සමෘද්ධියේ බිලියන 47ක් එර්දිවෙලා…

261

අනූහතර වර්ෂයේ පැවති මහ මැතිවරණයේදී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමා පාඨය වූයේ, සාමය හා සමෘද්ධියයි. සමෘද්ධි ව්‍යාපාරය හරහා රටේ දුප්පත්කම නැති කිරීමට කටයුතු කරන බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එකල රට්ටුන්ට පොරොන්දුවක් ලබා දුන්නාය. සැබවින්ම එකල එය ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුවක් විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වී සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළාය. ඉන්පසු බලයට පත්වූ රජයන් ද සමෘද්ධි ව්‍යාපාරය අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යනු ලැබීය. සමෘද්ධි ව්‍යාපාරය ආරම්භකොට දැනට වසර 27ක් ගතවී ඇත්තේය. එහෙත් රටේ දුප්පතුන්ගේ සංඛ්‍යාව අඩුවීමක් නම් දක්නට නැත. සමෘද්ධි ප්‍රතිලාභ සහ සහනාධාර ලබාදීම සඳහා රජය විශාල මුදලක් වැයකරති.

● වසර 27ක් තිස්සේ සමෘද්ධිය ලබන ප්‍රතිලාභීන් සංඛ්‍යාව 593,169 ක්.

ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ 94 වර්ෂයේ සිට 2011 දක්වා වසර 13ක නියැදි පරික්ෂාවට අනුව සමෘද්ධි ප්‍රතිලාභ හිමිවූ සමෘද්ධි ලාභීන් 593,169 දෙනකු 2022 වර්ෂය වනවිටද වසර 10ත් 27ත් අතර කාලයක් තිස්සේ සහනාධාර ලබාගනිමින් සිටීමයි. කෙසේවුවද 2022 වර්ෂයේ අප්‍රේල් මස වනවිට මෙරට මුළු සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,760,865කි. 2013 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා වර්ෂ නමයක කාලසීමාව තුළ රුපියල් මිලියන 337,645ක මුදලක් සමෘද්ධි සහනාධාර ලබාදීම සඳහා වැයකොට තිබුණි. ඉකුත් වර්ෂයේ දි (2021) සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීම සඳහා ඇස්තමේන්තු කරනු ලැබූ ප්‍රතිපාදන මුදල රුපියල් බිලියන 53කි. එම වර්ෂයේ දි පොරොත්තු ලේඛනවල ඇතුළත්ව සිටි ප්‍රතිලාභීන්ද ඉලක්ක කරගෙන සහනාධාර ප්‍රමාණය වැඩිකිරීමට ඇස්තමේන්තු සකස්කොට තිබුණි. එහෙත් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවීය.

ජාතික විගණන කාර්යාලය මගින් සමෘද්ධි දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වන්නේ සමෘද්ධි වැඩසටහන තුළින් ආර්ථික, සමාජීය, වශයෙන් ඉහළ ජීවන තත්ත්වයක් ළඟාකරගෙන ඇති ස්වශක්තියෙන් ඉදිරියට යාහැකි සවිබලගැන්වෙන පවුල් හඳුනා ගැනීම විදිමත්ව සිදුවී නොමැති බවය. ඒ විතරක් නොව සමෘද්ධි ව්‍යාපාරය හරහා ඉහළ ආදායම් මට්ටම කරා ළඟා වී ඇති ප්‍රතිලාභීන් ඉවත්කර නව ප්‍රතිලාභීන් ඇතුළත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් ද නොතිබුණි. 2017 වර්ෂයේ දි දිවයිනම ආවරණය වන පරිදි පවුල් හඳුනා ගැනීමේ සමීක්ෂණයක් සිදුකරනු ලැබීය. ආදායම් මට්ටම ඉහළගොස් ඇති සමෘද්ධි ප්‍රතිලාභීන් ඉවත් කිරීමට සැලසුම් කරනු ලැබීය. එහෙත් ඒ සඳහා එල්ල වූ මහජන විරෝධය මෙන්ම දේශපාලනික වශයෙන් ඇතිවිය හැකි අවාසිසහගත තත්ත්වය සලකා බලා සමීක්ෂණ ප්‍රතිඵල මත කටයුතු කිරීම රජය විසින් අත්හිටුවනු ලැබීය.

සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් වලින් ලබාගත් බිලියන 47.65ක් පියවා නැහැ.

ඒ විතරක් නොව රජය විසින් සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් වලින් රඳවාගනු ලැබූ මුදල් රජයේ විවිධ කටයුතු සඳහා යොදාගැනීමට කටයුතු කරනු ලැබීය. මේ සඳහා සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අනිවාර්ය ඉතුරුම් ලෙස රඳවාගනු ලැබූ මුදල් සහ ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන සහනාධාර මුදලින් යම් දායකත්වයක් ගෙන විවිධ අරමුණු ඉටුකරගැනීම සඳහා ඇතිකරගත් මුදලින් රුපියල් 47,653,794,136ක මුදලක් ඉකුත් වර්ෂ 18 තුළදී රජයේ විවිධ කටයුතු සඳහා ලබාගෙන තිබුණි. එහෙත් මේ වනතෙක් එම මුදල් අදාළ සමෘද්ධි බැංකු හා අරමුදල් වෙත ආපසු ගෙවා නොමැති බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

මහාභාණ්ඩාගාරයේ එකඟතාව මත අනිවාර්ය ඉතුරුම් ලෙස රඳවාගනු ලබන සමෘද්ධි බැංකු සතු අරමුදල් සහ ප්‍රතිලාභීන්ගේ සහනාධාර මුදලින් විවිධ අරමුණු සඳහා කපාගනු ලැබූ අරමුදල් වලින් මෙකී මුදල 2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 06කදි රජයේ විවිධ කටයුතු සඳහා ලබාගෙන තිබුණි. අදාළ මුදල ප්‍රතිපූරණය කිරීමට කටයුතු කරන ලෙස විගණනය මගින් නිර්දේශකොට ඇත. මෙකී මුදල් ප්‍රතිපූරණය කරදෙන ලෙස අඛණ්ඩව මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලුම් කර ඇතත් මෙතෙක් එම මුදල් ප්‍රතිපූරණය කර නොමැති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත. මහාභාණ්ඩාගාරය විසින් මෙකී මුදල් ප්‍රතිපූරණය කිරීමෙන් පසු ක්ෂුද්‍ර මූල්‍ය අංශය වෙත පියවීමට කටයුතු කරන බවද ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට තිබේ. සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ මුදල් වැයකොට ඇත්තේ රජයේ විවිධ සංදර්ශන කටයුතු සඳහා බව මේ තුළින් පැහැදිලි වන්නේය.

● රුපියල් 5000 දීමනාව ගෙවූ හැටි

කොවිඩ් වසංගතය නිසා පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් රුපියල් 5000ක දීමනාවක් ගෙවීමට එවකට බලයේ සිටි රජය විසින් කටයුතු කරනු ලැබීය. අදියර දෙකකදී ප්‍රතිලාභීන් 4,542,865.ක් වෙනුවෙන් මේ සඳහා රුපියල් මිලියන 22,302.85ක මුදලක් වැයකරනු ලැබීය. මෙකී සහනාධාර ගෙවීම සඳහා සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය බැංකු අරමුදල, සමෘද්ධි නිවාස සංවර්ධන ලොතරැයි අරමුදල, සමෘද්ධි අරමුදල් යන අරමුදල් සතුව පවතින ස්ථාවර තැන්පතු 91ක් ඇපයට තබා රුපියල් බිලියන 14 ක ණය ලබාගෙන තිබුණි. මෙකී අරමුදල් සතුව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ වටිනාකම රුපියල් 11,352,242,292ක ස්ථාවර තැන්පතු ඇපයට තබා මෙකී ණය මුදල ලබාගෙන තිබුණි. ණය පියවීම සඳහා පරිපූරක ඇස්තමේන්තු මගින් රුපියල් 7,164,971,000ක් ලබාදී තිබුණි. කෙසේවුවද තවදුරටත් ගෙවිය යුතු ණය මුදල 6,835,029,000කි. මෙහිදී අයකරනු ලැබූ පොලී වටිනාකම ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවන අවස්ථාවේදී ගණනය කිරීමට එකඟ වී තිබුණි. මේ වනතෙක් මෙකී ණය මුදල පියවීම සඳහා මහා භාණ්ඩාගාරය මගින් මුදල් ලබා දී නැත.

● මූල්‍ය වංචා හා අක්‍රමිකතා

සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල 2014 හා 2018 යන කාලය තුළ සිදුවී ඇති වංචා සංඛ්‍යාව 135කි. මෙකී වංචාවන්ට අදාළ මුදල රුපියල් 115,723,619කි. මේ සම්බන්ධයෙන් 2018 හා 2019 යන වර්ෂයන් වල විගණකාධිපති වාර්තා මගින් ද පෙන්වා දි තිබුණි. වාර්ෂිකව වාර්තා වී ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතාවල ප්‍රමාණාත්මක වර්ධනයක් සිදුවී තිබුණි. එහෙත් මේ සම්බන්ධයෙන් ඉහළ කළමානාකාරිත්වය විසින් මූල්‍ය වංචා සහ අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමුකොට නොතිබුණි. බැංකු මුදල් අයථා ලෙස පරිහරණය හේතුවෙන් දිවිනැගුම ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතා සඳහා යෙදවීමට ඇති මුදල් ඒ සඳහා යෙදවිය නොහැකි වී තිබුණි. අනුයුක්ත කර ඇති කාර්යමණ්ඩල විසින් සිදුකර ඇති මූල්‍ය වංචා හා අක්‍රමිකතා වාර්තාවීම ප්‍රමාණාත්මක අගයක් ගෙන තිබුණි. මේ නිසා දිවිනැගුම පනත අනුව ඉටුකිරීමට බලාපොරොත්තු වන අරමුණු ඉටුකරගැනීම සඳහා නිලධාරීන්ගෙන් ඉටුවිය යුතු රාජකාරි නිසිපරිදි ඉටුවී ඇද්ද යන්න විගණනයටද ප්‍රශ්නගත කරුණක් විය.

● සමෘද්ධි එෆ්. එම්. අන්තර්ජාල රේඩියෝව සඳහා වැය කළ රුපියල් 24 ලක්ෂය වතුරේ.

මෙහි විකාශන මධ්‍යස්ථානයේ උපකරණ සහ පාලන මැදිරියේ වියදම් වෙනුවෙන් රුපියල් 1,127,000ක් වැයකොට තිබුණි. නිලධාරීන් පුහුණු කිරීම හා අවශ්‍ය තාක්ෂණික සහාය වෙනුවෙන් වැය කළ මුදල රුපියල් 1,200,000කි. ගිවිසුම්ගත කාලය අවසන් වීම නිසා මෙකී වැඩසටහන නතර වී තිබුණි. මෙකී එෆ්. එම්. අන්තර්ජාල රේඩියෝව ඇති කිරීමේ මූලික අරමුණ වුයේ දුගීබව අවම කිරීමේ සංවර්ධන කාර්යයන්ට හා අඩු ආදායම්ලාභී ජනකොටස්වල උත්සාහයන්ට උරදෙන සන්නිවේදන රටාවක් ගොඩනැගීම සඳහාය. ඒ කොයි හැටිවුවද අති බහුතරයක් වූ සමෘද්ධි ලාභීන්ට ස්මාට් ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා වත්කමක් නැත. අන්තර්ජාල පහසුකම් මෙන්ම අවම පහසුකම් නොමැති සමෘද්ධිලාභී අඩුඅදායම් ලාභී පවුල් සඳහා මෙකී ගුවන් විදුලි සේවය තුළින් පලදායි සහ කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට හැකියාවක් පවතීද යන්න විගණනයට ද ප්‍රශ්නගත කරුණක් බවට පත්ව තිබුණි.

● බැනර් ප්‍රදර්ශනය කිරීමට ලක්ෂ 34ක් වැයකරලා

සමෘද්ධි දෙපාර්තමේන්තුව මගින් සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 02ක් සවිබලගැන්වීම සඳහා වැඩසටහනක් සකස්කොට තිබුණි. මෙකී වැඩසටහනේ සමාරම්භක වැඩසටහන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා කාර්යාල 1736ක බැනර් ප්‍රදර්ශනය කොට තිබුණි. ඒ සඳහා විශේෂ ජීවනෝපාය ව්‍යාපෘති සංවර්ධන වැඩසටහන යටතේ වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් රුපියල් 3,364,505 ක මුදලක් වැයකොට තිබුණි. මෙකී ව්‍යාපෘතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 33.5ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණි. එහෙත් මෙකී වැඩසටහන යටතට නොගැනෙන ප්‍රධාන කාර්යාලයේ අවශ්‍යතාව සඳහා තේක්ක අල්මාරි 02ක්, මිලදී ගැනීම සහ කාර්යාල මේස රෙදි මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 227,788ක මුදලක් වැයකොට තිබුණි.

ඒ විතරක් නොව අයවැය චක්‍රලේඛය අනුව ක්‍රියාකාරි සැලැස්ම හා ප්‍රසම්පාදන සැලැස්ම සකස් කළ යුතුය. එසේ නොමැතිව සුව බොජුන්හල් ඉදිකිරීම, අලුත්වැඩියාව, උපකරණ මිලදි ගැනීම, බැනර් පුවරු සෑදීම ආදී කටයුතු සඳහා රුපියල් 10,642,564ක මුදලක් වැයකොට තිබුණි. ඉකුත් වර්ෂ 06ක කාලය තුළදී (2016,2021) සුව බොජුන්හල් ස්ථාපිත කිරීම, වැඩිදියුණු කිරීම, අලුත්වැඩියාවන් සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් රුපියල් 171,370,352ක වියදමක් දරා තිබුණි. එහෙත් ඉන් කිසිදු ආදායමක් ලබාගැනීමට කිසිදු වැඩපිළිවෙළක් දෙපාර්තමේන්තුව මගින් යොදා නොතිබුණි.

සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ දුප්පත්කම නැති කිරීමේ මූලික අරමුණු කොටගෙනය. පවුල් ඒකක පදනම් කරගත් සංවර්ධන ව්‍යාපෘති උපයෝගි කරගනිමින් ආදායම් හා සමාජීය තත්ත්වය නගා සිටුවීමෙන් දුප්පත්කම නැති කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ඒ විතරක් නොව තරුණ, තරුණියන් සංවර්ධන ක්‍රියාදාමයට සහ පරිපාලනයට සෘජුවම දායක කරගැනීම මෙහි තවත් අරමුණකි. එහෙත් මෙකී ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වූ අරමුණු වෙත ළඟාවීමට තවමත් නොහැකිවී ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment