නැති දෙයක් වන බැවිනි.

මානවදයාවෙන් යුතුව එකිනෙකා පිළිගැනීමකින් තොරව දෙවිපියාණන් මැවූ මැවිල්ලේ “උතුම්ම” නොහොත් “මුදුන් මල්කඩ” වන මිනිසාට, මිනිසා විසින්ම සිදුකරන ව්‍යසනයන් ගැන අද වනවිට ඕනෑ තරම් උදාහරණ අපට සොයාගත හැකිය. කොරෝනා වසංගතයට හේතු වූ කරුණ ගැන හරියටම අපට කිව නොහැකි නමුත් දේව කෝපයක් දැයි අනුමාන කරන්නට ද බැරිකමක් නැතැයි අපට හැඟේ.

ලොව තුළ වැඩි වශයෙන් අද පාපයට ඇදී යෑම පිළිබඳව සිතා බලන විට ඒවා කීපයක් මෙසේ පෙළගස්සවා ගත හැකිය. ශු බයිබලයට අනුව, මුල් පාපය ලෙස ද සඳහන් වන “උඩඟුව” අද වනවිට මිනිසා තුළ ව්‍යාප්ත වී ඇති බරපතළ පාපයක් ලෙස සඳහන් කළ හැකිය. ලොව පුරා “සාතන්” සක්‍රීය වී ඇති බව පෙනේ. මානව දයාව වෙනුවට සහෝදරිය නොහඳුනන සහෝදරයත්, දියණිය නොහඳුනන පියවරුන්, මිත්තණිය නොහඳුනන මුණුබුරන් ආදී වශයෙන් දෙවිපියාණන්ගේ උදහසට ලක්වන පාපී ජීවිත පිළිබඳව වාර්තා වන්නේ ඉඳහිට නොවේ. එසේම “ගබ්සාව” “මිනිමැරීම්” අනියම් සබඳතා, අසභ්‍ය චිත්‍රපට, කාම අපරාධ ආදිය වෙත තවදුරටත් වඩා වැඩි බව විවිධ මාධ්‍යවලින් වාර්තා වෙයි. දෙවියන් වහන්සේ ස්ථාපිත කළ විවාහ සක්‍රමේන්තුව බොහෝ තැනක හෑල්ලුවට ලක්වී ඇත. “සමූහ මිනිමැරුම්” වර්ගවාදී යුද්ධ ආදිය ලොව සිව්දෙසින් වාර්තා වෙයි. විශේෂයෙන් කතෝලික ජනතාව අතර “ශුද්ධ බයිබලයේ” ඉගැන්වීම් පාදක කරගෙන ජීවිතය ලස්සන කර ගැනීමට වෙර දරන පිරිසක් ද ලොවෙහි නැත්තේ නොවේ. සාතන්ගේ අනියත බලපෑම් වලින් මිදී යාච්ඤාවේ ජීවිතයක් ගත කරමින් ජීවිතයට හර පද්ධතියක් ඇතුළු කරගන්නා පිරිස් ද මේ අතර වීම වාසනාවකි.

සාමාන්‍යයෙන් එදත් අදත් “කළුසුදු” දෙවර්ගයේම චරිත ලොව තුළ ජීවත් වූ බව ශු. බයිබලය සාක්ෂිදරයි. එසේ වුවද වර්තමානයේ තරම් ලොව පාපයට වහල් වූ ජීවිත බහුල යුගයක් නැති තරමට නරක ආරංචි ලොව සතර දෙසින් ලැබෙයි.

කෙසේ වෙතත් දෙවියන්වහන්සේගේ උතුම්ම මැවිල්ල වන මිනිසාට ප්‍රේමකරන බව විශ්වාස කරන අපි මෙවන් අවස්ථාවලදී අපේ යාච්ඤාවේ ජීවිතය වඩාත් ශක්තිමත් කරගත යුත්තෙමු යැයි අපට හැඟේ. අප ජීවිතවලදී යළි මානවදයාව සමීපකර ගැනීමට එයින් මඟ පෑදෙනු නොඅනුමානය. සියල්ල කළ හැකි දෙවියන්වහන්සේ තරයේ අදහා ගැනීමට උත්සුක වෙමු. එවැනි සිතිවිල්ලක් තුළින් අපට මනා ආත්ම ශක්තියක් ඇතිකර ගත හැකිවනු නිසැකය.

සී.ආර්. ඩික්සන් ඇන්ටනි
රාගම විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment