සමෘද්ධි බැංකුවල අක්‍රමිකතා 135 ගැන වගේ වගක් නෑ

182

විගණන කාර්යාලය කියයි

සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල ඉකුත් වර්ෂ පහක කාලයේ දී (2014/2018) සිදුවී ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතා 135 කට අදාළව රුපියල් එකොළොස්කෝටි, පනස්හත් ලක්‍ෂ විසිතුන්දහස් හයසිය දහනමයක් සම්බන්ධයෙන් විගණන වාර්තාවලින් පෙන්වා දී තිබුණද ඒ සම්බන්ධයෙන් ඉහළ කළමනාකාරීත්වයේ අවධානය යොමුවී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

වාර්ෂිකව වාර්තා වී ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතාවල ප්‍රමාණාත්මක වර්ධනයක් සිදුවී තිබූ බවද විගණන වාර්තා වේ සඳහන් වේ. එහෙත් මෙකී මූල්‍ය වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනාකාරීත්වය විසින් මේ පිළිබඳ අවධානය යොමුකර ඒවා වළක්වා ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කරගෙන තිබුණි.

බැංකු මුදල් අයථා ලෙස පරිහරණය හේතුවෙන් දිවිනැගුම ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතා සඳහා යෙදවීමට ඇති මුදල් ඒ සඳහා යෙදවිය නොහැකි වී තිබේ. අනියුක්ත කර ඇති කාර්යමණ්ඩල විසින් සිදුකර ඇති මූල්‍ය වංචා හා අක්‍රමිකතා වාර්තාවීම ප්‍රමාණාත්මක අගයක් ගෙන තිබුණි. මේ නිසා දිවිනැගුම පනත අනූව ඉටුකිරීමට බලාපොරොත්තු වන අරමුණු ඉටුකර ගැනීම සඳහා නිලධාරීන්ගෙන් ඉටුවිය යුතු රාජකාරි නිසිපරිදි ඉටුවී ඇද්ද යන්න විගණනයටද ප්‍රශ්නගත කරුණක් වී තිබේ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment