සමුදුර, අහස සහ පොළොවද සුරකින තිරසාර බලශක්තියේ ලක්විජය මාවත

150

අඳුර දුරු කර, දේශයට කුළුණුබර වූ වයඹ අහසේ කුලුනු ත්‍රිත්වය

ලක්විජය බලාගාරය ලිපි අංක – 4

ජාතියේ බලශක්ති බලවතා ලෙස අනභිභවනීය සේවයක් සලසන ලක්විජය බලාගාරය නූතන ලක්දිව ශිෂ්ටාචාරයේ බලශක්ති බර දරාගත් කුලුනය. නොරෝච්චෝලේ අහස මතින් නැඟී සිටින ඒ මහා කුලුනු ත්‍රිත්වය, මේ ජාතියට බලශක්තියෙන් කුළුණුබර නොවන්නට ඔබත් මමත් මේ මොහොතේ ද සිටිනු ඇත්තේ අඳුර දරාගෙන ය. බලශක්ති ඌනතාවයෙන් පෙළෙන ශ්‍රී ලංකාව මේ මොහොතේ ද මේ තරමින් හෝ පෝෂණය කරන්නේ ලක්විජය බලාගාරය ය. ලක්විජය බලාගාරය සැබැවින් ම ජාතියේ ප්‍රණාමයට පාත්‍ර විය යුතු සම්පතකි.

එහෙත් සිරිත් පරිදි ම එක් එක් කුමන්ත්‍රණනීය අවශ්‍යතා මත සහ නිවැරැදි තොරතුරු සන්නිවේදනය වීමේ ඌනතා මත මේ බලාගාරය ද ජනතා උදහසට ලක් වන ස්ථානයක් බවට පත්ව ඇත. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා දරන උත්සාහයකි මේ. දිවයින මාධ්‍යය කණ්ඩායමක නිරීක්ෂණ චාරිකාවක් ලෙස, ලක්විජය ගල්අඟුරු බලාගාරය සහ ජාතියේ බලශක්ති අවශ්‍යතාවය පිළිබඳව පසුගිය සතියේ සිට ලිපි මාලාවක් අපි ආරම්භ කළෙමු. එම ලිපි මාලාවේ සිව්වැන්න මෙවර පළවේ.

බලශක්තිය නිපදවන ඕනෑම ක්‍රමයකින් පරිසරයට හානි සිදු වුවද වත්මන් සමාජයේ ඇති ප්‍රධානතම කතිකාවලින් එකක් වන්නේ ගල් අඟුරු බලාගාරයකින් සිදු විය හැකි පරිසර හානියයි. ලක්විජය බලාගාරයේ පරිසර නියාමන කටයුතු ලංකා රජයේ සියලු රෙගුලාසින්ට යටත්ව සිදු කරන අතර ඒ සඳහා මූලික වශයෙන් වයඹ පළාත් පරිසර අධිකාරිය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කරයි.

පරිසරය යනු අප අවට ඇති වාතය, ජලය හා පස යනාදිය වේ. පරිසරය නිරීක්ෂණය කිරීම සඳහා කාර්මික තාක්ෂණ ආයතනය (ITI), ජල සම්පත් මණ්ඩලය (WRB), ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) ආයතනය සෘජුවම සම්බන්ධ වේ.

අප මාධ්‍ය කණ්ඩායමේ නිරීක්ෂණ චාරිකාවේදී, බලාගාරයේ ක්‍රියාත්මක තත්ත්වය හේතුවෙන් පරිසරයට සිදු වන බලපෑම අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග නිරීක්ෂණය කරන ලදි.

  1. වාතයේ ගුණාත්මකභාවය රැක ගැනීම
සමුදුර, අහස සහ පොළොවද සුරකින තිරසාර බලශක්තියේ ලක්විජය මාවත
විදුලි බලාගාරය අවට ඇති අධීක්ෂණ ස්ථාන

ගල් අඟුරු යනු බහුලව කාබන් අඩංගු ද්‍රව්‍යයකි. ගල් අඟුරු දහනය කරන විට තාප ශක්තිය නිපදවෙන අතර විමෝචන වායු සහ අළු අතුරුපල ලෙස නිෂ්පාදනය වේ. අනෙකුත් දහනයන්වලදී මෙන් ගල් අඟුරු දහනයේදීද විශාල ලෙස කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වේ. එසේම නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් වැනි වායුන් වර්ග ද නිපදවේ.

නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඇති වීම වැළැක්වීම සඳහා Low NOx Burner තාක්ෂණය භාවිතා කරයි. ස්ථිතික විද්‍යුත් අවක්ෂේපය (ESP) හරහා වායුව ගමන් කිරීමේදී විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය හරහා අළු අලවාගෙන ඉවත් කිරීම සිදුකරයි. අඩු සල්ෆර් ප්‍රමාණයක් ඇති ගල් අඟුරු භාවිතා කරන අතර එයින් සෑදෙන සල්ෆර් ඩයොක්සයිඩ්ද සල්ෆර් ඉවත් කරන ඒකකය (FGD) මගින් ඉවත් කරයි.

එසේ වුවද වායු ගෝලයට විමෝචන වායුව නිකුත් වීම ආකාර දෙකකින් නිරතුරුවම නිරීක්ෂණය කරයි. එනම් දුම් කුලුනු හරහා බැහැර වන දහන වායු නිරීක්ෂණය. (Stack emission monitoring) සහ අවට වාතයේ තත්ත්ව නිරීක්ෂණයයි (Ambient air quality monitoring).

1.1. දුම් කුලුනු හරහා බැහැර වන දහන වායු නිරීක්ෂණය

බලාගාරයේ එක් එක් ඒකකය සඳහා වූ දුම් කුලුනු (Stack) තුලින් ගමන් කරන පිටාර වායු (Flue gas) ප්‍රධාන ආකාර තුනකින් නිරීක්ෂණය කරනු ලබයි.

I. අඛණ්ඩ විමෝචක නිරීක්ෂණ පද්ධතිය (CEMS).

චිමිනියේ මීටර් 30 මට්ටමේ සවිකර ඇති සංවේදක මඟින් අඛණ්ඩව පිටාර වායු විශ්ලේෂණය සිදු කරයි. මෙහිදී පිටාර වායුවල සිදු වන සුළු වෙනස්වීම් පවා පැහැදිලි ලෙස නිරීක්ෂණය කළ හැකිය. මෙම සංවේදක මඟින් ජනනය වන දත්ත විශේෂිත වූ පරිගණක පද්ධතියක් තුළ ගබඩා වීම සිදු වේ.

II.තෙවන පාර්ශ්වයන් හරහා සහ ලක්විජය බලාගාරයේ පරිසර නිරීක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන පිටාර වායු නිරීක්ෂණය.

වසරේ සෑම කාර්තුවකම දුම් කුලුනු තුළ මීටර් 30 මට්ටමේ දී ලබා ගන්නා වායු සාම්පල ITI ආයතනයේ විද්‍යාගාර තුළ විශ්ලේෂණය කිරීම සිදු කරයි. මෙම අධීක්ෂණ කටයුතු මගින් ද පැහැදිලි වනුයේ බලාගාරයේ වායු විමෝචනය, ධාරන සීමා ඉක්මවා යෑමක් කිසි විටෙකත් සිදු නොවන බවයි.

1.2. අවට වාතයේ තත්ත්ව අධීක්ෂණය

සමුදුර, අහස සහ පොළොවද සුරකින තිරසාර බලශක්තියේ ලක්විජය මාවත

අවට වාතයේ වායු සාන්ද්‍රණ වෙනස් වීම් ITI මඟින් තෝරා ගන්නා ලද ස්ථාන 10 ක් සහ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල ද එක් ස්ථානයක් ලෙස යොදා ගනිමින් නිරීක්ෂණ කටයුතු වසරේ ප්‍රධාන මෝසම් කාල දෙක සහ අන්තර් මෝසම් කාල දෙක නියෝජනය වන පරිදි සිදු කරනු ලබයි. මෙම අධීක්ෂණ වැඩසටහනේදී මයික්‍රො මීටර් 2.5 ට වඩා අඩු අංශු, මයික්‍රො මීටර් 10.0 ට වඩා අඩු අංශු, SO2 වායු, NO2 වායු, O3 වායු සහ CO වායු සාන්ද්‍රණ නිරීක්ෂණය කරයි.

මේ දක්වා සිදු කර ඇති නිරීක්ෂණ අනුව කිසිදු අවස්ථාවක වායු සාන්ද්‍රණ වයඹ පළාත් පරිසර අධිකාරිය මඟින් ලබා දී ඇති ධාරන සීමා ඉක්මවා යෑමක් සිදු වී නොමැත.

පසුගිය කාලයේ මාධ්‍ය කිහිපයක් හරහා ලක්විජය විදුලි බලාගාරයේ විමෝචන වායු මගින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හට බලපෑම් එල්ල වන බවට විවිධ ප්‍රවෘත්ති පළවීම නිසා 2018 වසරේ සිට ITI ආයතනය මඟින් එම ස්ථානයේ සියලු මෝසම් කාල නියෝජනය වන පරිදි නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදි. ඊට අදාළ නිරීක්ෂණ දත්ත වගුව පහත දක්වා ඇත.

මෙම සියලුම නිරීක්ෂණ වාර්තාවන්ට අනුව කිසිදු අවස්ථාවක නිරීක්ෂණ වායුවල ධාරණ සීමා ඉක්මවා යෑමක් ද සිදු වී නොමැත.

● ගල් අඟුරු අංගනය තෙත මට්ටමින් පවත්වාගෙන යාම

සමුදුර, අහස සහ පොළොවද සුරකින තිරසාර බලශක්තියේ ලක්විජය මාවත

ගල් අඟුරු අංගනය දිශා 03 කින් ආවරණය වන ලෙස මීටර් 15 ක උසින් යුතු සුළං බාධකයක් ඉදිකර ඇත. මෙමගින් සුළඟේ වේගය පාලනය කර දූවිලි පැතිරීම අවම කරයි. ගල් අඟුරු අංගනයේ ජල විසිරුම් පද්ධති, ජලය විසිරුවන යන්ත්‍ර යනාදී ජල විසිරුම් ක්‍රම භාවිතයෙන් තෙත තත්ත්වයක් පවත්වා ගැනීම සිදු කරයි. ප්‍රවේශ මාර්ගවල තත්ත්වය, මෙහෙයුම් සිදු කරනු ලබන ප්‍රදේශය, ක්‍රියාත්මක වන ජල විසිරුම් යන්ත්‍ර ගණන, ගල් අඟුරු ගොඩ මුදුනේ සුළගේ වේගය, ක්‍රියාත්මක වන ඩෝසර් ගණන, සුළං බාධකය මත ඇති ජල විසිරුම් පද්ධතියේ ක්‍රියාකාරිත්වය වරින් වර සිදු වන ආකාරය නිරීක්ෂණය කරයි. ඉහත කාරණා ඉටුකිරීම තුළින් දූවිලි ව්‍යාප්තිය සීමා වී ඇත.

  1. සාගර ජලයේ හා භූගත ජලයේ ගුණාත්මකතාවය පවත්වාගෙන යෑම

සාගර ජලය

ගල් අඟුරු මගින් විදුලිය නිපදවීමේදී හුමාලය සෑදීමටත් සිසිලන කටයුතු සඳහාත් ජලය විශාල වශයෙන් අවශ්‍ය වේ. බලාගාරය සෑදීමට භූමිය තෝරා ගන්නා අවස්ථාවේදී සිටම මෙය සැලකිල්ලට ගන්න කරුණකි. ලක්විජය බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතුවලට භූගත ජලය යොදා නොගන්න ලෙසට දන්වා ඇති බැවින් බලාගාරයේ සියලු කටයුතු මුහුදු ජලයෙන් සිදු කරයි. මෙම ජලය ලබා ගැනීම සහ නැවත පිට කිරීම ITI, NARA සහ MEPA යන ආයතන මගින් නිරීක්ෂණය කිරීම සිදු කෙරේ.

සමුදුර, අහස සහ පොළොවද සුරකින තිරසාර බලශක්තියේ ලක්විජය මාවත

ITI විසින් සෑම වසරකම කාර්තු 04 ආවරණය වන පරිදි සිසිලන පද්ධතියෙන් බැහැරවන ජලයේ ගුණාත්මකතාවය පරීක්ෂා කරනු ලබයි. ප්‍රතිඵලවලට අනුව ජලයේ බැර ලෝහ වාර්තාවී නොමැති අතර සාගරයට නැවත බැහැර වන ජලයේ උෂ්ණත්වය විචලනය වන අයුරු ඉහත ප්‍රස්තාර මගින් දක්වා ඇත.

ජල තත්ත්ව විශ්ලේෂණ වැඩසටහනේදී බැහැරවන සිසිලන ජලයේ සංයුතියේ සාමාන්‍ය අගයන් පළාත් පරිසර අධිකාරිය මගින් ප්‍රකාශිත ධාරණ සීමාවන්ට අනුකූල වේ. ඇතුල්වීමේ සහ පිටවීමේ ජලයේ සාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් අංශක 5 ක් පමණ වේ.

NARA ආයතනය මගින් මුහුදු පතුල සමීක්ෂණය, යාබද වෙරළබඩ ප්‍රදේශවල උෂ්ණත්ව විචලනය තක්සේරු කිරීම සහ අවසාදිත ප්‍රවාහන විශ්ලේෂණය, ජලයේ ගුණාත්මකභාවය සහ බැර ලෝහ අධ්‍යයනය සහ සමුද්‍ර ජීව විද්‍යාත්මක සමීක්ෂණය යන ක්ෂේත්‍ර ආවරණය වේ.

අධ්‍යයනයේදී සාගර ජීව විද්‍යාත්මක සමීක්ෂණයක් ද සිදු කරන ලදි. මෙහිදී ශාක සහ සත්ත්ව ප්ලවාංග විශේෂ විවිධත්වයේ වෙනසක් නොමැති බව තහවුරු වී ඇත. අතීතයට සාපේක්ෂව වර්තමානයේ බලාගාරය අවට වෙරළ තීරයේ මසුන් අස්වැන්නේ ඉහළ යෑමක් හා මත්ස්‍ය විවිධත්වයේ වැඩි වීමක් නිරීක්ෂණය වේ.

භූගත ජලය

සමුදුර, අහස සහ පොළොවද සුරකින තිරසාර බලශක්තියේ ලක්විජය මාවත

කල්පිටිය අර්ධද්වීපය පිහිටා ඇත්තේ පුත්තලම කලපුව හා සාගරයට මායිම්වයි. මේ හේතුවෙන් මිරිදිය භූගත ජලය පොළව මතුපිටට ආසන්නයේ ඇත. එමෙන්ම මෙම ප්‍රදේශයේ ඉහළ විද්‍යුත් සන්නායකතාවයක්, ලවණතාවයක් හා සල්ෆෙට් සාන්ද්‍රණයක් පෙන්නුම් කරයි.

ලක්විජය බලාගාරය, භූගත ජලය භාවිතා කරන්නේ උද්‍යාන අලංකරණ කටයුතු සඳහා සහ අළු අංගණයේ තෘණ වර්ධනය සඳහා පමණකි. මේ සඳහා WRB අනුමැතිය ලැබී ඇත. භූගත ජලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීම සඳහා ලක්විජය බලාගාරය ඇතුළතින් සාම්පල 15ක් සහ අවට ගම්මාන හතරකින් සාම්පල 35ක් ලබා ගනී.

ඉහත නිරීක්ෂණ අනුව පෙනී යන්නේ භූගත ජලය ලබා ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කළ බැවින් ප්‍රධාන පරාමිතියන් ඉතා ප්‍රශස්ත මට්ටමක පවතින බවයි.

අපජලය පිරිපහදුකරණය

අපජලය පිරිපහදු කරන ප්‍රධාන ස්ථාන තුනක් පවතින අතර පිරිපහදුවෙන් පසු ජලය නැවත භාවිතා කිරීම සිදු කරයි. ඒවා නම් කාර්මික අපජලය පිරිපහදු ඒකකය, මලාපවහන පද්ධතිය සහ ගල් අඟුරු සහ අළු අපජලය පිරිපහදු ඒකකය වේ. ITI මගින් ත්‍රෛමාසිකවද, පරිසර ඒකකය විසින් සතියකට දෙවරක් බැගින්ද, මෙම එක් එක් පිරිපහදු ඒකකයන්ගෙන් බැහැර කරන ජලය පළාත් පරිසර අධිකාරිය විසින් දී ඇති ධාරණ සීමාවන්ට අනුකූලදැයි පරීක්ෂා කරනු ලබයි. එම ඒකකවල අගයන්, අපජලය පරිසරයට මුදා හැරීමට අදාළ ගැසට් පත්‍රයේ ප්‍රමිතීන්ට අනුකූලව පවතී.

  1. ශබ්ද හා කම්පන මැනීම

බලාගාර මායිමේ ශබ්ද මට්ටම් (noise levels) සහ කම්පන මට්ටම් (vibration levels) නිරීක්ෂණය අඛණ්ඩව සිදු කරන අතර එහි අගයන්ට අනුව වයඹ පළාත් පරිසර අධිකාරිය මගින් ලබා දී ඇති ධාරණ සීමා ඉක්මවා යෑමක් සිදු වී නොමැත.

  1. අතුරු නිෂ්පාදන කළමනාකරණය
සමුදුර, අහස සහ පොළොවද සුරකින තිරසාර බලශක්තියේ ලක්විජය මාවත

ගොඩනැගිලි කර්මාන්තයට අත්‍යවශ්‍ය පියාසර අළු (Fly Ash) ලබා දීමෙන් විදේශ විනිමය රු. බිලියන 06ක් පමණ වසරකට අප රටට ඉතිරි කර දෙයි.

බලාගාරය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන විට දිනකට පියාසර අළු මෙ.ටොන් 925 ක් නිපද වේ. මෙම අළු බලාගාරයේ ඇති ස්ථිති විද්‍යුත් අවක්ෂේපක (ESP) මගින් රඳවාගෙන ගබඩා කරනු ලබයි.

පියාසර අළු සිමෙන්ති නිෂ්පාදනයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යකි. බලාගාරයේ නිපදවෙන පියාසර අළු ලංකාවේ ඇති ප්‍රධාන සිමෙන්ති කර්මාන්තශාලාවලට සහ කොන්ක්‍රීට් කර්මාන්තය සඳහා විකුණනු ලබයි. මෙසේ විකිණීමෙන් වසරකට රු. මිලියන 700 ක් පමණ උපාය ගනී.

ලක්විජය බලාගාරයෙන් පියාසර අළු ලබාදීමට ප්‍රථම ඉන්දියාව වැනි රටවල්වලින් පියාසර අළු මෙරටට ආනයනය කිරීම සිදු කරන ලදි.

පියාසර අළු භාවිතයෙන් තත්ත්වයෙන් උසස් කොන්ක්‍රීට් වර්ග සාදා ගත හැක. ලංකාවේ මෑතකදී ඉදිකළ උස් ගොඩනැගිලි සියල්ලටම පාහේ ලක්විජය බලාගාරයේ පියාසර අළු සහිත කොන්ක්‍රීට් යොදා ඇත. පසුගිය වසරේදී භාවිතයට ගැනුණු නව කැලණි පාලම සඳහා ද ලක්විජය බලාගාරයේ පියාසර අළු භාවිතයට ගෙන ඇත.

ගල් අඟුරු දහනයේ දී නිපදවෙන බර අළු (Bottom Ash) බොයිලරය පතුලේ එක්රැස්වීම සිදු වේ. උපරිම ධාරිතාවයෙන් බලාගාරය ක්‍රියාත්මක වන විට බර අළු මෙ.ටොන් 90ක් දිනකට නිපද වේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගඩොල් සහ අනෙකුත් කොන්ක්‍රීට් නිෂ්පාදන සඳහා වැලි, චිප්ගල් කුඩු වෙනුවට මෙම බර අළු යොදාගත හැකිය. මෙම බර අළු යොදා ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත නිෂ්පාදන කටයුතු දිරිගැන්වීම සඳහා ජාතික ඉංජිනේරු පර්යේෂණ සංවර්ධන ආයතනය මගින් ප්‍රදේශයේ සුළු පරිමාණ කර්මාන්තකරුවන් වෙත තාක්ෂණික දැනුම ලබා දී ඇති අතර එම අයවළුන් හට බලාගාරයෙන් බර අළු ලබා ගැනීම සඳහා බලපත්‍රයක් ද ලබා දී ඇත.

අළු අංගනය

සමුදුර, අහස සහ පොළොවද සුරකින තිරසාර බලශක්තියේ ලක්විජය මාවත

සැහැල්ලු අළු හෝ බර අළු කිසියම් පාර්ශවයක් විසින් රැගෙන නොයන අවස්ථාවක විශේෂයෙන් ඉදිකළ අංගනයක තැන්පත් කිරීම සිදු කරයි. අළු අංගනය නිර්මාණය කර ඇත්තේ අළු අංගනයේ ජලය භූගත ජලය හා මිශ්‍ර නොවන ලෙස පතුලට ඝන පොලිතීන් ආවරණයක් යොදා එමගින් රැස්වන අපජලය පිරිපහදු ඒකකය වෙත යොමු වන ලෙසටය.

අළු අංගනයේ බටහිර මායිම ආවරණය වන පරිදි මීටර් 15 ක් පමණ උස සුළං බාධකයක් ඉදිකර ඇත. අළු අංගනය මතුපිට වැලි තට්ටුවකින් ආවරණය කර ඒ මත තෘණ හා පැළෑටි වගා කිරීමෙන් සහ පියාසර අළු ජලය සමග මිශ්‍ර කර සෑදෙන ද්‍රාවණයෙන් ආවරණය කර අළු අංගනයේ අළු සුළඟට ගසාගෙන යෑම සම්පූර්ණයෙන් වළක්වා ඇත.

අළුවලින් ගඩොල් සැදීම

ඉහත අළු අංගනයේ ගොඩගසා ඇති අළු භාවිතයෙන් ඉදිකිරීම් සඳහා අත්‍යවශ්‍ය වන ගඩොල් සෑදිය හැකිය.

අළු භාවිතයෙන් සාදා ගන්නා AAC (Autoclaved Aerated Concrete) ගඩොල් ශක්තිමත් සැහැල්ලු ගඩොලක් වන අතර උස ගොඩනැගිලිවලට භාවිතයෙන් ආර්ථික වාසි ලබා ගත හැකිය. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රසිද්ධ පුවත්පත් මගින් ආරාධනා ලබාගෙන ගඩොල් සෑදීමේ කර්මාන්තශාලා 07ක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇත. මෙම අතුරුපල භාවිතයෙන් ගංගා වැලි භාවිතය අවම කළ හැකි අතර රටේ පරිසර පද්ධතියේ ආරක්ෂාවට එය මනා පිටිවහලක් වේ.

  1. සමාජ සුභසාධන ව්‍යාපෘති
සමුදුර, අහස සහ පොළොවද සුරකින තිරසාර බලශක්තියේ ලක්විජය මාවත

ලක්විජය බලාගාරය මඟින් සමාජ සත්කාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ව්‍යාපෘති සඳහා ලක්විජය බලාගාරයේ අළු විකිණීමෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇත. තවද මෙම සමාජ සත්කාර සේවා ක්‍රියාත්මක කිරීම සඳහා කල්පිටිය හා පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරුන්, ලක්විජය බලාගාරයේ නිලධාරීන් ගෙන් සැදුම්ලත් කමිටුවක අධීක්ෂණය හා අනුමැතිය ලබා ගැනීම සිදුකරයි.

මේ යටතේ ප්‍රදේශය අවට පාසල්වල පන්ති කාමර පිළිසකර කිරීම්, නව ගොඩනැගිලි ඉදිකිරීම, පාසල් සඳහා අධ්‍යාපනික උපකරණ ලබාදීම, ප්‍රජා ශාලා ඉදිකිරීම්, මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීම, ප්‍රධාන මාර්ගය අසල මගී ආවරණ ඉදිකිරීම, මාර්ග දෙපස පැළ සිටුවීම හා නඩත්තුව, පුත්තලම කලපුව අසල කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහන් යනාදිය සඳහන් කළ හැකිය.

යාබද මුහුදු ප්‍රදේශයේ ධීවර සම්පත් සහ ජෛව විවිධත්වය සංවර්ධනය කිරීමේ අරමුණින්, ලක්විජය බලාගාරය සහ MEPA ආයතනයෙහි විශේෂඥයින් එක්ව 2022 වර්ෂය තුළ තලවිල කොරල් පරය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත. 2022 වසරේ මුල් භාගයේ තලවිල කොරල් පරය ආසන්නයේ කෘත්‍රිම ගල්පර 40 ක් තැන්පත් කරන ලදි. මෙම වාරකන් සමය අවසානයේ එම ගල්පර මත සජීවී කොරල්පර කැබලි සිටුවා තලවිල පරය අසල කෘත්‍රිම කොරල්පරයක් සෑදීමට නියමිතය. මෙමගින් තලවිල කොරල්පරයේ ජෛව විවිධත්වය ඉහළ නැංවීමට දායකත්වය ලබාදෙයි.

සමුදුර, අහස සහ පොළොවද සුරකින තිරසාර බලශක්තියේ ලක්විජය මාවත

මෙම පරිසර නිරීක්ෂණ හා ආරක්ෂණ ක්‍රියාකාරකම් සියල්ල එක්ව සැලකූවිට බලාගාරයේ පාරිසරික තත්ත්වයන්හි උන්නතියට සහ වත්මන් සත්‍ය තත්ත්වය හඳුනා ගැනීමට මනා පිටිවහලක් මෙමඟින් ලබා දී ඇත. සැබෑ තත්ත්වය පිළිබඳව හොඳින් අවබෝධ කර ගැනීම වඩා හොඳ අනාගතයක් සඳහා වන නිවැරදි තීරණ ගැනීම සඳහා අමතර පිටිවහලකි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment