සමේ ගැටිති රෝගයෙන් ගවයින් මිය යන්නේ නෑ

138

මේ දිනවල වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක පැතිරයමින් පවතින Lumpy Skin Disease නැතහොත් ගව චර්ම ගැටිති රෝගය නිසා ගවයින් මරණයට පත් නොවන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළාය. ඊයේ (30 දා) දින පෙරවරුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවති රැස්වීමකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් විමසූ අතර, එහිදී එම මහත්මිය සඳහන් කළේ, මෙම රෝගය නිසා ගවයින් මිය යෑමට ඇති ඉඩකඩ අල්ප බවයි.

කෙසේ වුව ද මෙම ගව චර්ම ගැටිති රෝගය වැළඳුනු පසු එම ගවයින්ට ඊට ප්‍රතිශක්තිකරණයක් ඇති වන බැවින් නැවත එම රෝගය වැළඳීමේ හැකියාවක් නොමැත. එමෙන්ම එවැනි ගවයින්ගේ මස් අනුභව කිරීමෙන් රෝගය සෙසු අයට වැළඳීමක් සිදු නොවන අතර, මෙම රෝග තත්ත්වය විශේෂයෙන් කිරි නිෂ්පාදනය අඩු වීමට හේතු වේ.

ඒ හැර සතුන් ස්පර්ශ කිරීමෙන් මෙහි ව්‍යාප්ත වීමක් සිදු නොවන අතර, මෙම රෝගය සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරිය අවධාරණය කළාය.

මේ සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වයඹ පළාතේ සිට ගවයින් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම දැනට තාවකාලිකව නතර කර ඇති බවත්, රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත හැකි සියලු ආරක්ෂණ ක්‍රමවේද ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

ආචාර්ය හේමාලි කොතලාවල

advertistmentadvertistment
advertistmentadvertistment