සමුද සෘෂිවරයා ලොවට දායාද කළ විශ්මිත අංග ලක්‍ෂණ ශාස්ත‍්‍රය

519

පසුගිය සතියේ මෙහි  පළමු කොටස පළවිය

 ස්ත‍්‍රී ලක්‍ෂණ වගේම පුරුෂ ලක්‍ෂණ තියෙන විෂයයන් පුරාණ සිව්සැට කලාවන්ට අයිතියි. මෙහිදී ශරීරයේ උස, බර  ගමන් විලාසය, අංග ප‍්‍රත්‍යංගවල ගැළපීම, ශක්තිය, සමේ පාට, කට හඬ, ස්වභාවික ගති ගුණ, උත්සාහවන්ත බව ආදී කරුණු ගැනත් සොයා බලනවා. පුරාණ පොත්වල රජ කෙනකුගේ් ශරීර ලක්‍ෂණ ගැන කියා ඇතත් මෙකල රජවරු ඒත් රාජ්‍ය පාලනයේ යෙදෙන අයත් රජු වශයෙන් සැලකිය හැකියි. රජකුගේ පාදවලින් දහඩිය දමන්නේ නැති බව කියැ වෙනවා. කුල්ලක් වගේ හැඩයට වියළි ගියාවූත් නහර ඉල්පුනාවූත් පාදවලින් පෙර පින් නැති බව කියැ වෙනවා. එක් එක් රෝම කූපයන් තුළින් එක රෝමයක් පමණක් ඇත්තේ රාජයෝග ඇති අයගේයි.

 උපන් ලප පරීක්‍ෂා කිරීමෙන් ද බොහෝ සුබාසුබ පැවසිය හැකිවේ. මෙහිදී ද කාන්තාවගේ පිරිමින්ගේ උපන් ලප වෙන වෙනම පරීක්‍ෂා කළ යුතුවේ. යම් කාන්තාවකගේ බෙල්ලේ ඉදිරිපස ඉතා ළංව කළුපාට ලප දෙකක් ඇත්නම් ඇය ධනවත් පවුලකට උරුමකම් කියනවා ඇත. සැලකිය යුතු මට්ටමක අධ්‍යාපනයක් ලබා උසස් සමාජයේ ගැවසෙන කෙනෙක්ද වෙනවා. යාන වාහන ලබනවා. එමෙන්ම නළලේ හරි මැද කළු ලපයක් තිබීම ද ඉතා වාසනාවන්ත බව කියනවා. මවුපියන්ගේ ආදරයන් හොඳ ඉගෙනීම, ධාර්මික බව ලබන පින්වත් කාන්තාවක් වෙනවා.

 අපට ශරීර ලක්‍ෂණ පරීක්‍ෂා කරන්න පුළුවන් වෙන්නේ ශරීරයේ පිටට පෙනෙන කොටස්වලට සීමාවෙලයි. මේ නිසා හිස, මුහුණ අත් හා පාද ගැන සැලකිලිමත්වීම වැදගත් වෙනවා. තද කළු පාට හිසකෙස් වැවී ඒවා පසුපසට පිරිම පහසු නම් ඒ පුරුෂයා යහපත් අධ්‍යාපනයන් ලබන නිදහස පි‍්‍රයකරන කෙනෙක් බව දැනගත යුතුයි. සාමාන්‍යයෙන් රැලි හිසකෙස් ඇති අය කලාවට රුචියක් දක්වන අය බව පේනවා. කලාකාමීන්වන ඒ අය ස්ත‍්‍රින්ට ලැදියි. ඒ වගේම මේ අයට ස්ත‍්‍රින්ගේ ආකර්ෂණය තියෙනවා. ඉදිරිපස නළල දිශාවෙන් තට්ටය හැදෙන අය කපටිකම්වලට දක්‍ෂ බවත් සිතේ ඇති දේ පිටට ප‍්‍රකාශ නොකරන අය බවත් දැනගන්න. පිටුපසට තට්ටය ඇති අය ඉක්මනින් රැවටිලිවලට අසුවන බව කියැ වෙනවා. ප‍්‍රවේශම් වීම වැදගත් වෙනවා.

 ඒ වුණත් නළල පළල්ව මුහුණ පුරාම රැවුල වැවිල තියෙනවනම් ලෝක ප‍්‍රකට කීර්තිමත් කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා.

 අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ ශරීරවල විවිධ ලක්‍ෂණ පෙර පින් හෝ අකුසල් මත බැඳී තිියෙන බවයි. ඒ වගේම ඒ ඒ ලක්‍ෂණ අනුව චරිත ස්වභාවයන් තේරුම් ගන්න පුළුවනි. මෙයින් අදහස් වෙන්නේ සමාන ලක්‍ෂණ ඇති අයගේ සමාන චරිත පැවැතිය හැකි බව නේද? ඉතිං පොරොන්දම් බලා විවාහය ගැන තීරණය කරනව වගේම ශරීර දෙක දිහා බලලත් ගැළපීම තීරණය කරන්න පුළුවනි. අපි දැකල තියෙනව හරියට ගැළපෙන ජෝඩු ඉන්නවා. හරියට අයියයි නංගියි වගේ. ඒ කියන්නේ ශාරීරික පෙනුම, පිටතින් පෙනුම ගැළපෙනවා. එහෙම නම් බොහෝ වෙලාවට පොරොන්දමත් ගැළපෙනවා. පිටත ශාරීරික පෙනුම ගැළපෙනව නම් අදහසුත් ගැළපෙනවා. ඉන්දියාවේ ප‍්‍රකට ජ්‍යොතිර්වේදීන් නිර්දේශ කරනවා පොරොන්දම් පරීක්‍ෂා කරල බලන්න ඉස්ස වෙලා පිටත පෙනුම ගැළපෙනවද බලන්න කියල.

 ඉතිං මේ අංග ලක්‍ෂණ විද්‍යාව තවත් කාලයක් යනකොට සම්පූර්ණයෙන්ම නැතිවෙලා යාවි. දැන් වුණත් එහෙම දෙයක් තියෙනවද කියලවත් සමහරු දන්නෙ නෑ. ඒ උනත් අපි මේ ලෝකෙ ඉපදෙනකොට ගෙනාපු පින් පව් පෙන්වන සියලූ ලක්‍ෂණ අපේ ශරීරවල සටහන් වෙලා තියෙනවා. ඒක හරිම සංකීර්ණයි. මේ නිසා ලෝකයේ කිසිම දෙන්නෙක් එක වගේ නැත්තෙ.

 අංග ලක්‍ෂණ විද්‍යාව හොදට ඉගෙන ගත්තොත් තමන්ගෙත් අනුන්ගෙත් දෛවය කල්ඇතිව දැනගන්න පුළුවන් වේවි. අපි ඇසුරු කරන අය හරියට හඳුනගන්නත් පුළුවන් වේවි. ඒ වගේ කේන්දර හදන්න ගණනය කරන්න මහන්සි වෙන්නෙ නැතුව ඒ කටයුත්තම කරන්න පුළුවන් නම් කොච්චර හොද ද? උනන්දු උනොත් ඉගෙන ගන්න අමාරු නෑ.

සමුද සෘෂිවරයා ලොවට දායාද කළ විශ්මිත අංග ලක්‍ෂණ ශාස්ත‍්‍රය



 කෑගල්ලේ  – සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment