සමෘද්ධිලාභීන්ගෙන් 40% ක් නුසුදුස්සෝ බව ලෝක බැංකු සමීක්‍ෂණයකින් හෙළිවෙලා

127

සමෘද්ධිලාභීන්ගෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් නුසුදුසු පුද්ගලයන් බව ලෝක බැංකු සමීක්‍ෂණයකදී හෙළිවී ඇති බවත්, නුසුදුසු පුද්ගලයන්ට සමෘද්ධි දීමනාව ලබාදී ඉන් යම් ප්‍රතිශතයක් ලබා ගන්නා දූෂිත නිලධාරීන්ද සිටින බව පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් සුබසාධක ප්‍රතිලාභීන්ගේ විනිවිද බවකින් යුතු නාමලේඛනයක් සකස් කිරීමට මේ දක්වා නොහැකි වී ඇති බවද එහිදී හෙළිවී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එවැනි නිවැරැදි ලේඛනයක් අපේක්‍ෂා කර ඇති නමුත්, එම ලේඛනය සැකසීම පමාවීම එම අරමුදලේ සහාය ලබා ගැනීම පමාවීමටත් හේතුවිය හැකි බවද දූෂණය හා වංචාවෙන් තොර සංස්කෘතියකට එම ගැටලුව විසඳාලීම කළ යුතු බවද එම කාරක සභාව අවධාරණය කර තිබේ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2302/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙලෙස සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිද බවකින් යුතුව එම කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් බවත් ඒ අනුව ඒ සඳහා වගකීම පැවරෙන්නේ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිවිය.

මෙහිදී කමිටුවේදී සාකච්ඡා වූයේ සමෘද්ධිලාභීන්ගෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් නුසුදුසු පුද්ගලයන් බව ලෝක බැංකු සමීක්ෂණයකදී හෙළිවී ඇති බවයි. ඒ අනුව නුසුදුසු පුද්ගලයන්ට දීමනාව ලබා දී ඉන් යම් ප්‍රතිශතයක් ලබා ගන්නා ඇතැම් දූෂිත නිලධාරීන් ද සිටින බව මෙහිදී සාකච්ඡා විය. මනා විනිවිද බවකින් යුතුව මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ කටයුතු සිදු කිරීම සඳහා මෙම නිවැරැදි දත්ත සහිත ලේඛනයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සහන් ප්‍රදීප් විතාන සහ මධුර විතානගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment