සම තත්ත්වයෙන් ජයග්‍රාහී මානසිකත්වයෙන් ශ්‍රී ලංකාව හෙට සිට කොළඹ සටනට

506

නුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරග දෙකේ සටන එකට එකක් ලෙස සම තත්ත්වයෙන් විසඳා ගත් සංචාරක ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයෝ සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කාළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ඉතිරි තරග තුනේ සටන හෙට (19 වෙනිදා ) සිට අරඹති.

තරග පහකින් යුත් ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවෙනි තරගය ලෙස පැවැත්වෙන එම තරගය හෙට ප.ව. 2.30ට ආරම්භ වීමට නියමිතය.

නුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගය ඔස්ටේ්‍රලියාව හමුවේ පරාජයට පත්වුවද දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 26ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරඟාවලියට ජීවය එක් කිරීමට සමත් වූහ.

දෙවැනි තරඟයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුපිරි දස්කම් මධ්‍යයේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී වල්මත් වූ සංචාරක ක්‍රීඩකයෝ තරඟයේ තිස්හත්වන පන්දුවාරයේ සිට එකා පසු පස එකා දැවී යෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එම ජයග්‍රහණය හිමි විය.

එම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමක් 2016 වසරෙන් පසු ඔස්ටේ්‍රලියාවට එරෙහිව ලද පළමු එක් දින තරග ජයග්‍රහණය වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව හෙට තරඟයට මුහුණ දීමට නියමිතය.

ආබාධයක් හේතුවෙන් එම තරඟයට ක්‍රීඩා නොකළ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග හෙට තරඟයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න ඊයේ (17වෙනිදා) වන විටත් අවිනිශ්චිත තත්ත්වයක පැවතිණි.

කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් එම තරගයට ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩසේ සුපුරුදු දස්කම් දැක්වීමට අසමත් වූ අතර ධනංජය ද සිල්වා, නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ දඟ පන්දු වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් කණ්ඩායම වෙනුවෙන් ලබා දෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට එම තරඟයේ දී නැවත සමත්වූ අතර තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ දස්කම් කැපී පෙනෙන මට්ටමක පැවතිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානක විසින්ද ඔස්ටේ්‍රලියා කණ්ඩායම ඒරන් ෆින්ච් විසින්ද මෙහෙයවනු ලබති.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, නිරෝෂන් දික්වැල්ල, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස්, මශීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සේ, ළහිරු මදුසංක, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුශාන්.

ඔස්ටේ්‍රලියානු කණ්ඩායම – ඒරන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, ස්ටීව් ස්මිත්, මර්නස් ලබුස්චේන්, මාක්‍රොස් ස්ටොනිස්, ග්ලේන් මැක්ස්වෙල්, ඇලෙක්ස් කේරි, ඇස්ටන් ආගර්, පැට් කමින්ස්, ජායි රිචඩ්සන්, ජෝස් හැසල්වුඩ්.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment