සමෘද්ධියේ කියන තරම් අර්බුද නැත! සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පිළිතුරක්!

323

“සමෘද්ධියේ බිලියන 47 ක් එර්දි වෙලා” යනුවෙන් 2022 දෙසැම්බර් 18 වැනි ඉරුදින දිවයින පුවත්පතේ පළවූ ලිපියට පිළිතුරු ලිපියක් ලෙස එම දෙපාර්තමේන්තුව මගින් අප වෙත පිළිතුරු ලිපියක් යොමුකර තිබේ. මේ පිළිතුරු ලිපියෙහි බොහෝ තැන්වල “ලියුම්කරු පැවසූ පරිදි” යනුවෙන් සඳහන්ව තිබේ.

එහෙත් අදාල ලිපියෙහි සියළු කාරණා අප සඳහන් කර ඇත්තේ රජයේ විගණන දෙපාර්තමේන්තුවේ දත්ත හා සංඛ්‍යාලේඛන ඇසුරින් බව අපි අවධාරණය කරමු. එහෙයින් එයින් එම ලියුම්කරුගේ අදහස් හෝ මතවාද ඉදිරිපත් කිරීමක් සිදුකර නැත. පිළිතුරු දීමේ අයිතියට ගරු කරමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් එවන ලද “පැහැදිලි කිරීමේ” ලිපිය අප මෙසේ කිසිදු සංශෝධනයකින් තොරව පළකරන්නෙමු.

දුප්පත්කම නැති කිරීම, රටක් සංවර්ධනය කරා ගෙන යෑම, ජන යහපත සැලසීම මෙන්ම සාමය, සමගිය තහවුරු කිරීම ඕනෑම රජයක ප්‍රධානතම අරමුණ වන බව නොරහසකි. කාලයෙන් කාලයට බලයට පත්වන රජයන්ගේ අරමුණු හා ඕනෑ එපාකම් මත දියත් කෙරෙන ජාතික සංවර්ධන වැඩසටහන් සඳහා උදාහරණ ඕනෑ තරම් තිබේ. ආහාර සලාක ක්‍රමය, පිං පඩි, ග්‍රාම සංවර්ධන ක්‍රමෝපායන්, ජනසවිය වැනි වැඩසටහන් එලෙස අඩු ආදායම්ලාභීන් ඉලක්ක කර ගනිමින් ඇරඹි වැඩසටහන් කිහිපයකි. අඩු ආදායම්ලාභීන්ගේ හා අවාසි සහගත තත්ත්වයට පත්වන්නන් ආරක්ෂා කර ගැනීම සමාජ වගකීමක් වන බැවින් මෙවැනි ආරක්ෂණ ජාලයක් වැදගත් වේ.

සමෘද්ධි සංවර්ධන වැඩසටහන ද එලෙස අඩු ආදායම්ලාභීන් නගා සිටුවීම සඳහා අරමුණු කර ගනිමින් බිහි වූ අදටත් සක්‍රීයව පවතින යෝධ වැඩසටහනකි. එමෙන්ම මැතිවරණ පොරොන්දුවකින් ඔබ්බට ගිය ජාතික සංවර්ධන වැඩසටහනක් ලෙස වසර 27 ක කාලයක් පුරා මහ පොළොව මත මුල් ඇද සිය ස්ථාවරත්වය සපථ කර ගත්තකි. හතු පිපෙන්නාක් මෙන් බිහිවන කෙටි කාලයකින් අවසන් වන විවිධ වැඩසටහන් අතරට වසර 27 ක් යනු විශාල කාල පරාසයකි. එය එලෙස වීමෙන් අදහස් වන්නේ සමෘද්ධි වැඩසටහන යම්කිසි සාර්ථකත්වයක් හා ඵලදායීතාවක් ලබා ඇති බවය.

1995 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ විසිපන් ලක්ෂයකට අධික ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් සමෘද්ධි ප්‍රතිලාභ ලබා ඇත. එය සමාජයේ බොහෝ දෙනෙක් දන්නා පරිදි හුදෙක් සහනාධාරයක් පමණක් නොවන්නකි. රජයේ ප්‍රතිලාභ ලබන සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා සහනාධාරයට අමතරව සිය ජීවනෝපාය සාර්ථක කර ගැනීමේ විවිධ ව්‍යාපෘති හඳුන්වා දීම, ස්වයං රැකියා මූල්‍යාධාර, පුහුණු වැඩසටහන්, දරු උපත, විවාහය, අධ්‍යාපනය, රෝගී වීම, මරණයට පත්වීම ආදී අවස්ථාවල සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දීම ආදී වූ විශාල වපසරියක් හා බැඳුණු සුවිශේෂී සේවා ජාලයකි. ඒ අනුව සිදු කෙරෙන්නේ සහනාධාරයෙන් එහාට ගිය සුවිසල් කාර්යභාරය සමඟ බැඳි සිටින ප්‍රතිලාභීන් පිරිස ආර්ථික, සමාජීය, සංස්කෘතික හා ආධ්‍යාත්මික වශයෙන් සවිබල ගැන්වීමය. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක වත්මන් සමෘද්ධි වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ද එය ය.

වර්තමානයේ අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන සමෘද්ධි වැඩසටහන තුළ සිටින ප්‍රතිලාභී පවුල් මාසිකව යම් යම් සංශෝධනයන්ට භාජනය වේ. ඒ අනුව දළ වශයෙන් මසකට 3500 ක් පමණ ප්‍රමාණයක් වැඩසටහනෙන් ඉවත් වීම සිදු වෙයි. මෙලෙස ඉවත්වනු ලබන්නේ සමෘද්ධි දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් මඟින් තම ජීවන තත්ත්වය උසස් කර ගත් පවුල්, ස්ථිර ආදායම් සහිත රැකියාගත පවුල් මෙන්ම තනි පුද්ගල සහනාධාර හිමියෙකු මිය යෑම වැනි හේතු සහිත පවුල්ය.

ලියුම්කරු විසින් පෙන්වා දී ඇත්තේ 1995 වර්ෂයේ සිට මේ දක්වා අඛණ්ඩව සහනාධාර ලබන පවුල් ගණන 593,169 ක් ලෙසය. බොහෝ විට මෙම පවුල් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන ජීවනෝපාය සංවර්ධනය තුළින් ආර්ථික අතින් සවිබල ගැන්වීමට නොහැකි පවුල් වේ. ඔවුන් මේ අවස්ථාව වන විට වයෝවෘද්ධ, වැඩිහිටි, ආබාධිත හා විවිධ රෝගී තත්ත්වයේ පසුවන බැවින් අඛණ්ඩව රජය හෝ සමාජය විසින් රැක බලා ගත යුතු පවුල් බවට පත්ව තිබේ. 1996 පමණ වන විට විසිලක්ෂයක් පමණ වූ සමෘද්ධි ලාභීන් මේ වන විට පවුල් දාහතර ලක්ෂයක් දක්වා අඩුව තිබුණ වන විට ඉහළ ආදායම් මට්ටමට ළඟා වූ පවුල් සමෘද්ධි වැඩසටහනෙන් ඉවත් කොට ඒ වෙනුවට නව පවුල් ඇතුළත් කර ගැනීමේ අදහසින් 2017 වර්ෂය තුළ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කරන ලදී. එවකට පැවති පවුල් ලක්ෂ 14 ක් වූ අතර, එම සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාවෙන් පවුල් 440,000 පමණ ප්‍රමාණයක් සමෘද්ධි සහනාධාර වැඩසටහනෙන් ඉවත් කිරීමට සුදුසුකම් ලැබුව ද එය තාවකාලිකව නවත්වනු ලැබිණි.

අනතුරුව 2016 වර්ෂයේ රජය විසින් ඒ වන විට පැවති සමෘද්ධි සහනාධාර පවුල් වලට අමතරව තවත් පවුල් 4,40,000 ක් සඳහා නව සහනාධාර ලබා දීමට කටයුතු කරන ලදී. ඒ අතරතුර සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් සමෘද්ධි වැඩසටහන තුළ සිටින නුසුදුසු පවුල් (ඉහළ ආදායම් මට්ටමක් ළඟා කරගත්) සමෘද්ධි වැඩසටහනෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ තවදුරටත් කඩිනම් කිරීමේ අරමුණෙන් 2021 වර්ෂයේ දී මීට අදාළ සවිස්තරාත්මක චක්‍රලේඛ උපදෙස් නිකුත් කර අදාළ කටයුතු සිදු කරන ලදී. මේ සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සහාය මත සමාජ ප්‍රතිලාභ මණ්ඩලය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නිර්නායක පදනම් කරගෙන වසම් මට්ටමෙන් නම් කරන ලද ග්‍රාමීය කමිටු වල නිර්දේශ මත නව සහනාධාර නිකුත් කිරීමේ බලය අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පවරන ලදී. ඒ තුළින් නුසුදුසු පවුල් සමෘද්ධි වැඩසටහනෙන් ඉවත් කර ගැනීමෙන් නව ප්‍රගතියක් කරා පැමිණීමට හැකි විය. මීට අමතරව 2020 හා 2021 වර්ෂවලදී සමෘද්ධි වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරන ලද ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 2 ක් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කළ අතර ඒ අනුව දළ වශයෙන් සවිබලගන්වන ලද පවුල් 30,000 ක් පමණ ප්‍රමාණයක් වසරක දී සමෘද්ධි වැඩසටහනෙන් ඉවත්ව ගොස් ඇත. එහෙත් පොරොත්තු ලේඛනවල සිටින අඩු ආදායම්ලාභීන්ට එම අවස්ථාව නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලබා දී ඇත. වර්තමානයේ දී සමෘද්ධි ප්‍රතිලාභීන් තුළ පවතින මෙම ආදායම් විෂමතාව හඳුනාගෙන වඩාත් සුදුසු පුද්ගලයන් සඳහා සමෘද්ධි සහ වැඩිහිටි ආධාර, ආබාධිත දීමනා, ඇතුළු සමස්ත සමාජ ප්‍රතිලාභ වැඩසටහන් විධිමත්ව පවත්වාගෙන යෑම සඳහා මුදල් අමාත්‍යාංශයට යටත් වූ සමාජ ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඊට අදාළ කටයුතු ආරම්භ කර අවශ්‍ය උපදෙස් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දී ඇත.

ඒ අනුව මීට ප්‍රථම එම මණ්ඩලය මගින් ප්‍රසිද්ධ කරන ලද සමෘද්ධි ප්‍රතිලාභී දීමනා ලැබීමට සුදුසු පුද්ගලයන් හඳුනා ගැනීමට අදාළ නිර්ණායක 6 ක් හා උප නිර්ණායක 28ක් පදනම් කර ගෙන දීප ව්‍යාප්ත සමීක්ෂණයක් මේ අවස්ථාවේ දී ආරම්භ කර ඇත. එමෙන්ම නිලධාරීන් හා දත්ත විශ්ලේෂණය තුළින් වඩාත් නිවැරදි පවුල් හඳුනා ගැන්ම 2023 වර්ෂයේ පළමු කාර්තුව අවසන් වීමට ප්‍රථම සිදු කිරීමට සැලසුම් කර ඇත.

එමෙන්ම සමෘද්ධි අනිවාර්ය ඉතිරිකිරීම් රජයේ විවිධ වැඩසටහන් සඳහා යොදා ගැනීම පිළිබඳව මෙම ලිපියේ සඳහන් කර තිබේ. මෙම මුදල් භාවිතා කරන ලද්දේ පසුගිය කොරෝනා වසංගතය හමුවේ මුළු රටම මුහුණ පෑ බරපතළ අර්බුදය හමුවේ අසරණ වූ පීඩාවට පත් වූ ජනතාව වෙත සහන සැලසීම සඳහා දීමනාවක් වශයෙන් ලබා දීම පිණිසය. නැවත ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත මුදල් අමාත්‍ය මණ්ඩලයේ අප දෙපාර්තමේන්තුවේ ජාතික සභාවේ හා බැංකු කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය ද සහිතව මෙම මුදල් ලබා දීම සිදුකර භාණ්ඩාගාරයෙන් මුදල් ලැබුණු විගස අදාළ බැංකු හා ක්ෂුද්‍ර මූල්‍ය අංශය වෙත එම මුදල් ලබා දීමට කටයුතු කෙරෙනු ඇත. මෙකී මුදල් ප්‍රතිපූර්ණය කර දෙන ලෙස අඛණ්ඩව මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලුම් කර ඇති බව සත්‍යයකි. එබැවින් රුපියල් බිලියන 47.65 ක මුදලක් එලෙස පියවා නැති බව සඳහන් කිරීමේ කිසිදු පදනමක් නැත. මේ වන විටත් එම මුදලින් රු. බිලියන 7.16 ක මුදලක් ලබා දී ඇත. මෙම වසරේ තවත් මිලියන 9 ක් හා රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හමුවේ වුවද ලබන වසරේ තවත් රුපියල් බිලියන 21 ක් මේ සඳහා භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇත.

සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කිරීමේ අරමුණ දුප්පත්කම නැති කිරීම පමණක් නොව පුද්ගලයා, පවුල සංවර්ධනය කරමින් ගෙන යන දීප ව්‍යාප්ත සමාජ සවිබල ගැන්වීමේ ක්‍රියාදාමයකි. මේ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඉටු කරනා කාර්යභාරය සුවිශාලය. සමස්ත දෙපාර්තමේන්තුවක් ලෙස රජයේ ක්‍රියාත්මක සංකල්පය ඉදිරියට ගෙන යමින් අදාළ කාර්යයන් කළමනාකරණය කිරීම අප වගකීමය. විවිධ ව්‍යාපෘතීන් සිදු කිරීමේ දී නිසි ක්‍රමවේදයන් හා අනුගත වීමට අප සැම විටම කටයුතු කරන අතර, රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය සඳහා ජනතා සහභාගිත්වය සමඟින් අත්වැල් බැඳගත් ගමනක් යෑම අප දෙපාර්තමේන්තුවේ ඒකායන අරමුණය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

advertistmentadvertistment
advertistmentadvertistment