සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව සටන් කරමු – බි්‍රතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම්

65

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත් භාවයට එරෙහිව සටන් කළ යුතු බව බි්‍රතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඉකුත් 19 දා පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

 එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.

 බි්‍රතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට බි්‍රතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් රැසක් එක්ව සිටියහ.

 බි්‍රතාන්‍ය නව රජුගේ නායකත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය රටක් ලෙස අනාගත අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

 එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා මෙසේ ද පැවසීය.

 ‘එක්සත් රාජධානියේ පාලනය ලේබර් පක්ෂය, කන්සවේටිව් පක්ෂය, එහෙම නැත්නම් සභාගයක් හරහා සිදු වුව ද අපිට අපේ සබඳතා පවත්වන්න අවශ්‍යයි. රටක් ලෙස අපි ආර්ථිකමය ලෙස කඩා වැටී ඇති බව නොරහසක්. මේ ප්‍රශ්න අපිම විසඳා ගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අපි දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කර තිබෙනවා. අපි ඉන්දියාව චීනය හා ජපානය සමඟත් පුද්ගලික ණය හිමියන් සමගත් කතා කළ යුතුයි. අපේ ණය ප්‍රශ්න දිහා බලන අතරේ අපි ගත්ත ණය ගෙවන්නත් තිබෙනවා. අද සිට ණය ගෙවන්න වසර 25 ක් පමණ අවශ්‍යයි. ඒ කියන්නේ 2048 වනවිට නිදහසට වසර 100 ක් වනවිට සමෘද්ධිමත් සමාජයක් වෙත අපට යා හැකියි.

 අපි බොහෝ දෙනෙක් ඒ වනවිට ජීවත්ව නොසිටීවි. නමුත් අපි එයට දායක වූ පුරවැසියන් වෙන්න පුළුවන්. මෙහිදී දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය යොමුකළ යුතු අතර තරුණ පරම්පරාවේ බොහෝ දෙනකුගේ අදහස්වලට අප ඉඩ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. නමුත් ප්‍රධාන වශයෙන්, ඔබට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නම් ඔබට පාලනයක්, විනයක් සහ නීතියේ ආධිපත්‍යය තිබිය යුතුයි. එහිදී නිවාස පුළුස්සා දැමීම හෝ කාර්යාල අත්පත් කර ගැනීම කළ යුතු ද යන්න කාටවත් තීරණය කළ නොහැකියි. එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු නීතියේ ආධිපත්‍යයට අනුව ක්‍රියා කිරීමයි.

 පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවලදි මේ රටේ ඇතැම් තරුණ පිරිස් කලහකාරි ලෙස හැසිරුණා. අපි ඔවුන්ගේ අදහස් උදහස් අධීක්ෂණ කාරක සභාවලට ඇතුළත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා 19 ක් තිබෙනවා. ඒවායේ තරුණ නියෝජනය පස්දෙනකුට අවස්ථාව ලබාදී තිබෙනවා. වෙන කිසිම රටක් එහෙම කරලා නෑ. එම කාරකා සභාවල ඕනෑම වාර්තාවකට තරුණයන්ගේ අදහස් අතිරේක ලියවිල්ලක් හැටියට ඉදිරිපත් කළ හැකියි. අපි සමාජය නැවත හැඩගස්වාගත යුත්තේ අනාගතය දෙස බලා, ඔවුන්ට අවශ්‍ය දේ මත මිස, අපට අවශ්‍ය දේ මත නොවේ. ඒ නිසා අපි සියලු කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට විවිධ ක්‍රම සොයා බැලිය යුතුයි. කරු ජයසූරිය මහතා සහ වික්ටර් අයිවන් මහතා සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම ජන සභා පැවැත්වීමේ තවත් රාජ්‍ය නොවන කාර්යයක නිරතව සිටිනවා.

 උතුරේ ඉඩම් ප්‍රශ්නය, අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය විසඳා අවසන් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් තිබෙන ගැටලු අප විසඳා ගත යුතුයි. බලය බෙදීමේ මූලික කරුණු කිහිපයක් දෙස අවධානය යොමු කරන්න තිබෙනවා. 2018 දී අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාලෝචනය කරන විට උතුරු නැගෙනහිරින් පිටත ප්‍රධාන අමාත්‍යවරුන් හත්දෙනකු සහ විපක්ෂ නායකවරයා යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු සහ ප්‍රධාන ඇමැතිවරු ඊට එකඟවීම සතුටට කරුණක්. දැන් අපට ඉදිරියට යන්න පුළුවන්. මම හිතන්නේ අපට එය කළ හැකියි.

advertistmentadvertistment
advertistmentadvertistment