සමූහ දූෂණයට ලක් වූ ඉන්දීය දැරියක් පැමිණිල්ල ඉදිරිපත් කළ පොලිස් නිලධාරියා අතින්ද දූෂණය වේ

1346

පිරිමි සිවුදෙනකු විසින් අමානුෂීය අයුරින් සමූහ දුෂණයට ලක් කළ 13 හැවිරිදි වියෙහි පසු වන දැරියක් එම දූෂණ සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීමට පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදී එහි සිටි නේවාසික පොලිස් නිලධාරියා විසින්ද දූෂණය කිරීමේ අවාසනාවන්ත සිදුවීමක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ.

සමූහ දූෂණයට ලක් වූ දැරිය නැවත වරක් දූෂණය කළ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලලිත්පුර් ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ සේවය කළ නේවාසික පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති ඉහළ පෙළේ පොලිස් නිලධාරීහු ඔහුගේ සේවය තහනම් කිරීමට පියවර ගෙන තිබේ. අදාළ දැරිය පොලිස් නිලධාරියා අතින් දූෂණය වූ පොලිස් ස්ථානයේ සේවයේ යෙදී සිටි සියලු පොලිස් නිලධාරීන් මේ වන විට සේවයෙන් ඉවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. අදාළ දැරිය දෙවැනි වරටත් අමානුෂීය අයුරින් දූෂණය කළ පොලිස් නිලධාරියාට එරෙහිව සාපරාධී චෝදනා යටතේ නඩු පවරා ඇති බව ඉන්දීය පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. දූෂණයට ලක් වූ දැරිය ඉකුත් අප්‍රේල් මස 22 වැනිදා පිරිමින් සිවු දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් බෝපාල් ප්‍රදේශයේදී අමානුෂීය අන්දමින් සමූහ දූෂණයට ලක් කර ඇති අතර අනතුරුව එම පිරිස දැරියව වාහනයකින් රැගෙන ගොස් ලලිත්පුර් පොලිස් ස්ථානය අසලින් බස්සා පලා ගොස් තිබේ. සමූහ දූෂණයට ලක් වූ දැරිය නැවත පොලිස් නිලධාරියකු අතින් දූෂණය වීමේ සිද්ධිය තරයේ හෙළා දැක ඇති කොංග්‍රස් පක්ෂයේ නායිකා ප්‍රියංකා ගාන්ධි වද්රා පොලිස් ස්ථානයක් කාන්තාවන්ට අනාරක්ෂිත වේ නම් පැමිණිල්ලක් කිරීමට ඔවුන් යා යුත්තේ කොතැනට දැයි රජයෙන් ප්‍රශ්න කර තිබේ.

සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment