සම සැත්තෑවිය සපුරන බොරළුගොඩ නායක හාමුදුරුවෝ

89

සද්ධර්ම කීර්ති ශ්‍රී රතනසාරාභිධාන, සල්පිටි කෝරළේ උප ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බොරළුගොඩ ඉන්දරතන නාහිමියන්ගේ හැත්තෑ වෙනි ජන්ම දිනය වෙනුවෙනි.

එදා මෙදා තුර මානව සංහතිය තුළ ඇති කළ සුසමාදර්ශී පුද්ගල එකතුව, සමාජ සංස්ථාව භික්‍ෂු සමාජය බව අවිවාදිතය. ප්‍රජාතාන්ත්‍රික ගුණය පදනම කරගත් ධූරාවලි ආකෘතිය, පුද්ගල හා සමාජ විශෝධනය, බහුකෘත්‍ය (බහුජන හිතාය-බහුජන සුඛාය) ආදී ලක්‍ෂණයන් රැසකින් හෙබි ලාංකේය භික්‍ෂු සමාජය වසර බොහෝ ගණනක් රටට, ජාතියට හා ආගමට එල්ල වූ අටෝරාසියක්අතුරු අන්තරාවන්හි දී ජාතියේ පෙරගමන් කියුවෝය. ජාතික සමගිය, සාමයික සහජීවනය ගොඩනැඟුවෝය. උන්වහන්සේලා පාලක පාලිතයන්ගේ සුපෝෂණය වෙනුවෙන් බණ දෙසූහ. අණ පැනවූහ. 2500 වසරක් ඉකුත්ව යන හෙළ බොදු සංස්කෘතිය, සභ්‍යත්වය අනාගත ලෝකයාට දායාද කරනුවස් දිවියම කැප කළහ. ධනය බලය නිලය අභියස තම අභිමානය, භික්‍ෂුත්වය දියාරු කර නොගත්හ. උන්වහන්සේලා සැබැවින්ම ධර්මධරය. විනයධරය. සුපේශල ශික්‍ෂාකාමීය. ආත්මාර්ථය පරාර්ථය ලෙසින් ද පරාර්ථය ආත්මාර්ථය ලෙසින් ද සැලකූහ. ආත්මාර්ථ පරාර්ථ දෙකෙහි විසදෘශතාවක් නොපෙන්වන ගුණය සැබෑ භික්‍ෂු ජීවිතයක ආදර්ශයයි. ශ්‍රී ලාංකේය භික්‍ෂුව යන ලකුණ ද එයයි.

අපේ නායක හාමුදුරුවන් වචනයේ පරිසමාර්ථ අරුතින්ම සංඝ සෝභන ගුණයෙන් හෙබිය. ‘යම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ව්‍යක්තවේ ද විනීතවේ ද විශාරදවේ ද බහුශ්‍රැතවේ ද ධර්මානුධර්ම ප්‍රතිපන්න ගුණයෙන් යුක්තවේ ද එවන් භික්‍ෂුව සංඝ සෝභන ගුණයෙන් යුක්ත වේ යන ලොව්තුරු බුදු වදන මෙහිදී අප මතකයට එයි. පුද්ගලාභිවෘද්ධියත්, ලෝකාර්ථචර්යාවත් බෞද්ධ දර්ශනය තුළින් ප්‍රායෝගිකව සාක්‍ෂාත් කරලූ අපේ නාහිමියෝ මෙකී ගුණ සමෝසමව පිහිටියා වූ සංඝ සේභන ගුණයෙන් සුපෝෂිත සඟ රුවනකි. සම්බුදු සසුන ආලෝකවත් කරන මිණි පහනකි.

සිංහරාජ වන මායිමට යාබදව පිහිටි අති සුන්දර ගම්මානයක් වූ බොරළුගොඩ ගැමි නිවසින් හරියටම එකදාස් නවසිය පනස් තුනේ ජුනි මස හත්වැනි දින අලුත උපන් බිලිඳකුගේ හැඬුම් හඬක් වා තලයට එක් කෙරුණි. එකී හැඬුම් හඬ පසුකලෙක සුවහසක් මිනිසුන්ගේ සිත් නිවන, සිත් පිනවන දහම් හඬක් වෙතැයි ස්වභාදහම හැර වෙන කිසිවකුත් දැන නොසිටින්නට ඇත. ගම්මුලාදෑනි රතේනිස් රණසිංහ උපාසක මහතා සහ ජේන් නෝනා උපාසිකා මාතාව මෙම පුණ්‍යවන්ත දරුවාගේ මවුපියෝ වූහ. තම පෙළපත අඛණ්ඩව ගෙන යෑම සඳහා පියා මෙම දරුවාට කරුණාදාස රණසිංහ යන නම ලබාදෙන ලදි.

අප නාහිමියන්ගේ දිවිසැරිය දෙස හැරී බලන කල උන්වහන්සේගේ සේවාවන් ක්‍ෂේත්‍ර රැසක් පුරා විහිඳී ඇති ආකාරය දැකගත හැකිය. උසස් අධ්‍යාපනය නිම වීමෙන් පසු බදුල්ල වියළුම බලගොල්ල විද්‍යාලය, හෝමාගම විද්‍යා කීර්ති විද්‍යාලය ආදී විද්‍යාලවල විශ්‍රාමික විදුහල්පතිවරයෙකු ලෙසින් ද හෝමාගම කලාපයේ සිංහල භාෂා කමිටුවේ සාමාජිකයෙකු ලෙසින් ද නා හිමියන්ගේ අධ්‍යාපන භූමිකාව නිරූපණය විය. පන්නිපිටිය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ ලෙස ප්‍රාදේශීය බොදුනු දූ දරුවන්ගේ ගුණදම් පෝෂණය සඳහා දහම් අධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙයද සිහි කරනුයේ කෘතවේදීත්වයෙනි. නාහිමියන්ගේ දැවැන්තම සේවාවන් සිදුවූ ක්‍ෂේත්‍රය වන්නේ සමාජ හා ආගමික ක්‍ෂේත්‍රයයි. මූලික පහසුකම් පවා නොතිබූ තම ගුරු දේවෝත්තමයන් වහන්සේගෙන් උරුම වූ විහාරස්ථානය සකල විහාර අංගයන්ගෙන් සමන්විත කොට ගමට රටට පමණක් නොව බෞද්ධ ලෝකයාටම වැඩ සාදන පුණ්‍ය භූමියක් බවට පත් කිරීමේ වන්දනීය ගෞරවය නාහිමියන්ට හිමිවන්නේය. විහාරස්ථානය තුළ ක්‍රියාත්මක රතනසාර දහම් පාසල ප්‍රදේශයේ ප්‍රධානතම දහම් පාසලක් බවට පත් වන්නේ උන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන්මය.

‘චරිත භික්ඛවේ චාරිකං බහුජන හිතාය සුඛාය…’ යන බුදු වදන අනුව යමින් ගම් නියම්ගම් නගර සිසාරා ගලා ගිය අප නාහිමියන්ගේ සමාජ සත්කාර සේවාව, සඳහම් හඬ කරදිය වළල්ලෙන් එපිට ඉන්දියාව, බංග්ලාදේශය, ජපානය, සිංගප්පූරුව මෙන්ම මැලේසියාව වැනි දේශ දේශාන්තර තුළ ද රැව් පිළිරැව් දුන්නේය. පුරා වසර ගණනාවක් තම කායික දුබලතා ද යටපත් කොටගෙන සිදුකරන ධර්ම ශාස්ත්‍රීය සේවය ද මෙහිදී සිහි කළ යුතුමය. මේ වනවිට ‘සඳහම් සිතුවිලි’ නම් ධර්ම පත්‍රිකාවේ ප්‍රකාශයට පත් වන්නේ 212 වෙනි සඳහම් පඬුරයි. අප නාහිමියන් විවිධ මාතෘකා ඇසුරින් රචිත මෙම සඳහම් පඬුර මාසික සීල සමාදානයේ ගුණදම් පුරණ සැදැහැවතුන්ගේ දහම් පිපාසාව සංසිඳවීම සඳහාම මෙත්සිත් පෙරදැරිව සිදුකරන උතුම් පුණ්‍යකර්මයකි.

තම උතුම් පැවිදි දිවිවෙහි හැත්තෑවෙනි ජන්ම දිනය සමරන අතිපූජ්‍ය අපගේ බොරළුගොඩ ඉන්දරතන නාහිමියන්ගේ සමාජ, අධ්‍යාපනික හා ආගමික සේවාව සැමදා අපි අගයමු. ඔබ වහන්සේ ආයුෂයෙන් වැඩේවා! වර්ණයෙන් වැඩේවා! සැපයෙන් වැඩේවා! බලයෙන් වැඩේවා! ප්‍රඥාවෙන් වැඩේවා යි මෙසේ ශුභාශිංසන පිරිනමමි.

නුගේගොඩ සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති, දියගම නාරද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment